17
September
2024
"It's About Time" ජංගම ඉතිහාස කෞතුකාගාරයේ (#TravellingHistoryMuseum) පස්වන අදියර පසුගිය 2024 සැප්තැම්බර් මස 4 සිට 11 දින දක්වා දින 8ක් පුරා මන්නාරම නගර ශාලාවේදී පැවැත්විණි. ඉතිහාසය අලුත් ආකාරයකට අවබෝධ කරගැනීම පිළිබඳ බහුවිධ පැතිකඩයන්ට අවකාශ සලසන අරමුණින් සංවිධානය කෙරෙන මෙම කෞතුකාගාරය තැපැල් මුද්දර ඉතිහාසය, කලාව, සංස්කෘතිය සහ අධ්‍යාපනය හරහා ආකර්ෂණීය සම්බන්ධතාවයක් බෙදා ගන්නා අපුර්ව සහ නැවුම් ප්‍රවේශයකි.
මුද්දර රූප හරහා කතන්දර පවසන බැවින් ඒවා ඉතිහාසය, භූගෝලය, පුරවැසි අධ්‍යාපනය හා පරිසරය ආදී විෂයයන් ගණනාවක් ඉගැන්වීමට සහ ඉගෙන ගැනීමට ආකර්ශනීය ඉගෙනුම් ආධාරක සපයයි. මුද්දර කුඩා කලා කෘති සහ ඉතිහාසය ලේඛනගත කිරීම, ජාතියක අනන්‍යතාවය පිළිබඳ අවබෝධයක් ලබා දෙන එකතු කළ හැකි අයිතම බව සැබෑ ලෙසම අවබෝධ කරගත හැකි මෙවන් අවස්ථා මන්නාරමට සහ උතුරට පොහොසත් මතකයන් බව අවිවාදිතය.
මෙම ජංගම ඉතිහාස කෞතුකාගාර නැරඹීමට පැමිණි 5800කට අධික මහජනතාවට අපගේ උපහාරය. ඔවුන්ගේ උනන්දුව සහ මෙවැනි අලුත් අත්දැකීම් සඳහා ඇති කැමැත්ත ඊළඟ කෞතුකාගාර ප්‍රදර්ශනය වඩාත් හොදින් සැලසුම් කිරීමට අපිට උත්තේජන ලබාදෙයි.
මන්නාරමේ ජන සංයුතිය අනුව ශ්‍රී ලාංකීය දමිල සහ මුස්ලිම් ප්‍රජාව බහුතරයක් වන බැවින් "කියවන මුද්දර" අපගේ ඉදිරිපත් කිරීම දමිල භාෂාවෙන් පරිවර්තනය කිරීම සඳහා ඉතා කාර්යක්ෂම වූ ස්වේච්ඡා එකමුතුවේ සහාය අපට බෙහෙවින් උපකාරී විය. මුද්දර මූලාශ්‍ර කරගත් තොරතුරු සහ දැනුම පදනම් කරගෙන අලුත් ඉගෙනුම් මාවතක් ඔවුන් ඉතා උද්යෝගයෙන් වැළදගත් ඔවුහු, අපගේ පැහැදිලි කිරීම් සහ උත්සාහය එසැනින් වටහා ගත්හ. ඔවුන් එම තොරතුරු සෙසු අයට කියාදීම සදහා ඉතා ඕනෑකමින් පෙරමුණ ගෙන සෑම දිනකම "කියවන මුද්දර" ප්‍රදර්ශකය වෙත පැමිණි දහස් ගණන් වූ සියළු දෙනා වෙතම ඉතා සතුටින් එම දීර්ඝ පැහැදිලි කිරීම් සිදු කළහ.
ඓතිහාසික සංවාදය සහ මතකය සඳහා වූ සාමූහිකය (CHDM), GIZ Sri Lanka සහ Search for Common Ground Sri Lanka වෙත අපගේ ස්තුතිය පිරිනමන අතර, Search ආයතනයේ සෞම්‍යා, තරින්ද, මරිසා, නවාස්, සුහෙල්, උපාලි, මහිෂා, නිර්මලා, සශී, තුෂාන් සහ රාජිත ඇතුළුව සියලු කාර්ය මණ්ඩලයේ නිතිපතා ලැබ දෙන නොමඳ හර්දයාංගම සහායද ඉතා සතුටින් සිහිපත් කරන්නෙමු. ඔවුනගේ ඇති දැඩි කැපවීම සහ සංවිධානාත්මක ශක්තිය නොවන්නට මෙම ඉතිහාස කෞතුකාගාර මෙලෙස අති සාර්ථක නොවනු ඇත. සංවිධායක මණ්ඩලය, ප්‍රජා කමිටුව සහ පොදු ජනතාව එක්ව කටයුතු කල මේ අනඟි අවස්ථාව මන්නාරමට කිසිදින අමතක නොවන මතකයක් වනු ඇත.
ඉතිහාසය හරහා ඔබව රැගෙන යන මෙම අද්විතීය ගමනේ මීළඟ අදියරේදී හමුවෙමු.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com