kiyawanamuddara.lk

Our Stories

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


10
October
2024

හරියට කියවන මුද්දර

"සත්‍යයට සපත්තු දමාගැනීමට පෙර බොරුව ලොව පුරා අඩක් යයි." - මාර්ක් ට්වේන්
“A lie gets halfway around the world before the truth has time to put its boots on.” - Mark Twain

"ලෝක තැපැල් දිනය" 2024 ඔක්තෝබර් 09 දින "ලොවපුරා සන්නිවේදනය සැපයීමේ සහ ජනතා සවිබලගැන්වීමේ 150 වසරක මෙහෙවර" (150 years of enabling communication and empowering peoples across nations) යන තේමාව පදනම්කරගෙන ලෝකයේ රටවල් 192ක් උත්සවාකාරයෙන් සමරනු ලැබිණි. 1874 ඔක්තෝම්බර් 9 වන දින බර්න් ගිවිසුම අත්සන් කිරීමට රටවල් 22 ක් එක්රැස්වී "පොදු තැපැල් සංගමය" නිර්මාණය කරන ලද අතර, එය පසුව "විශ්ව තැපැල් සංගමය" (Universal Postal Union's-UPU) ලෙස හැඳින්විනි. 1874 දී විශ්ව තැපැල් සංගමය නිර්මාණය කිරීමේ සංවත්සරය සනිටුහන් කිරීමේ මාධ්‍යයක් ලෙස 1969 දී ටෝකියෝ හි පැවති විශ්ව තැපැල් සම්මේලනය විසින් "ලෝක තැපැල් දිනය" නම් කර ගෝලීයව සැමරුම් සිදුකරයි.

අප රටේ ඒ පිළිබඳව ප්‍රධාන ජනමධ්‍ය වාර්තා කර තිබුනේ මෙලෙසිනි ..."150 වන ලෝක තැපැල් දින උත්සවය අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය මෙනවියගේ ප්‍රදානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුනා. එහිදී තැපැල් දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය මෙනවියගේ සහ අමාත්‍ය විජිත හේරත් මහතාගේ රුව සහිත මුද්දර දෙකක් නිකුත් කිරීමද විශේෂත්වයක්." මූලාශ්‍රය : හිරු ප්‍රවෘත්ති : https://www.youtube.com/watch?v=Rc-DOkDBa9A

එලෙසින්ම සමාජ මාධ්‍ය තුල ද ඊට නොදෙවෙනි ලෙස පුවත් මවා තිබුනේ "හරිනිගෙයි විජිතගෙයි මූණු දාලා මුද්දර ගහලා...ලෝක තැපැල් දිනයට සමගාමීව මුද්දර දෙකක් නිකුත් කළා. ඉන් එක් මුද්දරයක් හරිනි අමරසූරිය රුව සහිතව නිකුත් කර තිබු අතර තවත් මුද්දරයක් අමාත්‍ය විජිත හේරත් මහතාගේ රුව සහිතව නිකුත් කර තිබුණා. ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මගින් ඕනෑම පුද්ගලයෙක්ගේ රුව සහිත සමරු මුද්දර නිකුත් කිරීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වුවත් අග්‍රාමාත්‍යවරිය හා විජිත හේරත් මහතා මේ වන විට එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂකයන් දෙදෙනෙකුවීම විශේෂත්වයක්."
මූලාශ්‍රය : https://www.news19.lk/stamped-with-harini-and-vijithas.../

අදාල පුවත් තුල ලෝක තැපැල් දිනයේ දී ඊට සමගාමිව නිකුත් කල ලෝක තැපැල් දිනයේ 150 වන සංවත්සරය වෙනුවෙන් නිකුත් කල සමරු මුද්දරය පිළිබඳව හෝ විශ්ව තැපැල් සංගමයේ 150 වන සංවත්සර සමරු මුද්දරය පිළිබඳව හෝ සමරු තැපැල්පත පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා කර නොතිබුණි.

එයින් තැපැල් දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය මෙනවියගේ සහ අමාත්‍ය විජිත හේරත් මහතාගේ රුව සහිත මුද්දර දෙකක් නිකුත් කිරීම පිළිබඳ තොරතුර ප්‍රේක්ෂකයින් අගතියට පත් කරවයි. ඒ නිසා අප ඉගෙනගත් ප්‍රවෘත්ති මුලධර්ම (W5 සහ H) අනුව මෙම තොරතුරු සමබර නොවන බව නිසැකය.
මේවා සමරු මුද්දර නොවන බවත්, සිහිවටනයක් ලෙස නිර්මාණය කරන ලද මුද්දර පත්‍රිකාවක් පමණක් බවත්, ඒවා ඕනෑම අයෙකුට තැපෑලට මුදල් ගෙවා සකසා ගත හැකි බවත් දන්නේ කී දෙනාද? සමරු හෝ විශේෂ කාණ්ඩයේ (commemorative /special stamps) සහ නිත්‍ය කාණ්ඩයේ (Definitive) ලෙසින් මුද්දර වර්ග කෙරෙන අතර, ඉහතින් සදහන් මුද්දරය QR කේතය සහිතව "ඔබේ රුවට මුද්දරයක්" නමින් ප්‍රචලිත පුද්ගලකාරක මුද්දර සිහිවටන පත්‍රිකාවකි.

“තමන්ගේ පිංතූරය දාලා මුද්දරයක් මුද්‍රණය කර ගන්න දැන් පුළුවන්. දැන් අපි අය කරන්නේ රුපියල් 2,000යි. මුද්දර 20ක පත්‍රයක් දෙනවා. තමන්ගේ උපන් දිනයට, තමන්ගේ යාළුවාගේ උපන් දිනයට, තමන්ගේ දුවගේ හෝ පුතාගේ විවාහ ඇරයුම්පත යවන්න ඒ දෙන්නාගේ පිංතූරය තිබෙන මුද්දරයක් ඇතිව යවන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් තැපැල් මුද්දරයක් විදියට භාවිත කරන්න පුළුවන්” මූලාශ්‍රය : දිනමිණ https://www.dinamina.lk/.../%E0%B6%BB%E0%B7%94-2000%E0.../

වැරදි තොරතුරු (disinformation) සහ සාවද්‍ය තොරතුරු (misinformation) ජනගත කිරීම සඳහා ඇති ඉහල ප්‍රවණතා හඳුනාගැනීමට අප උත්සුක විය යුත්තේ මෙවැනි පුවත් තුලින් සමාජයට වන අගතිදායක බව අවම කිරීම වෙනුවෙනි. අපගේ සමාජ මාධ්‍ය ද සත්‍ය හෝ නොවිය හැකි පණිවිඩ, ශබ්ද සහ රූප වලින් පිරී ඇත. අසත්‍ය, හසුරුවන ලද සහ නොමඟ යවන තොරතුරු දේශපාලන සහ සමාජ සම්මතයන් සහ සාරධර්ම උඩු යටිකුරු කරයි.

මුද්දර පිළිබදව ජනමාධ්‍යයේ නොදැනුවත්කම සහ වැරදි තොරතුරු ජනගත කිරීම තුලින් මුද්දරයට සිදුවන අවමානය නිවැරදි කරන්නේ කවුද? තැපැල් දෙපාර්තමේන්තුවද වඩාත් සාධනීයව එම තොරතුරු ජනගත කල යුතු අතර, දෙපාර්තමේන්තුව සම්බන්ධ තොරතුරු ජනමාධ්‍ය තුලින් ප්‍රචාරණය කිරීමේදී ඔවුන් ද වඩාත් සැලකිලිමත් විය යුතුය. මුද්දර නිකුත් කිරීම පිළිබඳව පූර්ව දැනුම්වත්භාවය හා නිකුතුවට අදාල මුද්දර පිළිබඳව තොරතුරු ගොනුවක් (Press Kit) ජනමාධ්‍යවේදීන්ට ලබා දීම වැනි සරල පියවරයන් මගින් මෙම වැරදි පුවත් ජනගත වීම අවම කර ගත හැකිය.

විශ්වසනීය තොරතුරු වෙත ප්‍රවේශය ප්‍රවර්ධනය කිරීම මගින් විනිවිදභාවය, විශ්වාසය සහ වගවීම වැඩිදියුණු කිරීමට අදාල ආයතන කැපවිය යුතු බව ලෝක තැපැල් දිනයේ මාධ්‍ය හැසිරීම අපිට කියාදෙන පාඩමයි.

"සත්‍යයට සපත්තු දමාගැනීමට පෙර බොරුව ලොව පුරා අඩක් යයි." - මාර්ක් ට්වේන් (“A lie gets halfway around the world before the truth has time to put its boots on.”—Mark Twain)

බොරුවට සෑම විටම කකුල් තිබේ. එයට හේතුව අප සැමවිටම විශ්වාස කිරීමට අවශ්‍ය දේ විශ්වාස කිරීමට නැඹුරු වීමයි.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com