kiyawanamuddara.lk

Our Stories

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


11
October
2024

අප දුටු සිහිනේ සැබෑ කරන්නට ආ මුද්දරේ ...

"ශ්‍රී ලංකාවට නිදහස ලැබීම උත්සවාකාරයෙන් ප්‍රකාශයට පත්කරනු ලැබීම - 1948 පෙබරවාරි 10" වෙනුවෙන් 2024 ඔක්තෝබර් 08 වැනි දින නිකුත් කරනු ලැබූ මුද්දරය ~

රාජ්‍ය පාලනය පිළිබඳව ඉදිරි වසර සඳහා වන සැලැස්මට අදාළ යෝජනා හා ක්‍රියාවලිය හෙවත් රජයේ වැඩ සැලැස්ම "රාජාසන කතාව" ලෙස සැලකේ. රාජාසන කතාව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායේ අංගයකි. බ්‍රිතාන්‍යයේදී රාජාසන කතාව සිදුකරන්නේ මහ රැජන හෝ ඇගේ නියෝජිතයකු විසිනි. එහෙයින්, නව පාර්ලිමේන්තු සභාවාරයක් පටන් ගැනීමේදීම රජුගේ නියෝජිත වශයෙන් අග්‍රාණ්ඩුකාරවරයා විසින් වාර්ෂිකව රාජාසන කතාව ඉදිරිපත් කිරීම එවකට ලංකාවේද පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව පැවති සම්ප්‍රදාය විය. රාජාසන කතාව නිමවීමෙන් පසු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් දෙපළක් විසින් කරනු ලබන යෝජනා ස්ථිරත්වයෙන් එය සභා සම්මත වේ. ඉක්බිතිව දින වකවානු නියම කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේ ඒ පිළිබඳව පැවැත්වෙන විවාදයෙන් අනතුරුව සිදුවන ඡන්ද විමසීමකින් එම රාජාසන කතාව පාර්ලිමේන්තුව විසින් අනුමත කිරීම හෝ නොකිරීම ප්‍රකාශයට පත්වේ.

එම සම්ප්‍රදාය අනුව යමින්, ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වන තෙක් 1948 සිට ලංකාව බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස් වීමෙන් පසුව වුවද සෙංකෝලය යටතේ රාජාසන කතාව ඉදිරිපත් කිරීම නව සභාවාරය ආරම්භ වීමේදීම සිදුවිය. නිදහස් පාර්ලිමේන්තුවේ ප්‍රථම රාජාසන කතාව 1948 පෙබරවාරි 10 දින සිදු කරන ලද අතර, ඊට සමගාමීව පාර්ලිමේන්තුවේ නව සභා වාරය විවෘත කිරීමද සිදුවිය.

1948 දී ලංකාවේ නිදහස් සැමරුම් සහ ස්තුති පුද කිරීමේ උත්සව තැනින් තැන පැවැත්වුණි. මංගල නිදහසේ නිල උත්සව මාලාව 1948 පෙබරවාරි 4 වැනිදා සිට 18 වැනිදා දක්වා සැලසුම් කර තිබු අතර, එහි උත්කර්ෂය පෙබරවාරි 10 වැනි දිනට යෙදී තිබුණි. බ්‍රිතාන්‍ය රජුගේ නියෝජිතයා ලෙස ග්ලොස්ටර් ආදිපාදවරයා ශ්‍රී ලංකාවට නිදහස ලැබීම ප්‍රකාශයට පත් කිරීම සහ ඩොමීනියන් පාර්ලිමේන්තුව විවෘත කර රාජාසනයේ කතාව පැවැත්වීමද එදින සැළසුම් කල විශේෂ සිදුවීම්ය.

නිදහස ලැබීම උත්සවාකාරයෙන් ප්‍රකාශයට පත්කරනු ලැබීම සහ ස්වාධීන ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය ආරම්භ කිරීම සඳහා සුදුසු රැස්වීම් ශාලාවක් නොතිබූ හෙයින් ඒ සඳහා රජයේ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ හපුගොඩ රන්කොතගේ ප්‍රේමරත්න (එච්. ආර්. ප්‍රේමරත්න) නම් ප්‍රතිභාපූර්ණ ඉංජිනේරුවරයාගේ මූලිකත්වයෙන් රාජකීය ගුවන් හමුදාව ටොරිංටන් චතුරශ්‍රයේ ගොඩ නඟා තිබූ ගුවන් යානා අංගනයක් (නිදහස් චතුරශ්‍රය නොවේ) අගනා උත්සව ශාලාවක් බවට පරිවර්තනය කෙරිණි. මෙම විචිත්‍ර උත්සව ශාලාවේ අසිරිය මතු පරම්පරාවලට ද දැක ගත හැකි ලෙසින් ප්‍රේමරත්න මහතා විසින්ම විශාල ප්‍රමාණයේ වෛවර්ණ තෙල් සායම් සිතුවමක් නිර්මාණය කරන ලදී. එවකට පැවතුනේ කලු-සුදු සේයාපට පමණක් නිසාවෙන් ජායාරූප සහ සිනමාපටවලින් නිර්මාණයේ සැබෑ හැඩය හඳුනාගත නොහැකිවන බව දුටු ප්‍රේමරත්න මහතාඅනාගතය වෙනුවෙන් එම අවස්ථාව චිත්‍රයට නගන ලදී. පසු කලෙක හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් මෙම චිත්‍රය මිලට ගෙන කොළඹ ජනාධිපති මන්දිරයේ සිතුවම් ගොන්නට එක් කල අතර, එය නිදහස වෙනුවෙන් වැඩිපුරම භාවිතා වන දෘශ්‍ය රූප අතුරින් එකකි.

උස් වහළ සහිත ගුවන්යානා අංගනය ශාලාව උත්සව ශාලාවක් බවට පත් කිරීම අතිමහත් කාර්යයක් විය. එම උත්සව ශාලාවේ ප්‍රධාන දොරටුව මහනුවර මඟුල් මඩුවට අනුව වාස්තු විද්‍යාත්මක ශෛලියකින් නිමවා තිබුණි. එම දොරටුව ආරුක්කු තුනකින් යුක්ත වූ අතර, මකර තොරණකින් සරසා තිබුණි. ශාලාවේ තීරු අතර සම්ප්‍රදායික රැලි පාලම් විය. එම තීරු නෙළුම් හා පංචනාරි ගැටය වැනි සාම්ප්‍රදායික මෝස්තර වලින් සරසා තිබුණි. සාම්ප්‍රදායික සිංහල ධජ, යාපනයේ නන්දි කොඩි සහ මුස්ලිම් ප්‍රජාවගේ සංස්කෘතික ආකෘතීන්ද අලංකරණය සඳහා භාවිතා කරන තිබුණි.

නිදහස් උළෙලේ කල් පවතින මතකයන්ගෙන් එකක් බවට පත් වූයේ මෙම සැරසිලි පිළිබඳව මෙරට අසහාය පුවත්පත් කතුවරයා වූ ඩී. බී. ධනපාල ශූරීන් සිය ‘Among Those Present’ කෘතියේ නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ පිළිබද සටහනේ මෙසේ කියයි: "බ්‍රිතන්‍ය රාජකීය ගුවන් හමුදාව ටොරින්ටන් චතුරශ්‍රයේ ගොඩනඟා තිබූ අතිවිශාල හා අවලස්සන වූ ගුවන්යානා නිවහනක් (Hanger) එච්. ආර්. ප්‍රේමරත්න විසින් විසිතුරු උත්සව ශාලාවක් බවට හරවා තිබුණා. උඩරට රැළි පාලම් මඟින් දේදුන්නේ වර්ණ ළෙල දුන්නේ මේ දිවයිනේ මෙතෙක් දැක ඇති ඉතා ම චිත්තාකර්ෂණීය වර්ණ සංයෝජනය බවට එය පත් කරමින්. හැම කුළුණකින් ම අපේ සාම්ප්‍රදායික කලා උරුමය පිළිබිඹු කළා. මේ සියල්ල නූතන විශ්වකර්මයකුගේ හපන්කමක් වගෙයි.’’

"ලංකාවේ මුල්ම නිදහස් උළෙල වාර්තාකරණයට දෙස් විදෙස් ඡායාරූප ශිල්පීන් හා චිත්‍රපටකරුවන් රැසක් එක්ව සිටියහ. එනමුදු, එවකට භාවිතා වූයේ කළු-සුදු සේයාපට පමණයි. මේ නිසා තමන් නිර්මාණය කළ විචිත්‍ර උත්සව මඩුවේ අසිරිය මතු පරම්පරාවලට දැක ගත හැකි ලෙසින් ප්‍රේමරත්න මහතා විශාල ප්‍රමාණයේ වෛවර්ණ තෙල් සායම් සිතුවමක්ද නිර්මාණය කරන ලදී. දශක ගණනාවකට පසු ජනාධිපති වූ ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් මිලට ගත් මෙම චිත්‍රය දැන් කොළඹ ජනාධිපති මන්දිරයේ ප්‍රදර්ශනයට තබා තිබෙනවා." මූලාශ්‍රය: "සිවුමංසල කොලූගැටයා" #103: එච්. ආර්. ප්‍රේමරත්න – මුල්ම නිදහස් උළෙලේ ‘විශ්ව කර්මයා’, 2013 පෙබරවාරි 01, නාලක ගුණවර්ධන

2023 අප්‍රේල් මස 09 වැනිදා තරුණ පිරිසක් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සිය ධූරයෙන් ඉවත් වන ලෙස බලකරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කරන ලද ගෝල්ෆේස් අරගලය ලක් ඉතිහාසයේ වෙනමම පරිච්ඡේදයක් බවට පත්ව හමාරය. ජූනි 9 වැනි දින එහි උත්කර්ෂයට ලඟාවූ අතර, එහිදී ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අරලියගහ මන්දිරය ජනසතු විය.ජනාධිපති මන්දිරයේ ප්‍රදර්ශිත සුවිශේෂී සිතුවම් රැසක ජයාරූප සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරණය වූ අතර මෙම ඓතිහාසික සිතුවම සියැසින්ම දැකගැනීමට අපි උත්සුක විය.

ඩී. බී. ධනපාල මහතාගේ සමරු මුද්දරය වෙනුවෙන් අපි වෙහෙසෙන කාලයේදී ඇසුරුකරන ලද Among Those Present කෘතියේ සදහන් මේ අපුර්ව කලාකරුවාගේ විස්කම සහ නාලක ගුණවර්ධන මහතාගේ "සිවුමංසල කොලූගැටයා" සටහනේ ආශ්වාදයත් සමරු මුද්දරයක් මඟින් අපගේ සාමූහික මතකයේ සහ දෘශ්‍ය සංස්කෘතියේ කොටසක් බවට පත්කිරීමට අපි තීරණය කළෙමු.

ඒ අනුව මෙම අගනා සිතුවම පදනම් කරගෙන "කියවන මුද්දර" අපගේ යෝජනාවක් පරිදි ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් දිනයට සමගාමිව 2023 වසරේදී සමරු මුද්දරයක් නිකුත් වීමට නියමිත තිබුනද විවිධ හේතුන් හමුවේ ඒ අවස්තාව මඟ හැරුණි. එනමුදු පසුගිය 2024 ඔක්තෝබර් 08 වැනිදා ලෝක තැපැල් දිනයට සමගාමිව පැවැත්වෙන ජාතික මුද්දර ප්‍රදර්ශනයේදී එම සුවිශේෂී සමරු මුද්දරය ජනගත කරන ලදී.

මෙය ලංකා මුද්දර ඉතිහාසයේ සුවිශේෂීම මුද්දරයක් බව දන්නේ අතලොස්සකි. වසර 1948 නිදහස වෙනුවෙන් 1949 නිකුත් කරන ලද මුද්දර සහිත ෆෝල්ඩරයේ The Assembly Hall (රැස්වීම් ශාලාව) ලෙස මෙම මුද්දරය පිළිබදව විස්තරය ඇතුලත් කෙරුනද සමරු මුද්දරයක් නිකුත් නොකෙරුණි. මේ නිකුත් නොකරන ලද එම මුද්දරයයි.

අදාල ෆෝල්ඩරයේ සදහන් The Mace (සෙංකෝලය) සමරු මුද්දරය මෙම මෙහෙවරේ ඉතිරි කොටසයි (ලංකාණ්ඩුවට සෙංකෝලය හිමිවීමේ 75 වන සංවත්සරය 1949-2024). "කියවන මුද්දර" අපගේ යෝජනාවක් අනුව එයද ළඟදීම සමරු මුද්දරයක් බවට පත්වී ලංකා මුද්දර ඉතිහාසයේ තවත් හිඩැසක් සම්පුර්ණ වනු ඇත.

නාලක ගුණවර්ධන මහතා - මාධ්‍යවේදී සහ සංවර්ධන සන්නිවේදන විශේෂඥ, රංජිත් ආරියරත්න මහතා - හිටපු තැපැල්පති සහ වත්මන් අමාත්‍යංශ ලේකම්, රුවන් සත්කුමාර මහතා - තැපැල්පතිතුමා, සමන් ඒකනායක මහතා - හිටපු ජනාධිපති ලේකම්, රාජිත රණසිංහ මහතා - නියෝජ්‍ය තැපැල්පති මෙහෙයුම්, ලංකා ද සිල්වා මහතා - අධ්‍යක්ෂක - මුද්දර කාර්යාංශය, චන්න මුණසිංහ මහතා - ජ්‍යෙෂ්ඨ මහජන සම්බන්ධතා නිලධාරී - මුද්දර කාර්යාංශය, ඉසුරු චතුරංග මහතා - මුද්දර සැලසුම්කරු, මුද්දර යෝජනාව ඉදිරිපත් කිරීමට සහාය වූ ජොහාන් ඩෙකර් මහතා, මුද්දරය ආකෘතිය මුලින්ම සැකසු K.G.කීර්තිරත්න මහතා, හිටපු ජනාධිපතිතුමන්ගේ මාධ්‍ය අංශය හා සහාය දුන් සැමට අපගේ විශේෂ ස්තුතිය.

මුද්දර යනු ජාතියක අභ්‍යන්තර ජීවිතය පිළිබඳ දෘශ්‍යකරණයන් වන අතර ජාතියක සාමූහික මතකයේ සළුව ගෙතීම සඳහා අත්‍යවශ්‍ය මෙවලමකි ( Stamps are visualizations of a nation’s inner life and have become an integral tool for weaving the fabric of a nation’s collective memory).

මුද්දර තියෙන්නේ ලියුම් යවන්න විතරක් යැයි සිතූ පටු අදහසින් බැහැරවීමට මේ හොඳම කාලයයි.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com