kiyawanamuddara.lk

Our Stories

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


19
December
2023

ගාලු උරුමය කියවන මුද්දර

ගාලු කොටුව යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් වී 2023 දෙසැම්බර් මසට 35 වසරක් සපිරීම නිමිත්තෙන් ගාලු උරුමය පදනම විසින් සංවිධානය කරනු ලැබූ "ගාලු උරුම සතිය" ට සමගාමීව පැවැත්වූ "කියවන මුද්දර" වැඩසටහන පසුගිය වසරේ පැවති අපගේ අවසන් වැඩසටහනයි.

පාසල් දරුවන් රැසකගේ සහභාගීත්වයෙන් ඉතා සාර්ථකව පැවැත්වූ මෙම වැඩසටහන සහ ප්‍රදර්ශනය දකුණු පළාත් උරුමය සමරු මුද්දර මගින් සාකච්ඡා කිරීමට ලත් මහඟු අවස්ථාවක් විය.

නෙදර්ලන්ත ජාතික ජොරිස් වෑන් ස්පිල්බර්ජන්ගේ ලංකාගමනය; ශ්‍රී ලංකා තැපැල් ඉතිහාසය සහ ගාල්ල වරාය; ඕල්කට්තුමන්ගේ ලංකා ගමනය; ගාල්ලේ මහින්දය සහ ආනන්ද සමරකෝන් මැතිඳුන්; කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ මැතිඳුන්; බලපිටියේ එච්. ශ්‍රී. නිස්සංක මැතිඳුන්; තංගල්ලේ දොස්තර ස්පිටල් මහතා; අම්බලන්ගොඩ ආනන්ද රාජකරුණා මැතිඳුන්; රන්දොබේ සී. පී. ද සිල්වා මැතිඳුන්; තිස්සමහාරාමයේ ඩී. බී. ධනපාල මැතිඳුන්; බෙලිඅත්තේ මානවසිංහයන්; හම්බන්තොට එන්. යූ. ජයවර්ධනයන් ආදීන්ගේ මුද්දර සැමරුම් රැසක් මෙම වැඩසටහනට එකතු කෙරුණි.

මුද්දරය යනු ජාතික අනන්‍යතාවයේ කෞතුක වස්තූන්ය. ඒවා ජාතියත්, ජාතික සංස්කෘතියත් එකවර නියෝජනය කරයි. එලෙසින්ම ඒවා ප්‍රාදේශීය වශයෙන්ද වෙන් වෙන් ව පෙළගස්වා ගැනීමෙන් නැතහොත් ප්‍රදේශීය එකතු ලෙස ගොනු කර ගැනීමෙන් එකතු කිරීමේ විනෝදය තවත් රසවත් කර ගත හැකිවේ. මුද්දර එකතු කිරීම වනාහි සංස්කෘතිය එකතු කිරීමකි. එය හදාරමින් සහ කියවමින් එකතු කිරීමෙන් අගනා ප්‍රතිඑල නොඅඩුව ලැබේ.

මුද්දර යනු ඉතිහාසය කියවීම සහ හැදෑරීම සඳහා මූලාශ්‍රයක් බව පොදුජන මනසට හුරුකරනා මෙවන් වැඩසටහන් වල වැදගත්කම හඳුනාගත් ගාලු උරුමය පදනමේ ගරු සභාපති අචාර්ය නිලාන් කුරේ මහත්මා,තරංග ලියනාරච්චි,නිරෝෂා චන්දිමාලි,රිද්මි නානායක්කාර ඇතුළු එහි සමස්ත කාර්ය මණ්ඩලයට අපගේ ස්තුතිය පිරිනමමු.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com