17
October
2023
ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා අවසන් තරගයේදී රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න සමත් වූවාය. ශ්‍රී ලංකාව මෙලෙස මලල ක්‍රීඩා ඉසව්වකින් රන් පදක්කමක් දිනා ගන්නේ වසර 21කට පසුවය. එමෙන්ම ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලක මීටර 800 ධාවන ඉසව්වෙන් දිනූ පළමු පදක්කම ලෙසද මෙය සටහන් වේ.
මෙම ජයග්‍රහණයට සමගාමීව ඇය අධ්‍යාපනය ලබන වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය පිළිබඳවද නිරතුරුව කතාබහට ලක්වන නමුදු, තරුෂිගේ ක්‍රීඩා දිවියට මඟ පෙන්වූ මේ පින්බිමට නම තැබූ "රත්නායක" ගැන විමසන්නෝ අල්පය.
රත්නායක වාසල මුදියන්සේලාගේ අබේරත්න රත්නායක නැතහොත් බොහෝ දෙනෙක් අහල තිබුනට දැකලා නැති ඒ. රත්නායක මහතා පිළිබඳව වන "කියවන මුද්දර" මේ සටහන තරුෂිගේ රන් පදක්කම ඇගයීමට මෙන්ම ඉතිහාසය විසින් අමතක කරන ලද සැබෑ දේශප්‍රේමියෙකුගේ මතකය අලුත් කිරීමට මගකි.
වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය:
ශ්‍රී ලංකා පාසල් ඉතිහාසයේ දුම්බර සරසවිය ලෙස නම් ලද වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ ආරම්භය සටහන් වන්නේ වසර 1926 දීය. මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඩසාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශයේ මැණික්හින්න ග්‍රාමයේ පිහිටි මෙම විදුහල වසර 1931 දී ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ රජයේ පාසලක් ලෙස ස්ථාපිත කෙරිණි. එම කටයුත්ත සඳහා වැඩි දායකත්වයක් ලබා දුන්නේ ඒ. රත්නායක මහතා ය. එවකට ඔහු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දුම්බර ආසනය නියෝජනය කළ මන්ත්‍රීවරයා ලෙසින් කටයුතු කළේය.
ඉක්බිතිව වසර 1940 දී එවකට කෘෂිකර්ම අමාත්‍යවරයා වූ මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ මැදිහත්වීමෙන් "වලල ශාස්ත්‍රාලය" නමින් මෙම පාසල නම් කෙරුණි. ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර මහතාගේ මධ්‍ය විද්‍යාල සංකල්පය යටතේ වලල ශාස්ත්‍රාලය 1944 ජනවාරි මස 24 වැනි දින "වලල මධ්‍ය මහා විද්‍යාලය" බවට පරිවර්තනය විය.
මෙම විද්‍යාලය බිහි කිරීමේ පුරෝගාමීයෙකු වූ දුම්බර මිටියාවතෙන් බිහි වූ ශ්‍රේෂ්ඨ මානව හිතවාදියෙක්, රාජ්‍ය තාන්ත්‍රිකයෙක්, දාර්ශනිකයෙක්, අධ්‍යාපනඥයෙක් මෙන්ම ශ්‍රී ලංකා සෙනෙට් සභාවේ අවසාන සභාපති ද වූ ආචාර්ය ඒ. රත්නායකයන් නමින් මෙම විද්‍යාලය නම් කෙරෙන්නේ 1979 පෙබරවාරි මස 19 වැනිදාය.
මධ්‍යම රජය මගින් ක්‍රියාත්මක කළ ක්‍රීඩා පාසල් ව්‍යාපෘතිය යටතේ 1995 අගෝස්තු 03 වැනි දින මධ්‍යම පළාත් සභාව මගින් වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය ක්‍රීඩා පාසලක් ලෙසින් ස්ථාපිත කරන ලද අතර, ඒ වන විට ද එය මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් අතුරින් ක්‍රීඩා දක්ෂතාවලින් ඉදිරියෙන්ම සිටි පාසල විය. අද එය ලංකාවටම ආඩම්බරයක් ගෙන දෙමින් ආසියාවම ජයගෙන තිබේ.
අමතකවූ වීරයා .....
වසර 1900 ජනවාරි හි උපන් ඒ. රත්නායක මහතා මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් සහ කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ලංකා විශ්ව විද්‍යාල විද්‍යාලයට ඇතුළත්ව ලන්ඩන් ශාස්ත්‍රපති උපාධිය ලබා නීතිය හැදෑරූ අතර, 1931 දී නීතිඥයෙකු ලෙස සුදුසුකම් ලැබීය. වසර 40ක් දුම්බර ආසනය නියෝජනය කල ඔහු ඩී.එස්.සේනානායක මහතාගේ 1947 කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකු වූ අතර 1965දී සෙනෙට් සභාවට තේරී පත් වී සෙනෙට් සභාව අහෝසි වනතුරු එහි සභාපතිවරයා ලෙසින් කටයුතු කළේය.
රත්නායක මහතා නිදහස් අධ්‍යාපනයේ කතාව පිටුපස සිටි අමතක නොකළයුතු වීරයායි. බාලාංශයේ සිට විශ්ව විද්‍යාලය දක්වා නිදහස් අධ්‍යාපනය පිළිබඳ අදහස ඇති කළේ ඒ. රත්නායක මහතාය. බාලාංශයේ සිට විශ්ව විද්‍යාලය දක්වා ඒකාකාරී නිදහස් අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ අධ්‍යාපන කමිටුවක් පත් කළ යුතු බවට රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළේ ද එතුමන් ය. අධ්‍යාපනය පිළිබඳ විශේෂ කාරක සභාවේ 88 වැනි රැස්වීමේදී නිදහස් අධ්‍යාපන යෝජනාව ඉදිරිපත් කළේ ද රත්නායක මහතා බව නිල වාර්තා සනාථ කරයි.
ඔහු 1947 නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ප්‍රථම කැබිනට් මණ්ඩලයේ ආහාර හා සමුපකාර අමාත්‍යවරයා ලෙස පත් නොවී, අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පත්වූවා නම් නිදහස් අධ්‍යාපනයේ ඉරණම මීට බොහෝ වෙනස් වන්නට ඉඩ තිබුණි.
නිදහස් අධ්‍යාපනයේ කතාවේ ඒ.රත්නායක භූමිකාව ගැන බොහෝ අය කිසිසේත්ම දන්නේ නැත. තරුෂි කරුණාරත්නගේ රන් ජයග්‍රහණ ගැන මතුද ලියැවෙන විට, ශ්‍රී ලංකාවේ සැබෑ දේශප්‍රේමියෙකු ලෙස ඒ. රත්නායක මහතාගේ නම ද අප සිහිපත් කල යුතු වන්නේ එබැවිනි.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com