kiyawanamuddara.lk

Our Stories

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


03
October
2023

පේරා ,ජාතික එකමුතුවේ මතකහිටින පාඩම

ලාංකීය උසස් අධ්‍යාපනය පිළිබඳ කතාන්දරයේ රසවත්ම කොටසක් වන්නේ හන්තාන කඳු පාමුලින් ගලායන සුන්දර මහවැලිය අසබඩ මනස්කාන්ත පරිසරයක පිහිටුවන ලද පේරාදෙණිය විශ්ව විද්‍යාලය යි.
මේක විශ්ව විද්‍යාලයක් පිහිටුවීම පිළිබඳ කතාන්දරයක් පමණක්ම නොවෙයි. රට වෙනුවෙන්, රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දුර දැකපු සැබෑ උගතුන් සහ බුද්ධිමතුන්ගේ අධිෂ්ඨානශීලි එකමුතුවේ කතාන්දරයයි. වර්ගය, ජාතිය, පන්තිය හෝ කුලය ආදිය නොසලකා ශ්‍රී ලාංකිකයින් ලෙස එක්ව කටයුතු කිරීම පිළිබඳ මතකහිටිනා පාඩමයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලය පිහිටුවීමේ කතාන්දරය රසවත් වන්නා සේම, එහි මුල-මැද කියවා ගැනීමෙන් ඔබට පේරාදෙණිය මතකයන් ඇසුරෙන් සැබෑ ඉතිහාස පාඩම් ද ඉගෙන ගැනීමට පුළුවන්. ඒ, එම කතන්දර, අතීත අත්දැකීම්, වර්තමාන අභියෝග සහ අනාගත බලාපොරොත්තු ගබඩාකර තිබෙන නිසා යි.
සමාජ ප්‍රතිසංස්කරණ සංගමයේ ආනන්ද කුමාරස්වාමි මහතා විසින් 1905 දී ලංකාවට උචිත විශ්ව විද්‍යාලයක් පිළිබඳ සවිස්තරාත්මක සැලසුමක් ඉංග්‍රීසි රජයට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ නමුත්, 1906 දී පිහිටුවන ලද ලංකා විශ්ව විද්‍යාල සංගමය (Ceylon University Association) ලංකාවට උචිත විශ්ව විද්‍යාලයක් පිළිබඳව වඩාත් සංවිධානාත්මකව කටයුතු කල එකමුතුව වුනා. ** එහි ශ්‍රීමත් අරුණාචලම්, ශ්‍රීමත් ජේම්ස් පීරිස්, ශ්‍රීමත් මාක්ස් ප්‍රනාන්දු යනාදීන්ගේ මූලිකත්වයෙන් මෙම ඉල්ලීම රජයට යොමු කරනු ලැබුවත්, 1911 වන තෙක් මේ සම්බන්ධයෙන් කිසිඳු ප්‍රගතියක් අත් වූයේ නෑ.

ලංකා ව්‍යවස්ථාදායක සභාව 1912 දී විශ්ව විද්‍යාලයක් පිහිටුවීමේ යෝජනාවට අනුමැතිය ලබා දුන්නා. එවකට ලක්දිව ආණ්ඩුකාරවරයා වූ ශ්‍රීමත් මැකලම් ආණ්ඩුකාරවරයා විසින්  පත් කරන ලද මක්ලවුඩ් කමිටුවේ තීරණය වූයේ ලංකාවට විශ්ව විද්‍යාලයකට පෙර  විශ්ව විද්‍යාල කොලිජියක් (Ceylon University College ) පිහිටුවීම සුදුසු බවයි. නමුත්, ප්‍රථම ලෝක යුද සමය (1914-1918) සහ ඉන් ඉක්බිතිව පැවති ආර්ථික අර්බුද හමුවේ මෙම තීරණය ක්‍රියාත්මක කිරීම පමා වුනා.
1920 දී ලංකාවේ අධ්‍යාපන අධ්‍යක්‍ෂක ලෙසින් පත්වීම ලද  ශ්‍රීමත් එඩ්වඩ් ඩෙන්හැම් ගේ යෝජනාවකට අනුව, අප්‍රමාදව යථෝක්ත විද්‍යාලය ආරම්භ කිරීමට තීරණය කරනු ලදුව, 1921 ජනවාරි 21 වන දින ලන්ඩන් විශ්ව විද්‍යාලයට අනුබද්ධ ආයතනයක් ලෙසින් ලංකා "විශ්ව විද්‍යාල කොලීජිය" පිහිටවූවා. එහි ප්‍රථම විදුහල්පති වූයේ මහාචාර්ය රොබර්ට් මාර්ස් මහතායි.

ශ්‍රීමත් එඩ්වඩ් ඩෙන්හැම්ගේ නිර්දේෂය යටතේ විශ්ව විද්‍යාලය පිහිටුවීම සඳහා රජය විසින් 1920 දී “රෙජිනා වලව්ව” (වර්තමානයේ College House) නම් පෞද්ගලික මන්දිරය මිළදී ගන්නා ලදුව, 1921 ජනවාරි මස 21 වන දින විධිමත් ලෙස ලංකා විශ්ව විද්‍යාලයේ සමාරම්භය සනිටුහන් වුනා. රෙජිනා වලව්ව වනාහි, සුප්‍රසිද්ධ ධානපතියෙකු වූ, ශ්‍රීමත් චාල්ස් හෙන්රි ද සොයිසා ගේ පුත්,  තෝමස් හෙන්රි ආතර් ද සොයිසාට අයත් මන්දිරයයි.
කොළඹ විශ්ව විද්‍යාල කොලීජිය, එකල ලන්ඩන් විශ්ව විද්‍යාලයේ උපාධි සඳහා සිසු සිසුවියන් පුහුණුකරන්නා වූ අනුබද්ධ ආයතනයක් ලෙසින් ක්‍රියාත්මක කෙරුනා. විෂය නිර්දේශය නියම කිරීම, ප්‍රශ්න පත්‍ර සැකසීම හා පිළිතුරුපත් බැලීම ආදිය කෙරුනේ ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් වන අතර, ඉගැන්වීම සහ විභාග අධීක්ෂණය ලංකාවේ ගුරුවරුන් විසින් සිදු කෙරුනා. කොළඹ විශ්ව විද්‍යාල කොලීජිය  ලංකාව සඳහා සම්පූර්ණ විශ්ව විද්‍යාලයක් නොවුනත්, එය අනාගතයේ දී පරිපූර්ණ විශ්ව විද්‍යාලයක් බවට පත්වීමේ සංක්‍රාන්ති අවස්ථාවක වූ තාවකාලික පියවරක් වුනා.

විශ්ව විද්‍යාල කොලීජිය, පුර්ණ විශ්ව විද්‍යාලයක තත්වය ලැබීමට සියළු අවශ්‍යතා සපුරා තිබුනත් එය පිහිටුවන ස්ථානය පිළිබඳව ගැටළුකාරී තත්වයක් පැන නැගී තිබුනා. එය පසුව "ස්ථානය  පිළිබද සටන" (Battle of the site) ලෙස ප්‍රකට වුනා. එක පාර්ශවයක් යෝජිත විශ්ව විද්‍යාලය කොළඹ කේන්ද්‍රීයව පිහිටවිය යුතු බවට තර්ක කල අතර, ඊට විරුද්ධ පාර්ශවයේ අදහස වූයේ විශ්ව විද්‍යාලය පූර්ණ නේවාසික පහසුකම් ඇති වඩාත් ඉඩකඩ සහිත භූමියක පිහිටවිය යුතු බවයි. කෙසේ නමුත් අවසානයේදී පේරාදෙණිය යෝජනාව ක්‍රියාත්මක කිරීමට අවසර ලැබුන අතර,  ඒ මතය ජයග්‍රහණය කිරීම සඳහා ඩී. ආර්. විජේවර්ධන මහතාට අයත්ව තිබූ ලේක් හවුස් පුවත්පත් සමාගමේ ප්‍රකාශන මඟින් පුළුල් ප්‍රචාරාත්මක වැඩසටහනක් ගෙනයනු ලැබුවා.
1941 මාර්තු මාසයේදී ශ්‍රීමත් අයිවර් ජෙනින්ග්ස් මහතා විශ්ව විද්‍යාල විද්‍යායතනයේ වීදුහල්පති ලෙස වැඩ බාර ගත්තා. එතුමාගේ මූලිකත්වයෙන් 1942 ජූලි 1 වන දින, අංක 20 දරණ ලංකා විශ්ව විද්‍යාල ආඥා පනත යටතේ 1870 දී ආරම්භ කරන ලද කොළඹ විද්‍යා විද්‍යාලය (Ceylon Medical College) සමඟ විශ්ව විද්‍යාල විද්‍යායතනය (Ceylon University College) ඒකාබද්ධ කොට ගනිමින් "ලංකා විශ්ව විද්‍යාලය"  (University of Ceylon) නම්වූ විශිෂ්ඨ ඒකාබද්ධ ආයතනය පිහිටවූවා.

සර් ජෝන් කොතලාවල මහතා විසින් 1946 අගෝස්තු 31 ඉඳිකිරීම් සඳහා මුල්ගල තැබූ අතර, 1948 පෙබරවාරි 12 දින ග්ලොස්ටර් ආදිපාදවරයා විසින් උපාදී ප්‍රදානොත්සව පවත්වන ප්‍රදාන ශාලාව සඳහා මුල්ගල තබන තැබුවා. ඉදිකිරීම් අතරතුරම වූ 1952 ඔක්තෝබර් 6 දින විශ්ව විද්‍යාලය පේරාදෙණියේ නිල වශයෙන් ආරම්භ වූ දිනය ලෙස සලකනවා. ඒ වාගේම  1954 අප්‍රේල් 20 දින දෙවන එලිසබෙත් රැජිනගේ ලංකා සවාරියට සමගාමීව රාජකීය සුරතින් විශ්ව විද්‍යාලය නැවතත් විවෘත කෙරුනා.
උපාධි අපේක්ෂකයින් සඳහා නේවාසිකාගාර පහසුකම් ලබාදීම විශ්ව විද්‍යාලය පේරාදෙණියේ ස්ථාපනය සඳහා මූලික සාධකයක් වූ බැවින්, සිසුන් සඳහා වෙනමම නේවාසිකාගාර ඉඳි වුනා. ඒවා නම් කරන ලද්දේ විශ්ව විද්‍යාලය දැයට දායාද කිරීමට වෙහෙසුණු  අයට උපහාර පිණිසයි. ඒ අනුව ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන්, ශ්‍රීමත් පොන්නම්බලම් අරුනාචලම්, ශ්‍රීමත් ජේම්ස් පීරිස්, ශ්‍රීමත් ඩී. බී. ජයතිලක, විනිසුරු අක්බාර්,දොස්තර අන්ද්‍රියස් නෙල්, දොස්තර මාක්ස් ප්‍රනාන්දු, ඩී. ආර්. විජේවර්ධන, මහාචාර්ය රොබට් මාස්, ශ්‍රීමත් අයිවෝ ජෙනින්ග්ස් සහ ලාංකීය කාන්තා උසස් අධ්‍යාපනය වෙනුවෙන් කැපවී කටයුතු කළ සමාජ සේවිකාවක වූ හිල්ඩා ඔබේසේකර මැතිනියගේ නාමයන් ගෙන් මෙම නේවාසිකාගාර නම් වුනා.

මීට අතිරේකව ලාංකීය උසස් අධ්‍යාපනය වෙනුවෙන් වෙහෙසුණු, ඒ සඳහා කැපවී කටයුතු කල ජාතිහිතෛෂීන් රැසක් වෙනවා. ආනන්ද කුමාරස්වාමි, සී. ඩබ්. ඩබ්. කන්නන්ගර, ඩී. එස්. සේනානායක, ජෝර්ජ් ඊ. ද සිල්වා, ගුණපාල මලලසේකර, දොස්තර නිකලස් ආටිගල, ඒ. ඊ. නුගවෙල, දොස්තර ආතර් ද සිල්වා, මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර, මහාචාර්ය එම්. ඩී. රත්නසූරිය ආදීහු ලෙසින් මෙම නාමාවලිය ඉතා දිඟු යි.

ජාතියක එකමුතුව සහ අධිෂ්ඨානශීලි බව ගැන අපට සිහිපත් කරවන මහ පොළොවේ සැබෑ නිදසුන පේරාදෙණිය සරසවියයි.
ජාතියක අභ්‍යන්තර ජීවිතය පිළිබඳ දෘෂ්‍යකරණය සහ සාමූහික මතකයන් ගොඩනැගීමේ අත්‍යාවශ්‍ය දෘශ්‍ය සාධකයක් තමයි මුද්දර කියන්නේ. පේරාදෙණිය මතකය අලුත් කරගැනීම සඳහා මෙම මුද්දර අලුත් කවුළුවක් වෙනවාට කිසිම සැකයක් නැහැ.

Video




© kiyawanamuddara 2020 | Solution by 4meli.com