26
September
2023
ජාතීන් අතර සුහදතාවය, එකමුතුකම සහ සංහිඳියාව ප්‍රවර්ධනය සඳහා හොඳම ක්‍රමය වන්නේ එකිනෙකාගේ සංස්කෘතික අවකාශ අනෙකාට විවෘත කිරීමයි. චිත්‍ර කලාව, සංගීතය, කවි, සින්දු, නැටුම්, සාහිත්‍යය, චිත්‍රපටි, ජායාරූපකරණය ආදිය සංවාද සහ අන්තර් සංස්කෘතික අත්දැකීම් සඳහා පහසුකම් සලසන මාධ්‍යයන් විය හැකිය. එහෙත්, මෙම කලා පිවිසුම් අතරේ අපට තවමත් මඟ හැරී තිබෙනා සහ ඉතා සුළුකොට තකනා තැපැල් මුද්දරය සංස්කෘතික බහුවිධතාවයේ කලා ප්‍රකාශනයක් ලෙස ඉතා වැදගත් ස්ථානයක් ගන්නවා.
මුද්දරය, ජාතියක දෘශ්‍ය සංස්කෘතියේ පරමාදර්ෂය අභිමානයෙන් යුතුව සන්නිවේදනය කරනා මෝස්තර ඇතුලත් වන ජාතියක අනන්‍යතාවයේ සන්නාමයයි. එහෙයින්, මුද්දරය හැඳින්වෙන්නේ කඩදාසි තානාපතිවරුන් (Paper ambassadors) ලෙසයි. සැබවින්ම මුද්දර යනු ජාතියක අභ්‍යන්තර ජීවිතය පිළිබඳ දෘෂ්‍යකරණය වන අතර, ජාතියක සාමූහික මතකයේ අත්‍යවශ්‍ය මෙවලමක් බවට මුද්දර පත්වූයේ එය ලෝකයට බිහිවූ 1840 සිටම යි.
බහුවිධ සමාජයක දී එකිනෙකා අතර සහයෝගයෙන් කටයුතු කිරීම සහ ජීවත්වීම සඳහා සැබෑ අවබෝධයක් අත්‍යවශ්‍යයි. එයට අනෙකාගේ සංස්කෘතිය කියැවිය යුතුයි. මුද්දර එකතුවකින් ඔබට ඉදිරිපත් කරන්නේ එවැනි කියැවීමක්; එවැනි හැදෑරීමක්.
සිංහල-බෞද්ධ සංස්කෘතිය අපේ රටේ බහුතරයකගේ සංස්කෘතියයි. මුද්දර, උරුමයන් පටිගත කිරීමේ සහ ගබඩාකිරීමේ මාධ්‍යයක් ලෙසින්ද ක්‍රියා කරනවා. ලාංකීය මුද්දර ඉතිහාසය තුල ඊට නිදසුන් ලෙස දැක්විය හැකි සමරු මුද්දර රැසක් තියෙනවා. සතර පෝය නිවාඩුව, වෙසක් පොහොය, මිහිමත ඇති විශිෂ්ටතම සංදර්ශනවලින් එකක් (one of the greatest shows on earth) වන මහනුවර ඇසළ පෙරහැර, ශ්‍රී ලංකාවේ සෙල් හා විහාර සිතුවම් සහ විශේෂයෙන් සිංහල දෙමල අලුත් අවුරුදු චාරිත්‍ර නිරූපිත සමරු මුද්දර සංස්කෘතික සම්මිශ්‍රණය පිළිබඳව මනා නිදසුන් ගෙන එනවා. නව බැදීම් අලුත් කරනා සහ තිබෙන බැදීම් ශක්තිමත් කරනා සිංහල-දෙමල අලුත් අවුරුද්ද මෙම සංස්කෘතීන් දෙක අතර ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාව ශක්තිමත් කරන්නට ලැබෙනා අනගි අවස්ථාවක්.
ඉතා ඈත අතීතයේ සිටම ලාංකික දමිළ ප්‍රජාවේ සංස්කෘතික සහ භාෂා සවිඥාණිකත්වය වර්ධනය කරලීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සංස්කෘතික ක්‍රියාවලීන් හැඩ ගැසීමේදී, ඉන්දියාවේ සිදු වූ සිදුවීම් හා එහි ඇති වූ ප්‍රවණතා ඉතාමත් වැදගත් කාර්‍යභාරයක් ඉටු කර තිබෙනවා. මේ අනුව යමින්,තෛපොංගල්, දීපවාලි වැනි උත්සව සහ ස්වාමි විපුලානන්දර් ගේ බලපෑම ලංකාවේ සමරු මුද්දර මත සිතුවම් කර තිබෙනවා.
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට මුස්ලිම් තේමාවක් සඳහා සමරු මුද්දරයක් නිකුත් කර ඇත්තේ 1968 දී යි. ඉස්ලාමීය වර්ෂ ක්‍රමය අනුව ශුද්ධ වූ අල් කුරානයේ 1400 වන සංවත්සරය නිමිතිකොට ගෙන මෙම මුද්දරය නිකුත් කර තිබෙනවා. 15 වන සියවස හිජ්රා සමරු මුද්දරය, මිලදුන් නබි හෙවත් මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය පදනම් කරගෙන සමරු මුද්දර නිකුත් කර ඇති අතර, සිංහල සංගීත ක්‍ෂේත්‍රයේ වැඩිම බොදු බැති ගී ප්‍රමාණයක් ගායනා කරන ලද අල්හාජ් මොහොදීන් බෙග් සමරු මුද්දරයද මේ සඳහා කදිම නිදසුන් වෙනවා.
ලොව පුරා කිතුනුවන් බැතියෙන් සමරන නත්තල් උත්සවය සහ තැපැල් මුද්දරය අතර ඇත්තේ ඉතා සමීප බැදීමක්. ඊට හේතුව ලොව වැඩිම මුද්දර ප්‍රමාණයක් නිකුත් කරනු ලබන්නේ නත්තල් උත්සවය තේමා කොට ගෙන වීමයි. නත්තල වෙනුවෙන් සමරු මුද්දර නිකුත් කිරීම සම්ප්‍රදායක් ලෙස ලංකාවේ මෑත කාලීනව සිදුකරනු ලබන අතර, මහනුවර ත්‍රිත්ව දෙව්මැදුරේ සිතුවමින් අලංකෘත වූ අපූර්ව නත්තල් සමරු මුද්දර නිකුතවක් 1986 දී එළිදක්වා තිබෙනවා. එම අපූරු සිතුවම් නිම කරන ලද්දේ ඩේවිඩ් පේන්ටර් නම් විශිෂ්ඨයා විසින්. තරුණ ක්‍රිස්තියානි සංගමයේ ත්‍රිකෝණාකාර මුද්දරය, ශ්‍රී ලංකා බයිබල් සංගමයේ 175 වන සමරුව, ගරු මර්සලීන් ජයකොඩි පියතුමන් වැනි අගනා ක්‍රිස්තියානි/කතෝලික සංස්කෘතික මූලයන්ද සමරු මුද්දර මගින් සිහිපත් කර තිබෙනවා.
බහු සංස්කෘතික සමාජයක පුරවැසියන් වශයෙන් කටයුතු කිරීමේදී සංස්කෘතික විවිධත්වය පිළිබඳව හැදෑරීමක් සහිතවීම සාමකාමී සමාජයක පදනම වෙනවා.
මුද්දරය යනු සමකාලීන සමාජයේ පිළිබිඹුවක්. නවීන සංස්කෘතික හුවමාරු වැඩසටහනක කොටසක් ලෙස මුද්දර දෙස අලුත් හැදෑරීමකින් විමසිය යුත්තේ ඒ නිසායි.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com