19
September
2023
අපේ නොවන අපේ අය: ලාංකීය ඉතිහාසයට බලපෑම සහගත වූ විදේශිකයෝ
ශ්‍රී ලාංකීය සමාජයට විවිධ මට්ටම් වලින් යටත්විජිත සහ නූතනත්වයේ බලපෑම් වලට යටත්වන්නට සිදුවුනා. එම බලපෑම් සමාජ, සංස්කෘතික, ආර්ථික හා දේශපාලනික ලෙසින් විග්‍රහ කරන්නට පුළුවන්. මේ බොහෝ බලපෑම් සහගත කටයුතු වලට මූලික වූ පුද්ගලයින් අතර බොහෝ විදේශිකයිනුත් සිටියා. රැකිරක්ෂා, ධර්ම ප්‍රචාරණ, සමාජ සේවා, අධ්‍යාපනික සහ පර්යේෂණ, ආර්ථික සහ දේශපාලනික කටයුතු සඳහා විදේශිකයින් රැසක් ලංකාව සමඟ සම්බන්ධ වූවා. ලාංකීය ජනසමාජයේ යහපවැත්මට කැපවූ මෙම විදේශිකයින්ගේ ජිවන දර්ශනය සහ ක්‍රියාකාරීත්වය අපගේ ජාතික අනන්‍යතාවය සහ සංස්කෘතික සම්මිශ්‍රණය සඳහා හොඳ පදනමක් වුනා. ඉතිහාසයේ කාලපරිජේද තුල විවිධ ස්ථානවලදී පිබිදුනු මේ අය එකම තැනකදී ඔබට හමුවිය හැකිනම් ඒ මුද්දර එකතුවක පමණයි.
අලුත් විදිහකට, අලුත් හැඩයකට අපි ගැන සිතන්න, රට ගැන සිතන්න අපිට කියාදුන් "අපේ නොවන අපේම අයගේ"කතන්දරයයි මේ.
සංක්‍රමණ කියන්නේ විවිධත්වයක් සහිත ජනසමාජයක් බිහිවීමේ ප්‍රධාන සාධකයක්. විජය කුමරු, මිහිදු හිමියන්, සංඝමිත්තා තෙරණිය, හේමමාලා කුමරිය වැන්නවුන්ගේ ආගමනයන් අපිව සංස්කෘතිකව හැඩගැස්වීමට මූලික වුනා.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විප්ලවවාදියෙක් වූ මහත්මා ගාන්ධි මැතිතුමා අවිහිංසාවාදය සහ සත්‍යග්‍රහ දර්ශනය තුලින් මුළු ඉන්දීය අධිරාජ්‍යයක් සලිත කරනු ලැබුවා. එතුමන්ගේ දර්ශනය ලාංකීය නිදහස් ව්‍යාපාරය සඳහා සවියක් වූ අතර, එතුමන්ගේ ලංකාගමනය එම බැදීම් තවදුරටත් ශක්තිමත් කලා.
ශ්‍රී ලාංකිකයන්ගේ සංස්කෘතික ජිවිත කෙරෙහි වඩාත්ම බලපෑම් සහගත විදේශිකයකු පිළිබඳව සිහිපත් කිරීමේදී මුලින්ම මතකයට එන්නන් අතර රවීන්ද්‍රනාත් තාගෝර්තුමන් ද සිටිනවා. අවස්ථා තුනකදී එතුමන් ලංකාවේ සංචාරය කර ඇති අතර, අවසන් වරට පැමිණි 1934දී හොරණ ශ්‍රීපාලි කලායතනයට මුල්ගල තැබීම සුවිශේෂී කරණක්. එය තාගෝර්තුමන්ගේ ශාන්ති නිකේතනයේ අභාෂයෙන් බිහිවූ අධ්‍යාපනික මධ්‍යස්ථානයක් වූ අතර, ඊට මුල් වූයේ විල්මට් ඒ. පෙරේරා මැතිඳුන්.
පෙරදිග භාෂා විශාරදයකු වූ ජර්මානු ජාතික මහාචාර්ය විල්හෙල්ම් ගයිගර් සිංහල, පාලි, සංස්කෘත සහ සිංහල සාහිත්‍යය හැදෑරූ සුවිශේෂී පඩිරුවනක්. එතුමන් පාලි මහා වංශය සහ චූල වංශය ජර්මානු බසට සහ ඉංග්‍රීසි බසට පරිවර්තනය කිරීම නිසා බුදු දහමේ කිර්තිය යුරෝපය පුරා පැතිරුනා. ගයිගර් මහතාගේ තෙවැනි ලංකා ගමන ඩී. බී. ජයතිලකයන්ගේ සංස්කාරකත්වයෙන් ආරම්භ වුණු සිංහල ශබ්දකෝෂයේ වැඩ කටයුතු වලට හවුල්වීම වෙනුවෙන් ලද ආරාධනයක් මත සිදු වූවක්.
ස්වාමි විවේකානන්දන් හින්දු අධ්‍යාත්මික නායකයෙක් සහ ප්‍රතිසංස්කරණවාදියෙක් වූ අතර, බටහිර සහ ඉන්දියාව අධ්‍යාත්මිකව බැදීමට මුල් වූ දාර්ශනිකයෙක්. එතුමන්ගේ ඉගැන්වීම් බොහොමයක් තරුණ ප්‍රජාවගේ ස්වයං අභිවෘද්ධිය සඳහා ඉලක්කවූ බැවින්, එතුමන්ගේ උපන්දිනය වන ජනවාරි මස 12 වන දින ඉන්දියාවේ ජාතික තරුණ දිනය ලෙස සමරනවා. 1897 ජනාවාරි හිදී දින 11ක සංචාරයක් සඳහා විවේකානන්ද ස්වාමිතුමා ලංකාවට පැමිණියා. එතුමන් රටේ විවිධ ස්ථානවල දේශනා පවත්වමින් මිනිසුන්ගේ ආධ්‍යාත්මික පැතිකඩ දියුණු කිරීමෙහිලා කටයුතු කලා. කොළඹ විවේකානන්ද විද්‍යාලය පිහිටුවනු ලබන්නේ එතුමන්ගේ ලංකා ගමන සිහිපත් කිරීම වෙනුවෙන්.
ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාවේ පියා ලෙසින් සැලකෙන වෛද්‍ය සැමුවෙල් ෆික්ස් ග්‍රීන්, දකුණු ආසියාවේ පිහිටුවන ලද දෙවැනි පැරණිතම ශික්ෂණ රෝහල බිහිකිරීමේ පුරෝගාමියායි. ලංකාවේ ප්‍රථම වරට වෛද්‍යකර්මය ඉගැන්වීම සඳහා පාසලක් පිහිටුවන ලද්දේ මෙතුමන් විසින්. වෛද්‍ය මිෂනාරිවරයකු ලෙස කටයුතු කිරීමට මෙරටට පැමිණි මෙතුමන්, තම සේවාව උතුරුකරයේ ජනතාව වෙත ලබාදුන්නා. ඔහු දෙමල බස හොඳින් හදාරා තිබීම හේතුවෙන් බටහිර පොත්පත් දමිළ බසට පරිර්ත්නය කර, දේශීය තරුණයන් සඳහා වෛද්‍ය විද්‍යාව ඉගෙන ගැනීමට මඟ පහසු කලා.
තෝමස් විලියම් රිස් ඩේවිස් මහතා සිවිල් සේවාවේ රාජකාරියක් සඳහා ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. මහේස්ත්‍රාත්වරයෙක් ලෙස කටයුතු කිරීමේදී නඩු කටයුත්තක් සඳහා ඉදිරිපත් වූ පාලි ලියවිල්ලක් නිසා එතුමන් පාලි භාෂාව හැදෑරීමට යොමුවුනා. පාලි භාෂාව නිර්මල බුදු දහමේ මුල් භාෂාව වන බැවින්, බුදු දහම නිවැරදිව අවබෝධ කර ගැනීම සඳහා පාලි භාෂා නිපුණත්වය අත්‍යවශ්‍ය වුනා. පරිපාලන සේවයෙන් ඉවත්වීමට සිදුවුනත් පාලි භාෂාව වෙනුවෙන් කැපවූ එතුමන්, 1881 ලන්ඩනයේදී "පාලි ග්‍රන්ථ සමාගම" පිහිටවූවා. එම සංගමයඅදටත් පාලි ත්‍රිපිටකය ඇතුළු බොදු පතපොත ප්‍රකාශයට පත්කරමින් සුවිශේෂී මෙහෙවරක යෙදී සිටිනවා.
පාලි භාෂාවේ සාහිත්‍ය උරුමය බටහිර ලෝකයට දයාද කලේ රිස් ඩේවිස් පඬිරුවනයි. ඔහු පසු කලෙක ලන්ඩන් විශ්ව විද්‍යාලයේ පාලි භාෂා මහාචාර්යවරයා බවට පත්වෙමින් ලන්ඩන් විශ්ව විද්‍යාලය තුල පාලි භාෂා අධ්‍යයනාංශයක් ආරම්භ කළා.
ශ්‍රී ලංකාවේ ප්‍රථම සාන්තුවරයානෝ ජුසේ වාස් මුනිඳුන් ය. උන් වහන්සේ ලංකාවේ උතුර-දකුණ යාකල මුනිවරයා ලෙසද හැඳින්වෙනවා. ඉන්දියාවේ ගෝවා හි ඉපිද ආසියාතිකයින්ට දේවධර්මය ඉගැන්වී ම පිළිබඳව පුහුණුවක් ලබා උන්වහන්සේ ලංකාවට පැමිණියේ එවකට ලන්දේසි පාලනය හමුවේ පීඩාවට පත් කතෝලිකයින්ට පිළිසරණක් වීමටයි. 1687 මන්නාරම් තොටින් ලංකාවට ගොඩබට උන්වහන්සේ රටපුරා ධර්ම ප්‍රචාරක කටයුතු වල නිරත වුනා. එතුමන්ගේ ධර්ම ප්‍රචාරණ සේවයේ එක් සංධිස්ථානයක් වූයේ මාතලේ වහකෝට්ටේ ප්‍රදේශයයි. ඔත්තුකරුවෙක්යැයි සැකකාර දෙවන විමලධර්මසූරිය රජු ජුසේ වාස් පියතුමන්ව සිරගත කරනු ලැබූ අතර, යාච්ඤාව සඳහා පමණක් ඔහුට අවසර හිමිවුණා. එවකට පැවති මහා දරුණු නියං තත්වය සමනය කිරීම සඳහා රජුගේ අවසරය මත මහා වැසි පෙළහරක් පෑමට උන්වහන්සේට හැකිවුනා. ඉන් සතුටට පත් රජු අත්අඩංගුවට ගෙන තිබු සියළුම පූජා භාණ්ඩ උන්වහන්සේ වෙත පිරිනමන ලද්දේ හේවිසි හොරනෑ මධ්‍යයේ යි. ඒ සම්ප්‍රදාය අදටත් පරිස්සම් කරමින්, පංච තූර්ය වාදනය සහිතව දෙවියන් පුදනා ලංකාවේ එකම පින්බිම මාතලේ වහකෝට්ටේ පල්ලියයි. ලක් පොලොවේ කිතු දහම රෝපණය කිරීමේ මෙහෙවරට කෘතවේදීව උන්වහසේව ශාන්තුවරයට ඔසවා තබන ලද අතර, පසුව නිල වශයෙන් භාග්‍යවරයට එසැවුනා.
නිරෝෂණ පීරිස්
'කියවන මුද්දර'
අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්
#නිරෝෂණපීරිස්
#කියවනමුද්ද
#SOCIALPHILATELY
Website: https://kiyawanamuddara.lk/
YouTube: කියවන මුද්දර READING STAMP
© kiyawanamuddara 2020 | Solution by 4meli.com