kiyawanamuddara.lk

Our Stories

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


13
September
2023

අපි කවුද Who We Are

මුද්දර විනෝදාංශය නැතිනම් සාමාන්‍ය ව්‍යවහාරයේ මුද්දර එකතුකිරීම සඳහා ෆිලටලි (philately) නම් පාරිභාෂිත වදන භාවිතා කරනවා. එයින් පොදුවේ තැපැල් මුද්දර සහ ඒ ආශ්‍රිත අයිතම එකතු කිරීමත්, තැපැල් ඉතිහාසය පිළිබඳ අධ්‍යයනයත් හැඳින්වෙනවා. වර්තමානයේදී මුද්දරය, එකතු කිරීමෙන් ඔබ්බට ඉතිහාසය හැදෑරීමේ පර්යේෂණ මූලයක් සහ පොත් නොවන කියවීමේ උපකරණයක් ලෙසින්ද භාවිතා වෙනවා.

සමාජ මුද්දර විනෝදය (Social Philately) යනු තෝරාගත් විෂයයේ හෝ මාතෘකාවේ සමාජ, ආර්ථික ඉතිහාසය සමඟ මුද්දර සහ මුද්දර නොවන නමුත් අදාළ ද්‍රව්‍ය පෙළගැස්විමයි.

වර්තමාන සමාජය අතිශය සංකීර්ණ වූවක්. මේ සඳහා සමාජ, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික ආදී සාධක මෙන්ම භූගෝලීය පිහිටීම, සංක්‍රමණ, ආක්‍රමණ සහ වාණිජ කටයුතුද බලපානවා. කිසියම් රටක් අනේකවිධ ජනවර්ග, භාෂා, ආගම්, ඇදහිලි, විශ්වාස, සිරිත් විරිත් වලින් සමන්විත වන්නේද, එය බහු සංස්කෘතික රටක්, බහු සංස්කෘතික සමාජයක් ලෙස හැඳින්වෙනවා .

ජාතික සමගිය, සහෝදරත්වය සහ එකමුතුව ගැන කතා කරනා සෑම මොහොතකම සිංහල, දෙමල, මුස්ලිම් හෝ බර්ගර් ආදී ආගම් හෝ ඒවා නියෝජනය කරනා දරුවන්ගේ හෝ වැඩිහිටියන්ගේ දෘශ්‍ය නිරූපන අපි දකිනවා. සැබවින්ම එය විවිධත්වයේ මතුපිට හඳුනා ගැනීමයි. සමාජයක හෝ රටක සංස්කෘතික අනන්‍යතාවය ගැන ආඩම්බර වන ආකාරයෙන් දෘශ්‍ය අර්ථයක් සහ හැගීම් සහිත නිර්මාණ ගොනුවක් අපි සොයා ගන්නේ කෙසේද? හුදු එකතුවක් පමණක් ලෙස බොහෝ දෙනෙකු සතුව පවතින මුද්දර එකතුව මීට කදිම පිළිතුරක්. එකතුවක් ලෙස පමණක් මුද්දර සුරැකුම් පොත්වල බොහෝ පරිස්සමට තැන්පත් කර ඇති සමරු මුද්දර යනු සැබවින්ම විවිධත්වය එක්තැන් වූ විචිත්‍රවත් සැමරුමක්. මුද්දර යනු ජාතියක සැබෑ ස්වරූපයේ දෘශ්‍ය නිරූපනයක් කියන්නේ ඒ නිසයි.

බහු සංස්කෘතික සමාජය හඳුනා ගැනීමට ප්‍රතිචාර වශයෙන් මුද්දර එකතුවක දෘශ්‍ය අර්ථ සහ හැඟීම් නිර්මාණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමට අනිවාර්යයෙන්ම මුද්දර කියවීම ප්‍රගුණ කල යුතුයි. මුද්දරයේ සැබෑ සංස්කෘතික භූමිකාව හඳුනා ගත හැකි වන්නේ එවිටයි.

අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ විවිධ සංස්කෘතීන්ට අයත් ජන කොටස් වාසය කළා. එයින් ජනවාර්ගිකත්වය අනුව ප්‍රධාන ජන කණ්ඩායම වන්නේ සිංහල ප්‍රජාව යි. මීට අමතරව දෙමළ, මුස්ලිම්, බරග්ර්, මැලේ හා චෙට්ටි යනාදී ලෙසින් ජනවර්ග රැසක් අප රටේ වාසය කරන අතර, ඔවුන් හැඳින්වෙන්නේ සුළු ජනවාර්ගිකයන් ලෙසින්.

බර්ගර්වරු ලංකා ඉතිහාසයේ විශේෂිත ජන වර්ගයක්.  ඉතිහාසය තුල ඔවුන්ගේ ඉතා ඉහල දායකත්වය ජාතියේ අභිමානයට හේතු වී තිබෙනවා. වෛද්‍ය ඇන්ඩ්‍රියාස් නෙල්, ආචාර්ය ආර්. එල්. බ්‍රෝහියර්, වෛද්‍ය රිචඩ් ලයනල් ස්පිටෙල්, සී. ඒ. ලෝරන්ස්, ජෝර්ජ් කීට්, ඩන්කන් වයිට්, ලන්දේසි බර්ගර් සංගමය, ලංකාවේ ඕලන්ද රෙපරමාදු සභාව යනාදී ලෙසින් ලාංකීය ලන්දේසි සම්භවය සිහි ගන්වන මුද්දර ඒ අතර වෙනවා.

ලාංකීය දෙමල ප්‍රජාව ජන වර්ගය අනුව දෙවන විශාලම කොට්ඨාශයයි. ලංකා සම්භවය සහිත සහ ඉන්දියානු සම්භවය සහිත ලෙසින් ඔවුන් කොටස් දෙකකින් හඳුනාගත හැකියි. ආරුමුග නාවලර්, පොන්නම්බලම් රාමනාදන්, පොන්නම්බලම් අරුනාචලම්, ලක්ෂ්මන් කදිරගාමර්, කුමාර් ආනන්දන්, සවුම්යමුර්ති තොණ්ඩමන් හා මුත්තයියා මුරලිදරන්ගේ මුද්දර මෙම කොට්ඨාශය නියෝජනය කරනවා. මුත්තයියා මුරලිදරන් ලෝකයට සහ ලංකාවට විශේෂවන්නා සේම, ඔහුට උපහාර පිණිස නිකුත් කල සමරු මුද්දරයද ඉතා සුවිශේෂී වන්නේ එය ලංකා ඉතිහාසයේ ප්‍රථම වෘත්තාකාර මුද්දරය නිසයි.

මෙරට මුස්ලිම් ඉතිහාසය ගැන සලකා බැලීමේදී සමරු මුද්දර රැසක් හඳුනා ගත හැකියි. බේරුවල මස්ජිදුල් අබ්රුල් පල්ලිය සහ ලංකාවේ ප්‍රථම මුස්ලිම් ජනාවාස, සිද්ධි ලෙබ්බේ, ඔරාබි පාෂා, වප්චේ මරික්කාර්, ශ්‍රීමත් රසික් ෆරීඩ්, එම්. ජේ. එම් ලෆීර්, ආචාර්ය ටී. බී. ජයා, ආචාර්ය බදියුර්දින් සහ ශ්‍රී ලංකාවේ චෙට්ටි ප්‍රජාව නියෝජනය කරනා සයිමන් කසිචෙට්ටිගේ සමරු මුද්දර බහු ආගමික ප්‍රජාවක් සහ සංස්කෘතික විවිධත්වයක් විදහා දක්වනවා.

ලංකාවේ බහුතර ප්‍රජාව සිංහල වන අතර, මුද්දර ඉතිහාසයේ ඔවුන්ගේ නියෝජනයද සාපේක්ෂව ඉහල යි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලනය යටතේ ලංකාව පුර්ණ යටත්විජිතයක් වීමේ සිට බොදු පුනරුදය දක්වා ඉතිහාසය සමරු මුද්දර මත ඉතා අපූරුවට චිත්‍රනය කර තිබෙනවා.
බොදු පුනරුදයේ සමාරම්භය ලෙස සැලකෙන පානදුරාවාදය සහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, හෙන්රි ස්ටිල් ඕල්කට්, අනගාරික ධර්මපාල, වලිසිංහ හරිස්චන්ද්‍ර, ලංකාවේ ප්‍රථම වරට බොදු ධජය ලෙළදුන් කොටහේනේ දීපදුත්තාරාමය නිරූපිත සමරු මුද්දර ආදිය ඉතිහාසය ප්‍රත්‍යවලෝකනය සඳහා කදිම මූලාශ්‍ර වෙනවා.

ජාතියක අනන්‍යතාව නිර්මාණය වන්නේ "අප" සහ "ඔවුන්" අතර වෙනස තුලින්. ඒ වෙනස නිර්මාණාත්මකව සහ සෞන්දර්යාත්මකව හඳුනාගැනීම සඳහා තැපැල් මුද්දරය කලා ප්‍රකාශනයක් ලෙස භාවිතා කරන්නට පුළුවන්. මෙම කලා කෘතීන් අපගේ ඓතිහාසික උරුමයේ කොටසක් වෙන අතර, පොදු අවකාශය පොහොසත් කරමින් ලංකා ඉතිහාසය පිළිබදව අපට නිර්මාණාත්මක ඇසකින් කියා දෙනවා.

එක් වර්ග අඟලක් තුල සමස්ත ජාතියක් සහ සමාජ, දේශපාලන, සංස්කෘතික විවිධත්වය වෙනුවෙන් පෙනී සිටීමේ අපුර්ව හැකියාව පවතින්නේ තැපැල් මුද්දරයට පමණක් බව වටහාගෙන කටයුතු කිරීම සැබෑ නුවණක්කාරකමක්.

Video




© kiyawanamuddara 2020 | Solution by 4meli.com