02
July
2023
දෙවන ලෝක යුධ සමයේ ජර්මානු බෝම්බ ප්‍රහාරය අතරතුර ලන්ඩනයේ සාප්පු හිමියන් ඒවා අත්හැර නොගොස්, අපි දැන් වෙනදාට වඩා විවෘත බව (More Open Than Usual) සදහන් පුවරු ප්‍රදර්ශනය කරමින් සිය අධිෂ්ඨානශීලීත්වය පෙන්නුම් කළේය. “සාමාන්‍යයට වඩා විවෘත” (More Open Than Usual) යන උද්ධෘතය පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ආවේණික සහ පුළුල් කියවීමක් සහිත පාඨයක් ලෙස විද්වතුන් මෙන්ම ආදි ශිෂ්‍යයන් විසින් ද පිළිගනු ලැබේ. සෙනෙට් ගොඩනැගිල්ලේ දොරටුවේද සවිකර ඇති ඵලකයේ සදහන් මෙම සටහන එඩින්බරෝ ආදිපාදවරයා (පිලිප් කුමරු) විසින් 1954 අප්‍රේල් 20 වැනි දින පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලය විවෘත කිරීමේ උත්සවයේ දී සිය දේශනයේදී ප්‍රකාශ කළ බව සඳහන්ය.
ඊට හේතු වනුයේ ලංකා විශ්ව විද්‍යාලය එහි පළමු වසර 13 පුරාවට විවෘත කිරීම සහ මුල්ගල් තැබීම රැසක් වාර්තා වන හෙයිනි. පළමුව, එය 1942 ජූලි 1 වැනි දින ශ්‍රීමත් අයිවර් ජෙනින්ග්ස් විසින් ලංකා විශ්ව විද්‍යාලය කොළඹ දී පිහිටුවන ලදී. දෙවනුව, 1946 අගෝස්තු 31 වැනි දින ශ්‍රීමත් ජෝන් කොතලාවල විසින් පේරාදෙණියේ මුල්ගල් තැබීම සිදු කළේය. තෙවනුව, 1948 පෙබරවාරි 12 වන දින ග්ලොස්ටශ්යර් හි ආදිපාදවරයා විසින් උපාධි ප්‍රදානෝත්සවය පවත්වන සම්මන්ත්‍රණ ශාලාවට මුල්ගල තැබීම සිදු කෙරිණි. සිව් වෙනුව 1952 ඔක්තෝම්බර් 6 වැනි දින ශ්‍රීමත් අයිවර් ජෙනිංස් විසින් විශ්ව විද්‍යාලය නිල වශයෙන් පිහිටුවන ලදී. එමෙන්ම අවසාන වශයෙන් 1954 අප්‍රේල් 20 වන දින දෙවන එලිසබෙත් රැජින ඉදිරියේ එඩින්බරෝ ආදිපාදවරයා විසින් මහා විවෘත කිරීමත් සිදු කෙරිණි. ලංකා විශ්වවිද්‍යාලය ඉන් වසර 12කට පෙර කොළඹදීත් මීට වසර 2කට පෙර පේරාදෙණියේදීත් ‘විවෘත’ කර තිබූ තත්වයක් තුළ, වරක් පිහිටුවා ක්‍රියාත්මක වන ආයතනයක් විවෘත කිරීමේදී ඇතිවිය හැකි බුද්ධිමය නොසන්සුන්කම හදුනාගත් එඩින්බරෝ ආදිපාදවරයා විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කළ පසු එය සැමවිටම විවෘත බැවින් එය නැවතත් විවෘත කිරීම පහසු කරුණක් නොවන බව අවධාරණය කරනු පිණිස මෙම "More Open Than Usual" උදෘතය සිය දේශනය සදහා යොදා ගත්තේය.
වසර 80 ක් සැපිරීම හේතු කොට ගෙන එම ඉතිහාසය තුල ප්‍රථම වතාවට සාමාන්‍ය ජනතාවට පේරාදෙණිය විශ්ව විද්‍යාලය 2023 ජුලි 01 දින විවෘත වූ අතර, අපද මෙම අගනා සහ දුර්ලභ අවස්ථාව අත් නොහලෙමු. එය පේරාදෙණිය විශ්ව විද්‍යාලය ගැන පමණක් නොව ලාංකීය උසස් අධ්‍යාපන ඉතිහාසය කියවා ගැනීමට ලැබෙන සුවිශේෂී වරමක්ම වූ හෙයිනි.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com