16
June
2022
ලංකා තැපැල් ඉතිහාසය සහ ගාලු නගරය අතර ඇත්තේ ඉතා සමීප සම්බන්ධතාවයකි. ගාලු වරය එවකට රටේ කාර්යක්ෂම වෙළද වරය ලෙස ක්‍රියාත්මකවීම ඊට මූලික සාධකය වූ බව නොරහසකි. අප්‍රිකා මහද්වීපයේ සුභ පැතීමේ තුඩුව හරහා, ඕලන්දය හා ජාවා දූපත් අතර නැව් මගින් පවත්වාගෙන ගිය මුහුදු තැපැල් සේවයකට ලන්දේසි යටත්විජිත යුගයේදී ගාලු වරාය සම්බන්ධ කිරීම ශ්‍රී ලංකාවේ නූතන තැපැල් සේවයේ ආරම්භය ලෙස සැලකේ. මුහුදු තැපැල් සේවය මගින් ලංකාවේ සිට විදේශයකට යැවූ පළමු ලිපිය ඉන්දුනීසියාවේ බතාවියට යවන ලද අතර, ඒ අනුව ජාත්‍යන්තර තැපෑල හා සම්බන්ධ වූ ලංකාවේ පළමු නගරය වන්නේද ගාල්ලයි.
බ්‍රිතාන්‍ය යටත්විජිත යුගයේදී මෙරට තුළ පිහිටුවන ලද තැපැල් කාර්යාල අතරට ගාලු තැපැල් කාර්යාලයද අයත් විය. කලම්බු ඔබ්සර්වර් (Colombo Observer) පුවත්පතේ පළ කිරීම පිණිස යුරෝපයේ සිට එන ලද පුවත් හසුන්, ගාලු වාරයේ සිට පරෙවි පණිවුඩ සේවය මඟින් කොළඹ කොටුවේ පුවත් කාර්යාලයට ලැබුණු බව ඉතිහාසයේ සඳහන්ය.
එවන් අසිරිමත් තැපැල් මතකයන් සහිත ගාලු නගරයට "මුද්දර තොරතුරු ඒකකයක් " පිහිටුවීමට අපට හැකිවිය.
ගාලු දිස්ත්‍රිකයේ ප්‍රමුඛ පුස්තකාලය වන ආචාර්ය රිචඩ් පතිරණ මහජන පුස්තකාලයේදී මෙම කටයුත්ත 2022 ජුනි 16 දින සිදුකරන ලදී. ඊට සමගාමීව, රටේ පවතින වත්මන් වාතාවරනය යටතේ, පුස්තකාල කාර්ය මණ්ඩලයේ පුහුණුකරුවන් පුහුණුකිරීමේ වැඩසටහනක්ද පැවැත්විණ.
මෙම කටයුතු අතිශය සාර්ථක කර ගැනීම සඳහා ගාලු මහා නගර සභාවේ නගරාධිපතිතුමන් ප්‍රමුඛව සහයෝගය ලබා දුන් සැමට ස්තුතියි. පුස්තකාලාධිපතිනිය එච්. කේ. පද්මා මහත්මිය, නාගරික මන්ත්‍රී සහ පුස්තකාල කමිටු සාමාජික පරාක්‍රම දහනායක මහතා, ප්‍රජා සංවර්ධන නිලධාරි ස්වුමර් මහතා සහ ශිරෝෂි නානායක්කාර මහත්මිය ඇතුළු පුස්තකාල කාර්ය මණ්ඩලය ලබා දුන් අගනා සහය අගය කල යුතුමය.
ගාලු දිස්ත්‍රිකයේ පිහිටුවන ලද මෙම ප්‍රථම මුද්දර තොරතුරු ඒකකය, ප්‍රදේශයේ පාඨක ප්‍රජාව වෙත නැවුම් කියවීම් ප්‍රවේශයක් සහිතව මුද්දර එකතු කිරීමේ විනෝදාංශය "කියවීමක්" දක්වා රැගෙන යාම සඳහා කැපවෙනු ඇත. මුද්දර එකතු කිරීමේ විනෝදාංශයේ ප්‍රවීණයින් සහ පාසල් මුද්දර සමාජ රැසක් සහිත සුවිශේෂී ප්‍රජාවක් සහිත ගාලු දිස්ත්‍රික්කයේ, ඔවුන්ගේ විෂය ප්‍රවීණත්වය සඳහා මෙම මුද්දර තොරතුරු ඒකකය මහෝපකාරී වනු නොඅනුමානය.
ඔබත්, ආචාර්ය රිචඩ් පතිරණ මහජන පුස්තකාලයේ මුද්දර තොරතුරු ඒකකය වෙත යන්න.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com