04
February
2022
2022 පෙබරවාරි 04 වැනිදාට යෙදෙන 74 නිදහස සමරන ශ්‍රී ලාංකීය අපහට ලබාගත් නිදහසේ අතීතාවර්ජනය අමතක කල නොහැකි කතන්දරයකි. අසීමිත කැපකිරීම් සහ ජීවිත පූජාවන්ගේ ප්‍රතිඵලයක් ලෙසින් නිදහස්, නිවහල් ජාතියක් සේ නැඟී සිටිමට අපට හැකිවිය. දුෂ්කර වූ එකී ගමන් මඟ විසිතුරු, අලුත් ප්‍රවේශයකින් හැදෑරීම සඳහා තැපැල් මුද්දර දෘශ්‍ය මූලාශ්‍ර මෙසේ කියවමු.
බ්‍රිතන්‍ය පාර්ලිමේන්තුව විසින් "ලංකා ස්වාධීන පනත" සම්මත කර එම පනත ක්‍රියාත්මක කිරීමට අදාල විධිවිදාන ඇතුලත් රාජආඥාව 1947 දෙසැම්බර් 19 වැනිදා නිකුත් කරන ලදී. එකී විධි විධාන 1948 පෙබරවාරි 04 වැනිදා සිට ක්‍රියාත්මකවීමත් සමග අධිරාජ්‍යවාදී බැම්මෙන් අපි නිදහස් වුනෙමු. 1815 මාර්තු 02 වැනිදා මහනුවර මඟුල් මඩුවේදී අත්සන් තැබුණු උඩරට ගිවිසුමේ ප්‍රකාරව මුළු දිවයිනේම බලය ඉංග්‍රිසි පාලනයට නතු වූ අතර, ගිවිසුම අත්සන් කිරීමට පෙර බිම හෙලූ සිංහ ධජය නැවතත් අහසේ ලෙළ දුන්නේ වාරියපොල ශ්‍රී සුමංගල හිමියන්ගේ නිර්භය ඉදිරිපත්වීමෙනි. ඉංග්‍රිසීන්ගේ අත්අඩංගුවට පත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉන්දියාවට පිටුවහල් කරන ලද අතර, ඔවුහු රාජ්‍යත්වයේ සංකේතය වූ ඔටුන්න සහ සිංහාසනය බ්‍රිතාන්‍යයට රැගෙන ගියෝය.
1818 ඌව වෙල්ලස්ස කැරැල්ල හා 1848 මාතලේ කැරැල්ල අධිරාජ්‍යවාදයට එරෙහිව පැන නැඟුනු ජාතික නිදහස් සටන්ය. කැප්පෙටිපොළ මහ නිළමේ, වීර පුරන් අප්පු හා ගොංගාලේගොඩ බණ්ඩා ආදීන් මේ සටන් සඳහා පෙරමුණ ගත්තෝය. අසාර්ථක වූ එම ප්‍රයත්නයන් බ්‍රිතාන්‍ය පාලනය තවදුරටත් ක්‍රමෝපායිකව ස්ථාපනය කිරීමට හේතු සාධක විය. ඉංග්‍රිසි අධ්‍යාපනය, කතෝලික දහම ප්‍රචලිත කිරීම, වැවිලි කර්මාන්තය, රට පුරා විසිරුනු මහාමාර්ග වැනි උපායමාර්ගික සැලසුම් මේ සඳහා භාවිතා කරන ලදී. මේ මගින් අධිරාජ්‍යවාදී පාලනයට හිතකර පරිසරයක් සහ පරම්පරාවක් බිහිකර ගැනීමට ඔවුනට හැකිවිය.
අවියෙන් ඉංග්‍රීසීන් හා සටහන් අසාර්ථක වූ තැන, ධර්මයෙන් හා ශාස්ත්‍රයෙන් නව අධිරාජ්‍යවාදී අරගලයක් අළුත් වටයකින් පැන නැඟුනි. හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක හිමියන්ගේ මඟ පෙන්වීමන්, වාදිභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ ක්‍රියාකාරී දායකත්වයෙන්, පානදුරාවාදය ක්‍රියාත්මක විය. එහි කීර්තිය ලොව පුරා පැතිරුණි. හෙන්රි ස්ටීල් ඕල්කට්තුමන්ගේ ආගමනයට මූලික හේතුව වූයේ එයයි. මාලිගාකන්දේ විද්‍යෝදය හා කැලණිය විද්‍යාලංකාර පිරිවෙන ආදී අධ්‍යාපනස්ථාන ධර්ම ශාස්ත්‍ර ඉගැන්වීම් අතින් මහත් කීර්තියක් උසුලන ලදී. එම ශාස්ත්‍රීය ප්‍රබෝදය නව ජවයකින් නිදහස පිළිබඳව සිතන්නට ජාති හිතෛයිශීන්ව පොළඹවන ලද්දේය.
ලංකා නිදහස් සටනේ තවත් එක් අදියරක් දේශපාලන ප්‍රතිසංස්කරණ ලෙසින් ක්‍රියාත්මක විය. 1919 පිහිටවූ "ලංකා ජාතික සංගමය" එහි මුල් පියවරයි. ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් එහි ප්‍රථම සභාපතිවරයාය. ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන්, එෆ්. ආර්. සේනානායක, ඊ. ඩබ්ලිව්. පෙරේරා, ඒ. ඊ. ගුණසිංහ, ශ්‍රිමත් ඩී. බී. ජයතිලක, ඩී. එස් . සේනානායක, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරණායක, ජේ. ආර්. ජයවර්ධන වැනි ජාතික නායකයෝ ලංකා ජාතික සංගමය වටා රොක් වූහ.
1931 ඩොනමොර් කොමිෂන් සභාවේ නිර්දේශ මත වයස අවුරුදු 21ට වැඩි සියළු ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම සර්වජන ඡන්ද හිමිකම ලැබුණි. ඒ වෙනුවෙන් අභීතව හඩ නැගුවේ කම්කරු නායක ඒ. ඊ. ගුණසිංහයන්ය.
1934 දී බ්‍රිතාන්‍යයන් විසින් රැගෙන ගිය ලංකාවේ රාජකීය උරුමය නැවතත් අප වෙත බාරදෙන ලදී. එම ඔටුන්න හා සිංහාසනය වර්තමානයේදී කොළඹ ජාතික කෞතුකාගාරයේ සුරක්ෂිතව පවතී. වේල්ස්හි හමුදා රෝහලක සුරක්ෂිතව තිබූ රාජකීය සිංහ ධජය නැවතත් අප මව් රටට රැගෙන ඒමට මූලික වූයේ ඊ. ඩබ්ලිව්. පෙරේරා සහ ඩී. ආර්. විජේවර්ධනයන්ය.
1935දී ලංකාවේ ප්‍රථම දේශපාලන පක්ෂය බිහිවිය. එය "ලංකා සම සමාජ පක්ෂය"යි. නිදහස පිළිබඳ උද්ඝෝෂන නව මංපෙතකට යොමුකලේ සමසමාජ පක්ෂයයි. දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ, ආචාර්ය එන්. ඇම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා , පිලිප් ගුණවර්ධන වැනි වාමාංශික නායකයින් මෙහි ක්‍රියාකාරීන් වූහ. අධිරාජ්‍යවාදීන්ගේ පොපි මල් ව්‍යාපාරයට එරෙහිව "සූරිය මල් ව්‍යාපාරය" සම සමාජයේ මතය රටතුල ප්‍රචලිත කිරීමට මූලික විය.
1945 සෝල්බරි කොමිෂන් සභාවේ වාර්තාවට අනුව මෙරටට පාර්ලිමේන්තු ක්‍රමයක් යෝජනා වී තිබුනි. 1947 අගෝස්තු මාසයේ පැවති ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගනිමින් ජයග්‍රහණය කරන ලදී. ඔවුන් විසින් ස්වාධීන අපේක්ෂකයන්ගේ සහාය ලබාගෙන නව රජයක් පිහිටුවීමට කටයුතු කළහ. එම වසරේම නොවැම්බර් 25 වන දින නව ව්‍යවස්ථාවක් හඳුන්වාදුන් අතර, එමඟින් ලංකාව බ්‍රිතාන්‍ය පොදුරාජ්‍යය මණ්ඩලය තුල ඩොමීනියන් තත්වයේ රාජ්‍යයක් බවට පත්විය. මෙම නව ව්‍යවස්ථාව සම්පාදනය කරන ලද්දේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයකු වන ශ්‍රීමත් අයිවෝ ජෙනිංග්ස් මහාතාය.
1948 පෙබරවාරි 04 වැනිදා සිට ලංකාවට නැවතත් නිදහස උරුම විය. ඒ සම්බන්ධයෙන් නිල උත්සවයක් නොපැවැත්වූ අතර සිදුවූ එකම නිල කාර්යය ආණ්ඩුකාරවර සර් හෙන්රි මන්ක් මේසන් මුවර් මහතාගේ දිවුරුම්දීමයි. එය රැජින මන්දිරයේදී (වර්තමාන ජනාධිපති මන්දිරය) සිදුවිය. අභිනව නිදහසේ නිල උත්සව පැවැත්වුයේ පෙබරවාරි 10 වන දිනයි. ඒ සඳහා බ්‍රිතාන්‍ය රජුගේ නියෝජිතයා ලෙසින් රජුගේ සහෝදරයා වූ ග්ලොස්ටර් ආදිපාදවරයා සහ එම මැතිනිය ලංකාවට සැපත් විය. ග්ලොස්ටර් ආදිපාදවරයා විසින් ඩොමිනියන් පාර්ලිමේන්තුව විවෘත කිරීම සිදුකල අතර, අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මහතා විසින් සිංහ කොඩිය ඔසවන ලදී.
මේ උත්සවය සඳහා භාවිතයට ගත්තේ ටොරින්ටන් චතුරශ්‍රයේ ඉඳි කරන ලද තාවකාලික ගොඩනැගිල්ලකි. ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවෙකු වූ හපුගොඩ රන්කොත්ගේ ප්‍රේමරත්න මහතා එම කටයුත්තේ මුලිකයා විය. විශිෂ්ඨ චිත්‍ර ශිල්පියෙකු වූ එච්. ආර්. ප්‍රේමරත්න මහතා විසින් අඳින ලද මෙම උත්සවයේ සිතුවම ජනාධිපති මන්දිරයේ චිත්‍ර එකතුවේ ප්‍රදර්ශනය කෙරේ. මෙම අවස්ථාවෙන් පසුව මේ භුමිය "නිදහස් චතුරශ්‍රය" ලෙසින් නම් කෙරුණි.
ඔබ සිංහළ විය හැකිය. එසේත් නැත්නම් දමිළ හෝ මුස්ලිම් විය හැකිය. එනමුත් අද දින අප එකම එක් ජාතියක් වෙමු. එම ශ්‍රී ලංකා ජාතියට අපගේ ආචාරය පුදමු
© kiyawanamuddara 2020 | Solution by 4meli.com