kiyawanamuddara.lk

Our Stories

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


19
January
2022

කොළඹ ජාතික කෞතුකාගාරයේ දී මුද්දරයෙන් ඉතිහාසය කියවීමේ නැවුම් ප්‍රවේශය

කොළඹ ජාතික කෞතුකාගාරය මඟින් පවත්වනු ලබන දේශන මාලාවේ 2022 වසරේ සමාරම්භය සඳහා ඉතිහාසය කියවීමේ නව ප්‍රවේශය ලෙසින් "දෘශ්‍ය ඓතිහාසික මූලාශ්‍ර ලෙස තැපැල් මුද්දර" ඉදිරිපත් කිරීමට පසුගිය ජනවාරි 19 දින අපට අවස්ථාව හිමි විය.

කෞතුකාගාරයක් යනු ඉතිහාසය හා සංස්කෘතියේ ස්මාරක ගබඩා කර ඇති ආයතනයයි. තැපැල් මුද්දරය යනු ඉතිහාසය දෘශ්‍ය මූලාශ්‍ර ලෙස සටහන් වී ඇති රජයේ නිල ප්‍රකාශනයයි. එබැවින්, කෞතුකාගාරය සහ මුද්දරය අතර ඇත්තේ අනෝන්‍ය බැඳීමකි. මුද්දර තොරතුරු රැස් කිරීම සඳහා කැපවී ඇති කෞතුකාගාර රැසක් ලෝකයේ පවතින අතර, එම කෞතුකාගාරවල මුද්දර ප්‍රදර්ශනය කරනවාට අමතරව ඉතිහාසය පුරා මුද්දර පිළිබඳ කතාව පැවසෙන සවිස්තරාත්මක තොරතුරු ද ප්‍රදර්ශනය කෙරේ.

කොළඹ ජාතික කෞතුකාගාරයේදී 1982 දෙසැම්බර් හිදී ලංකාවේ දෙවන ජාතික මුද්දර ප්‍රදර්ශනය පැවැත්වූ අතර, ඉන් වසර 40 කට පසු මුද්දරයේ ඓතිහාසික වටිනාකම ගැන දේශනයක් පැවැත්වීමට අවස්ථාව හිමිවීම පිළිබඳව අපට ඇත්තේ නිහතමානී සතුටකි.

කොළඹ ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂ ජනරාල් සනූජා කස්තුරිආරච්චි මහත්මිය ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයෙන් සහ සංජීවනී විද්‍යාරත්න මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලයෙන් මේ කර්තව්‍යයන් වෙනුවෙන් ලද ඉතා අගනා සහාය ස්තුති පූර්වකව සිහිපත් කරමු.

මුද්දරය පොහොසත් සංස්කෘතියකින් සහ විචිත්‍රවත් ඉතිහාසයකින් පරිපූර්ණය. ජාතික කෞතුකාගාරයේ මුද්දර කියවීමේ ප්‍රවේශය අනාගතයේ මුද්දර තොරතුරු සංරක්ෂණයේ අළුත් පරිජේදයක සමාරම්භය සටහන් කරනු ඇත.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com