kiyawanamuddara.lk

Our Stories

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


26
January
2022

සිරි ලියනගේ අනුස්මරණ මහජන පුස්තකාල මුද්දර තොරතුරු ඒකකය ඇරඹි වගයි

හෝමාගම ප්‍රාදේශීය සභාවේ වෑතර උප කාර්යාලය කේන්ද්‍රකොට ගත් සිරි ලියනගේ අනුස්මරණ මහජන පුස්තකාලයේ ස්ථාපනය කරන ලද මුද්දර තොරතුරු ඒකකය 2022 ජනවාරි 26 වන දින මහජනතාව සඳහා විවෘත කෙරිණි.

සිරි ලියනගේ අනුස්මරණ මහජන පුස්තකාලය සමඟින් නිරතුරුව එක්ව කටයුතු කරන වෑතර මහා විද්‍යාලය, සියඹලාගොඩ ධර්මපාල කනිෂ්ඨ විද්‍යාලය සහ පාලාගම සිරි පැරකුම් විද්‍යාල නියෝජනය කරමින් සිසු සිසුවියන් හා ගුරු භවතුන් ඇතුළු පාඨක සමාජයේ සීමිත පිරිසක් සමඟින් මෙම විවෘත කිරීමේ උත්සවය චාම් එහෙත් අනර්ඝ අයුරින් සිදු කෙරිණි.

හෝමාගම ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන්ගේ මැදිහත්වීමෙන්, ගරු ලේකම්තුමියගේ මඟ පෙන්වීම යටතේ සිදුකරන ලද මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා විනෝදාංශයක් ලෙස මුද්දර එකතු කිරීම සිදු කල සිරි ලියනගේ අනුස්මරණ මහජන පුස්තකාලයේ පුස්තකාලාධිපතිනිය වන උපේක්‍ෂා අමරකෝන් මහත්මිය සහ එහි කාර්ය මණ්ඩලය ඉතා ඉහල සහයෝගයක් ලබා දුන්හ. ඔවුනගේ කැපවීම හේතුවෙන් මෙම මුද්දර තොරතුරු ඒකකය පිහිටුවීමේ කටයුත්ත ඉතා සැලසුම් සහගතව සිදු කරගැනීමට හැකි විය. ඉතාමත් විධිමත්ව පවත්වාගෙන යනු ලබන පුස්තකාලයේ තොරතුරු මූලාශ්‍ර හමුවේ, "මුද්දරය"; අපූර්ව කියවීමේ මෙවලමක් බවට පත් කිරීමට ඔවුනට හැකි වනු ඇත.

මුද්දර තොරතුරු ඒකකය තුලින් ප්‍රදේශයේ පාසල් දරුවන්, ගුරු භවතුන්, පාඨක සමාජය සහ ප්‍රාදේශීය සභාවේ සෙසු පුස්තකාල වල කාර්ය මණ්ඩල සඳහා "මුද්දර කියවීම" පිළිබඳ විධිමත් පුහුණුවක් ඉදිරි කාලයේදී ලබා දීමට අප බලාපොරොත්තු වන්නෙමු.

පුස්තකාලය යනු නිහඩව කියවන තැනක් පමණක් නොව ක්‍රියාකාරකම් රැසක් සහිත ඉගෙනුම් මධ්‍යස්ථානයක් බව වටහාදීමට, සිරි ලියනගේ අනුස්මරණ මහජන පුස්තකාලය ගත් මේ නැවුම් පියවර සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ... "කියවන මුද්දර" අපගේ පැතුමයි.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com