kiyawanamuddara.lk

Our Stories

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


08
November
2020

හෙවත් වැසිකිලි කඩදාසි මුද්දරයෙන් (Toilet Paper Stamp) අපට කියාදෙන පාඩම

දුරස්ථව සිටින අතරතුර තවත් සමීපවීම (We have to keep our distance and still be close)
හෙවත්
වැසිකිලි කඩදාසි මුද්දරයෙන් (Toilet Paper Stamp) අපට කියාදෙන පාඩම

කොරෝනා වසංගතය අපගේ ජීවිත වෙනස් කර ඇති ආකාරය සිතා ගැනීමටවත් නොහැකිය. ලොව පුරා මිනිසුන් රැසකට ජීවිත අහිමි විය. දෙමාපියන්, වැඩිහිටියන්, නෑදෑයන්, භාරකරුවන්, මිතුරන් අහිමිවූ ලෝ වැසියන්ට තවමත් බලාපොරොත්තුවේ පෙරනිමිති පහල වී නැත. රැකිරක්ෂා හා ව්‍යාපාර අහිමිවී විශාල ආර්ථික අර්බුදයක් ලොවම වෙලා ගනිමින් සිටී. සමාජ දුරස්ථභාවය සුරැකීම සඳහා සංචරණ සීමාකිරීම් සහ සම්පුර්ණයෙන්ම අගුලුලෑම් අපට නිරතුරුවම වාර්තාවේ. ජාතික මට්ටමින්, ජාත්‍යන්තර මට්ටමින්, ප්‍රාදේශීය මට්ටමින් පුද්ගලයින් සහ සමාජය හුදෙකලා කරමින් පවතී.

රටවල් වසා දමා සංචරණය සීමා කොට කිසියම් පාලිත තත්වයකට අදාල සමාජ පවත්වා ගැනීමට යාමේදී, අතවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සඳහා විශාල ඉල්ලුමක් සහ තරඟකාරීත්‍වයක් ඇතිවේ. ලංකාව වැනි පෙරදිග රටවල පාරිභෝගිකයින් වෙළදසැල් අසල දිගු පෝලිම් වල රැදී සිටිමින් හාල්, පොල්, සීනි හා පරිප්පු වැනි අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදීගැනීම සඳහා වෙහෙසෙන විට, බටහිර ජනයා වැසිකිලි කඩදාසි (Toilet Paper) මිලදී ගැනීම් සහ ගබඩා කිරීම සඳහා පෙළඹවී ඇති බව වාර්තා මගින් දැක ගතිමු. මේ හේතුවෙන් පහර දීම්, සොරකම් කිරීම් ආදියද නිරතුරුව වාර්තා විය. වෙළඳසැල්වල රාක්ක හිස් කරමින්, ඉතා අධිකව සිදු කරන ලද මෙම මිලදී ගැනීම් නිසා, උග්‍ර වැසිකිලි කඩදාසි හිඟයක් නිර්මාණය වූ අතර, එම තත්වය අපරදිග සමාජය තවදුරටත් භීතියට පත් කෙරුණි.

වැසිකිලි කඩදාසි සහ කොවිඩ් වසංගතය අතර ඇති සබඳතාව කුමක්ද?
සමාජ සම්මතයන් යනු ගැඹුරුතම මානසික බලවේගයන්ගෙන් එකක් පමණි. එබැවින්, කිසිඳු පදනමක් නොමැතිව ජනතාව වැසිකිලි කඩදාසි තොග මිලදී ගනු ලැබූ බව බ්‍රිතාන්‍ය කොලොම්බියා විශ්ව විද්‍යාලයේ මනෝචිකිත්සාව පිළිබඳ මහාචාර්ය සහ 'වසංගත පිළිබඳ මනෝවිද්‍යාව' කෘතියේ කතුවරයා වන ස්ටීවන් ටේලර් (Professor Steven Taylor ) මහතා විසින් මෙසේ පැහැදිළි කරනු ලබයි.

“බිය බෝවෙයි (Fear is contagious). අපි වෙනත් පුද්ගලයින් දෙස බැලීමෙන් හෝඩුවාවන් (signal) ලබා ගනිමු. ඔබ වෙළඳ මධ්‍යස්ථානයක සිටින විට සහ ඔබ වටා සිටින සමහර අය බියෙන් තැතිගෙන මිලදී ගැනීම් සිදුකරන ආකාරය ඔබ දකින්නේ නම්, එම බිය බෝවන රෝගයක් වීමට වැඩි කලක් ගත නොවේ. එවිට ඔබත් අනෙක් පුද්ගලයින් මෙන් අධි ප්‍රමාණයන් මිලදී ගැනීම ආරම්භ කරයි. අවන්හලක් සඳහා මිනිසුන් පෙළ ගැසී සිටිනු දැක එය හොඳ විය යුතු යැයි සිතන විට මිනිසුන් පෙළ නොගැසෙන අවන්හලක් දුටු විට එය විශිෂ්ට නොවන බව අපි සිතමු".

මෙම උප්‍රාසාත්මක මිලදීගැනීම් පිළිබදව ජනතාව දැනුවත් කරන්නේ කෙසේද?
සමාජ දුරස්ථභාවය, ස්වයං නිරෝධායනය වැනි සෞඛ්‍යය ආරක්‍ෂන පිළිවෙත් පිළිබඳ සමාජ දැනුවත්භාවය ඉහල නංවා, රට දෙවන වරටත් අගුලු දැමීම වැළැක්වීමට ඔස්ට්‍රියා රජය විශේෂ සන්නිවේදන සහ මහජන සම්බන්ධතා මෙහෙවරකට අවතීර්ණ විය. නූතන සන්නිවේදන උපාය උපක්‍රම කෙතරම් තිබුනද, ජනතාවගේ සිත් තුල සදාකල් ජීවත් වන 'තැපැල් සේවය' මේ උදෙසා භාවිතා කිරීමේ අභියෝගාත්මක වගකීම ඔස්ට්‍රියා තැපැල් සේවය (Austrian Post) ඔවුහු ලබා දුන්හ.

කුඩා කලා කෘති ලෙස තැපැල් මුද්දර කාලය පිළිබිඹු කරයි. එබැවින්, කොවිඩ් මාතෘකාව පිළිබඳ විශේෂ මුද්දරයක් නිකුත් කිරීමට ඔස්ට්‍රියානු තැපෑල තීරණය කළහ. එමෙන්ම, මෙම විශේෂ තැපැල් මුද්දරය වැසිකිළි කඩදාසි මත මුද්‍රණය කිරීමට ඔවුහු තීරණය කළහ. සනීපාරක්ෂක නිෂ්පාදන; විශේෂයෙන් වැසිකිලි කඩදාසි, සන්ත්‍රාස මිලදී ගැනීම් සංකේතයක් (symbol for panic buying) බවට පත් වූ කල, මෙම තුනී කඩදාසි මුද්දරය සඳහා අදහස ලැබුණු බවත්, පොදු ස්ථානවල සිටින පුද්ගලයින්ට හමුවීමට අවසර ලැබෙන්නේ මීටරයක දුරක් පවත්වා ගැනීමෙන් පමණක් බැවින්, මීටරයේ දුර පිළිබඳ සංකේතාත්මක අදහසක් ඉදිරිපත් කිරීමටත් ඔවුහු වෙහෙසුනාහ. තවද, ඔවුහු සඳහන් කළේ මතකයේ තබා ගත යුත්තේ මුද්දර තොගයක් නිකුත් කිරීමට පමණක් නොව, මෙම අර්බුදයෙන් විශේෂයෙන් පීඩාවට පත්වූවන්ට සහාය වීමටද අවශ්‍යය බවය. එබැවින්, මෙම මුද්දරය ආධාර මුද්දරයක් (Charity Stamp) ලෙස නිකුත් කෙරෙනු අතර, මුද්දරයේ තැපැල් ගාස්තුව යුරෝ 2.75 ක් සහ අධිභාරය යුරෝ 2.75 සහිතව නිකුත් කරන්නට යෙදුනි. මෙමඟින්, කොරෝනා හදිසි ප්‍රතිචාර අරමුදල - කැරිටාස් (Corona emergency aid fund - Caritas), යුනිසෙෆ් ඔස්ට්‍රියා (UNICEF Austria) සහ තවත් මානුෂීය ආධාර සංවිධාන වෙත අරමුදල් ලබාදීම සඳහා කටයුතු කරන බව ඔස්ට්‍රියා තැපැල් ප්‍රධානී, ආචාර්ය ජෝර්ජ් පෝල්ස්ල් (Dr. Georg Pölzl) ප්‍රකාශ කර තිබේ.

ඔස්ට්‍රියානු තැපැල් සේවය මේ තීරණාත්මක සමාජ මානසික ව්‍යාකූලත්වය නිර්මාණාත්මකව ආමන්ත්‍රණය සඳහා නිර්මාණය කෙරුණු මෙම අපූර්ව සමරු මුද්දරය 2020 ඔක්තෝබර් 30 වන දින නිකුත් කරමින්, මුද්දරය සහ තැපැල් සේවය ජනතාවට වඩාත් සමීප සන්නිවේදන සහ මහජන සම්බන්ධතා මෙවලම බව ලොවට අළුත්ම ආකාරයකින් කියා දුන්නේය.

ඒ පිළිබඳ තව දුරටත් විමසීමේදී, කොරෝනා වෛරසය අසාදනය වැලැක්වීම සඳහා අවම වශයෙන් මීටරයක දුරස්ථභාවය පවත්වා ගත යුතු බැවින්, මීටර් එකක (අඩි 3.2) භෞතික දුරස්ථ උපදෙස සංකේතවත් කිරීම සඳහා ඔස්ට්‍රියා ජනතාවට මෙම මුද්දරය මඟින් දෘශ්‍ය සංකේතයක් හඳුන්වා දෙනු ලැබිණි. එනම්, අලි පැටවෙකුගේ රූපයකි. වියානාහි ෂෝන්බ්රන් සත්ව උද්‍යානයේ අළුත්ම සාමාජිකයා වන මෙම අලි පැටවා ඔස්ට්‍රියානු ජනතාවගේ හද බැඳ ගත් සුරතෙලෙකි. ජනතාවගේ සිත්තුල බැසගත් එම රූපය මඟින් අලි පැටවෙකුගේ දිග (the length of a baby elephant) මීටරයට සමාන බව ඒත්තු ගැන්වීමට කටයුතු කර තිබේ. එය ඕනෑම කෙනෙකුගේ සිත් තුල මීටරයේ සීමාව සලකුණු කරනා බව ඔස්ට්‍රියා තැපැල් පරිපාලනය පවසයි. තවද, ඔවුහු දිග ප්‍රමාණ සැසඳීම සඳහා වෙනත් සතුන්ගේ නිදර්ශනද පෙන්වාදී ඇති අතර, ඒවා සියල්ලම විවිධ සත්වයින්ගෙන් නියෝජනය වේ. කකුල් හයක් සහිත කෘමියක් (මිලිමීටරයක්), පියාඹන සතෙකු (සෙන්ටිමීටරයක්), මීයෙක් (ඩෙසි මීටරයක්) හා අලි පැටවෙක් (මීටරයක්) වශයෙන් ඔවුහු පොදු අවකාශයේ අවම දුර පිළිබඳ අපගේ සිත්තුල බැසගත් දැනුම ඇති කරවයි.

එමෙන්ම, සැබෑ වැසිකිලි කඩදාසි (triple layer paper) මත මුද්‍රණය කර ඇති මෙම මුද්දර පත්‍රිකාව, සාමාන්‍ය වැසිකිලි කඩදාසියක ප්‍රමාණයට, හැඩයට සහ මුද්දර රෝල් වශයෙන්ද මුද්‍රණය කර ඇති අතර, ස්වයං-ඇලවුම් පටලයකින් (self adhesive) යුක්තය. මුද්දරයේ විදමන් හෙවත් සිදුර (perforation) නොමැති අතර මුද්දර වෙන්කිරීම සඳහා වැසිකිලි කඩදාසි වෙන් කිරීම් සඳහා යොදාගනු ලබන වෙන්කිරීමේ සලකුණු යොදා මෙම නව නිර්මාණයට අළුත් අදහස් ගොනු කිරීමට තරම් ඔවුහු උත්සුක වී ඇත.

වියානා අගරදගුරු පදවි ධූරන්දර, ක්ලවුස් ෂ්වර්ට්නර් (Klaus Schwertner) පියතුමන් මෙම නුවණැති ආකර්ශනය පිළිබදව මෙසේ පැවසුහ: "මෙම සහයෝගයට අපි බෙහෙවින්ම කෘතඥ වෙමු. මෙම අර්බුදයේ ආදර්ශ පාඨය වන්නේ, අප දුරස්ථව සිටිය යුතු අතර තවමත් සමීපව සිටිය යුතු බවයි. එය සිනහවකින්, දුරකථන ඇමතුමකින් හෝ එකිනෙකාට ලිපි ලිවීමෙන් කල හැකිය. අර්බුදයේ පසුගිය මාස කිහිපය තුළ, තැපෑල ඇදහිය නොහැකි තරම් අභියෝගයට ලක් වුවද, මෙම මුද්දර ප්‍රවේශය සැබෑ මහජනකාමීත්වය පෙන්නුම් කරයි. මෙම විශේෂ තැපැල් ගාස්තුව සමඟ යවන සෑම ලිපියක්ම, තවත් අයකුට උපකාර කිරීමක් සහ ඔවුන්ගේ මුවඟට සිනහවක් හා ප්‍රීතියක් ගෙන දිය හැකි මුල පිරීමකි. ලිපිය ලැබෙනා සියළු දෙනාට පමණක් නොව, අපගේ දෛනික වැඩ කටයුතුවලදී අප සහයෝගය දක්වන විද්‍යා සහ සෙසු කාර්ය මණ්ඩල සඳහාද අපගේ කෘතවේදීත්වය දැක්වීමට මෙම සුන්දර හා වැදගත් මුලපිරීමට බෙහෙවින් ස්තූතියි.”

මෙම මුද්දර මඟින් දැනුම හුවමාරුව සඳහා දෘෂ්‍යකරණය (visualization for the transfer of knowledge) යන සංකල්පය අපට ඉතා හොඳින් ගම්‍ය වේ. තැපැල් මුද්දර, සන්නිවේදන මෙවලමක් සහ මහජන සම්බන්ධතා සවිමත් කිරීමේ මෙවලමක් බව වටහා ගැනීමට මේ අයුරින් දෘෂ්‍යකරණයේ වැදගත්කම ඉස්මතු වීම හේතු සාධක වේ. දැනුම දෘෂ්‍යකරණය (knowledge visualisation) ලෝකය කතා වෙන අලුත් මාතෘකාවකි. දැනුම දෘෂ්‍යකරණය යනු දැනුම නිර්මාණය කිරීම; හා ලබා ගත හැකි දෘශ්‍ය සම්පත් ජනතාවට තේරුම් ගත හැකි හා සන්නිවේදනය කළ හැකි වෙනත් අයුරින් භාවිතා කිරීමයි (knowledge visualisation entails the creation of knowledge, using available visual resources in a manner that is understandable and communicable to other people). සමාජ දුරස්ථ භාවය හා සමාජ මනෝභාවයන් වැනි පොදු පණිවිඩ සමාජ ගත කිරීම සඳහා තැපැල් මුද්දර භාවිතා කිරීමට තරම් ඔස්ට්‍රියානු තැපැල් අධිකාරියේ කියවීම නිර්භීත වුයේ මුද්දරය මුද්දරයක් පමණක් නොවන බව ඔවුන් හොඳින්ම වටහාගෙන ඇති නිසාවෙනි.

මුද්දර නිකුත් කරමින් ඔස්ට්‍රියානු තැපැල් සේවය ඉල්ලා සිටියේ "ඔක්තෝබර් 30 සිට මුද්දර මිලදී ගැනීම සඳහා පෝලිම් ගැසීමට ඔබට අවසර දෙනු ඇත. නමුත්, කරුණාකර අලි පැටවුන්ගේ දුර පමණක් තබා ගන්න." යනුවෙනි.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com