kiyawanamuddara.lk

Our Stories

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


10
November
2021

සැමුවෙල් ෆිස්ක් ග්‍රීන් (Samuel Fisk Green): දකුණු ආසියාවේ වෛද්‍ය පුරෝගාමියා

වසර 1822 ඔක්තෝබර් 10 වන දින මැසචුසෙට්ස් හි උපත ලද ආචාර්ය  සැමුවෙල් ෆිස්ක් ග්‍රීන්, 1845 දී වෛද්‍යවරුන් හා ශල්‍ය වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලබා වසර දෙකකට පසු, උතුරු ලංකාවේ යාපනයට පැමිණි අතර, ඊළඟ වසර 26 තුළ එහි සේවය කළ මිෂනාරිවරුන්ට සහ රැකවරණය ඉල්ලා සිටි ප්‍රදේශවාසීන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නේය. එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හි තරුණ වෛද්‍ය උපාධිධාරියෙකු වන වෛද්‍ය සැමුවෙල් ෆිස්කේ ග්‍රීන්  විසින් වසර 1847දී යාපනයේ මනිපායි හි ආරම්භ කරන ලද මිෂනාරි රෝහල ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය විද්‍යාලය ලෙස සැලකේ. සිය ආගම පැතිරවීම සඳහා මෙරටට  පැමිණි මෙම මිෂනාරිවරයා,  දමිළ භාෂාව හොඳින් ප්‍රගුණ කර එම බසින් බටහිර වෛද්‍ය විද්‍යාව ඉගැන්වීම ආරම්භ කළේය.බටහිර වෛද්‍ය විද්‍යාව පිළිබඳ දෙමළ පොතක් නොතිබූ හෙයින් ඔහු ඉංග්‍රීසි වෛද්‍ය පොත් දෙමළ භාෂාවට පරිවර්තනය කළේය. 

වසර 1848දී ප්‍රථම වරට සිසුන් ඇතුලත් කරගනිමින් සමාරම්භ වූ මෙම විදුහල, පසුව ඔහුගේ නාමයට  ගෞරවය පිණිස "ග්‍රීන් අනුස්මරණ රෝහල" (The Green Memorial Hospital) ලෙස නම් කරන ලදී. මෙය දකුණු ආසියාවේ පිහිටුවන ලද දෙවන පැරණිතම ශික්ෂණ රෝහලයි. 
වෛද්‍ය ග්‍රීන් යාපනයේ සිටි වසර 26 ක කාලය තුළ ඔහු වෛද්‍යවරුන් 87 දෙනෙකු පුහුණු කර ඇති අතර සමහරක් ඉංග්‍රීසි භාෂාවෙන් ද තවත් සමහරු දෙමළ භාෂාවෙන් ද පුහුණු කර ඇත. කීර්තිමත් දිනවලදී මෙම රෝහල සියළුම වෛද්‍ය හා ශල්‍ය වෛද්‍ය අංශ වලින් සමන්විතව ප්‍රජාවට සේවය කළ අතර, එය මුළු දිවයිනෙන්ම හොඳම මාතෘ වාට්ටුවක් විය. 1879 දී මනිපායි වෛද්‍ය විද්‍යාලය වසා දමන ලද අතර 1884 දී මැසචුසෙට්ස් හිදී වෛද්‍ය ග්‍රීන් මිය ගියේය.  වාර්ගික ගැටුම් උත්සන්නව පැවති  සමයේ මෙම  විශාල වෛද්‍ය සංකීර්ණය  රෝහලක කුඩා බෙහෙත් ශාලාවක් බවට පත් විය. 
 
මෙම ලංකාවේ පළමු වෛද්‍ය විද්‍යාලයේ 150 වන සංවත්සරය වෙනුවෙන් මුද්දර කාර්යාංශය  වෛද්‍ය ග්‍රීන්ගේ දායකත්වයට බුහුමන් දක්වමින් වටිනාකම රු. 2.50 ක සමරු  මුද්දරයක් 1998 නොවැම්බර් 11 දින නිකුත් කරන ලදී.

"අහල තිබුනට දැකල නැති අය" තැපැල් මුද්දර මූලාශ්‍ර කරගෙන ජාතික එකමුතුව, ජාතික සමගිය සහ ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා කටයුතු කල සුවිශේෂී පුද්ගලයින් ගැන කියාදෙන මුද්දර කියවීමේ වැඩසටහනයි. මෙම  වැඩසටහන  යුරෝපා සංගමයේ (European Union) ආධාර මත ක්‍රියාත්මක වන Awareness With Human Action (AHA) ව්‍යාපෘතියේ, සාමය, සහජීවනය, සමාජ ඒකාබද්ධතාවය ගොඩ නැංවීමේ කාර්ය සාධනයට අදාලව සිදු කරන සමාජ සත්කාරයක් වන අතර සර්වෝදය ව්‍යාපාරය මෙහි දේශීය සම්බන්ධිකරන කටයුතු මෙහෙයවයි.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com