kiyawanamuddara.lk

Our Stories

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


05
November
2021

අහල තිබුනට දැකලා නැති අය කියවන මුද්දර: ජාතික එකමුතුවේ කියවීමේ පාර්ශවකරු

සංගීතය, චිත්‍ර, කවි, ගීත, නැටුම්, චිත්‍රපට, ජායාරූපකරණය, නාට්‍ය හා රූකඩ වැනි අනේකවිධ කලාවන්, විවිධ භාෂාවන් කතා කරන ජාතීන් අතර සාහිත්‍යය, සංවාදය සහ අන්තර් සංස්කෘතික අවබෝධය සඳහා වාහකයින් ලෙස කටයුතු කරයි.  පුද්ගලයින්ගේ හදවත් තුල මෙන්ම, ප්‍රජාවන් අතර සංහිඳියාව ඇති කිරීම, අප කවුරුද යන්න සහ අපි එකිනෙකා සමඟ සම්බන්ධ වන ආකාරය හඳුනාගැනීම සඳහා කලාව සහ සංස්කෘතියේ දායකත්වය අති මහත්ය.

මෙම සංස්කෘතික ප්‍රවාහයන්, සියවස් ගණනක් තිස්සේ, පරම්පරා අතර හුවමාරු වෙමින්, නූතනත්වය සමඟින් එක්වෙමින්, අඛණ්ඩව පැවත ගෙන එනු ලැබේ. ඉතිහාසය ඉගෙන ගැනීමට, එකිනෙකාගේ සංස්කෘතික උරුමයන් හා සුවිශේෂී දේ තක්සේරු කිරීමට, පොදු දේ ඉගෙන ගැනීමට, සහ එකිනෙකාගේ අන්තර් රඳා පැවැත්ම හඳුනා ගැනීමට ලංකාවේ මින් පෙර කිසි දිනක මුද්දර සාහිත්‍යය භාවිතා කර නැත.  සමරු මුද්දරයේ දායකත්වයෙන් මෙම "විවිධත්වයේ එකමුතුව" සමාජගතකරණය සඳහා  "කියවන මුද්දර" පෙරමුණ ගෙන ඇත. 

විවිධ ජනවර්ග වලට අයත් ලාංකිකයින්ගේ ජාතික, ආගමික, සංස්කෘතික සහ භාෂාමය විවිධත්වයන් හඳුනා ගනිමින්, ඔවුන්ගේ අනන්‍යතාවයට ගරු කරමින්, ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස ජීවත් වීමේ අයිතිය හඳුනා ගැනීමට, මුද්දරය, කියවීමේ මූලාශ්‍රයක් ලෙස මෙහිදී භාවිතා වේ. තවද, දේශාභිමානය සඳහා කැපවූ උදාර චරිත හා උපතින් ලාංකික පුරවැසියන් නොවුවද අප රට වෙනුවෙන්  කැපවූ විදේශිකයන් රැසක් අගනා  දෘශ්‍ය කියවීමක් තුලින් හඳුනා ගැනීමට ඔබට ඉඩ හසර ලැබේ. 

මුද්දරය, ජාතික සංකේතයක් වශයෙන් වැදගත්කමක් උසුලයි. එහි නිරූපිත ජාතික හා ජාත්‍යන්තර චරිත හඳුනා ගැනීම සහ එකී චරිත වල සුවිශේෂීතා හඳුනා ගැනීමට, සහ එම චරිත ජාතික එකමුතුව සඳහා ලබා දුන් දායකත්වය හඳුනා ගැනීම මෙම වැඩසටහනේ අරමුණු අතර වේ.  සමරු මුද්දර මඟින් නිරූපිත ශ්‍රී ලාංකීය ජන විවිධත්වය, දේශපාලන බල අධිකාරිය සහ සුවිශේෂී ජීවන චරිත හඳුනා ගැනීමට, වැඩිදුර කියවීමට සහ ජාතික එකමුතුව සහ අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය සඳහා එම කියවීම වැදගත් වන අයුරු නැතහොත් පොදුවේ "එකමුතුවේ කතන්දරය" වඩාත් රසවත්ව, නැවුම් මූලාශ්‍ර මඟින් කියවා ගැනීමට මෙහිදී ඔබට මනා මඟ පෙන්වීමක් ලබා දෙනු ඇත. එම චරිත වල ජාතික හා ආගමික එකමුතුව, ශ්‍රී ලාංකිකත්වය ඉස්මතු කිරීමට ඔවුන් ගත් වෙහෙස යනාදිය මේ යටතේ විමසා බැලේ. 

ඉතිහාසය නැවත ආවර්ජනය කිරීම සඳහා මුද්දරය, නිර්මානාත්මක දෘශ්‍ය මූලාශ්‍රයක්  ලෙස හඳුනා ගැනීමත්,  එය ඉගෙනුම් - ඉගැන්වීම් මෙවලමක් ලෙස භාවිතා කිරීමත් පිළිබඳව  න්‍යායාත්මක සහ ප්‍රායෝගික අවබෝධයක් සඳහා "මුද්දරය කියවීම" අත්‍යවශ්‍ය කරුණකි. මඟ හැරී ගිය එම අනගි අවස්ථාව යලි  අප විසින් අරඹා ඇත්තෙමු. 

"අහල තිබුනට දැකලා නැති අය" අපගේ වැඩසටහනේ සන්නාමයයි. මෙම ජාතිමාමකයින් පිළිබඳව ඔබ මිට පෙර අසා තිබෙන්නට ඇත. ඔවුන්ව දැක තිබෙන්නටද ඇත. එහෙත්, අපගේ යෝජනාව ඔවුන්ව හදවතින් දැකීමටයි; දෙසවනින් අසා ඇති දේ, දෙනෙතින් දැක ඇති දේ, හදවතින් විමසා බැලීමටයි.
ජාතික එකමුතු බවේ මිහිරි ස්වරය එවිට ඔබට ඇසෙනු ඇත.

පසුගිය ඔක්තෝම්බරයේ සමරණ ලද මුද්දර ආවර්ජනා කිහිපයක් මේ සමඟ වේ. 



© kiyawanamuddara 2020 | Solution by 4meli.com