11
May
2020
බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය අරමුදලට ආධාර එක් රැස් කළ යුධ විරුවාගේ අද්විතීය ජන්ම ශත සංවත්සරය
ජන්ම ශතකය වෙත කෙමෙන් ලඟා වෙමින් තිබු කපිතාන් ටොම් මුවර් (Captain Tom Moore), එය ඉතා උසස් අයුරින් සැමරීම සඳහා තම දියණිය, බෑණා සහ මුනුබුරු මිනිබිරියන් දෙදෙනෙකු සමඟ කටයුතු සුදානම් කරමින් සිටියේය. නමුත්, කොරෝනා ගෝලීය වසංගතය මහා බ්‍රිතාන්‍ය වසා ගැනීමත් සමඟ ඔහුගේ සැළසුමට නැවතීමේ තිත තබන්නට සිදුවිය. එහෙත් 2 වන ලෝක යුධ වීරයකු වන ටොම්, කොරෝනා වසංගතයට අභියෝග කරමින් සිය ජයග්‍රාහී ජන්ම ශතකය සමරන ලද්දේ මුළු ලෝකයටම මහගු ආදර්ශයක් සපයමිනි.
කොරෝනා වසංගත තත්වය හමුවේ ඔහු විසින් බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍යය සේවයට (National Health Service - NHS - එන්එච්එස් ) උර දෙනු පිණිස පවුම් 1000 ක ආධාර අරමුදල් රැස් කිරීමට අදිටන් කර, ඒ වෙනුවෙන් පා ගමනක් සංවිධානය කළේය. තම ඇවිදීමේ ආධාරක (Walking aids) මඟින් බෙඩ්ෆෝර්ඩ්ෂයර් (Bedfordshire) පිහිටි සිය නිවාස වටා 100 වරක් ඇවිදීම ඔහුගේ අරමුණ විය. පා ගමන ආරම්භ විය. පවුම් 1000 එකතු කිරීමට ඔහුට ගත වුනේ පැය 24 කටත් අඩු කාලයකි.
ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත දිරි ගන්වන්නන්ගේ ප්‍රතිචාරයන්ගෙන් උද්යෝගයට පත් කපිතාන්, සිය පා ගමන වට 200 දක්වා දීර්ඝ කළේය. ඔහු එම කඩඉම පසු කරන විට රැස්කරගත් ආධාර මුදල පවුම් මිලියන 31 කි.
ලෝකයේ දසතින්ම උණුසුම් සුබපැතුම් ඔහු වෙත ගලා ආවේය. බ්‍රිතාන්‍ය පොලිසියට, සමාජ දුරස්ථ බවය රැකෙන පරිදි කපිතාන්වරයාට සිය ජන්ම දිනය සැමරීමට ඉඩ ලබා දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටීමටද සිදුවිය.
කපිතාන් ටොම් මුවර්ගේ ජන්ම ශතකයට එලැඹි 2020 අප්‍රේල් 30 දින, ඔහුගේ නිවස උඩින් බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ ප්‍රහාරක ගුවන් යානයක් පියාසර කරමින් ඔහුට හමුදා ගෞරවය පුද කළේය. ලොව පුරා සුභ පතන්නන් ආශීර්වාද වැකි සහිත සුභ පැතුම් පත් 140,000 ක් ඔහු වෙත ඒවා තිබුණි. දෙවන එලිසබෙත් රැජින සහ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ගෙන් විශේෂ උපන්දින සුභ පැතුම් ඔහුට හිමිවිය. විලියම් කුමරු ඔහුට සුබපතමින් ටොම් 'පුද්ගලික අරමුදල් රැස්කිරීමේ යන්ත්‍රයක්' (Personal fundraising machine) ලෙස හැඳින්නුවේය. තවද, බ්‍රිතාන්‍ය රජය විසින් කපිතාන් ටොම් මුවර්ට 'කර්නල්' තනතුරට ගෞරවනීය උසස්වීමක්ද පිරිනැමුවේය.
එයින්ද නොනැවතී බ්‍රිතාන්‍ය රාජකීය තැපැල් සේවයද මේ උත්කෘශ්‍ට අවස්ථව සැමරීම සඳහා ඉතා අපුරු කටයුත්තක් සංවිධානය කළෝය. ඔවුහු විශේෂ පාඨ සහිත මුද්‍රාවක් (Slogan postmark) සකසා 2020 අප්‍රේල් 30 සිට 2020 මැයි 1 දක්වා බ්‍රිතාන්‍යයේ සියලුම ලිපි වල මුද්දර අවලංගු කිරීම සඳහා එය භාවිතා කළේය. එහි සඳහන් වුයේ 'සුභ 100 වන උපන්දිනයක් කපිතාන් තෝමස් මුවර් - එන්එච්එස් අරමුදල් රැස්කිරීමේ වීරයා - 2020 අප්‍රේල් 30' (Happy 100th Birthday Captain Thomas Moore NHS fundraising hero 30th April 2020) යනුවෙනි.
තැපැල් මුද්‍රාව අතීතයේ සිට මහජන සබඳතා මෙවලමක් ලෙස සමාජ පණිවිඩ ප්‍රචාරණය සඳහා යොදා ගැනුණි. රාජකීය තැපෑල නවීන තාක්ෂනය සහ සංවර්ධනය අතින් ඉතා ඉහල තලයක පැවතුනද, සම්ප්‍රදායික තැපැල් සේවයේ මානුෂිය මෙහෙවර ඉතා හොදින් හඳුනන ආයතනයකි. ඔවුහු තැපැල් සේවය මහජන සේවයක් සේ අදටත් සලකති.
1945 දී ඇමරිකා එක්සත් ජනපදයේ දෙවන ඔස්කාර් හැම්මර්ස්ටයින් විසින් රචනා කරන ලද රිචඩ් රොජර්ස් විසින් සංගීත සංයෝජනය කරන ලද ඔබ කවදාවත් තනිව ඇවිද යන්නේ නැත (You’ll Never Walk Alone) ගීතය, ආවරණ සංස්කරණ (cover version) ගණනාවකට පසු වඩාත් 1963 දී ජෙරී සහ පේස්මේකර්ස් (Gerry & The Pacemakers) විසින් ගායනා කරන ලදුව වඩාත් ජනප්‍රියත්වයට පත් විය.
ටොම්ගේ උපන්දිනය නිමිත්තෙන් කැප්ටන් ටොම් සමඟ මයිකල් බෝල් සහ එන්එච්එස් සත්කාරක සංගීත කණ්ඩායම (Michael Ball with Captain Tom, and The NHS Voices of Care Choir) නැවතත් එම ගීතයේ ආවරණ සංස්කරණයක් එළිදක්වන ලදී. එය කෙතරම් කොතරම් ජනප්‍රිය වූවාද කිවහොත් කර්නල් ටොම් මුවර් බ්‍රිතාන්‍ය සංගීත ලස්තුවේ අංක 1 බවට පත්වූ වයස්ගතම කලාකරුවා බවට පත්විය.
When you walk through a storm
Hold your head up high
And don't be afraid of the dark
At the end of the storm
There’s a golden sky
And the sweet silver song of the lark
Walk on through the wind
Walk on through the rain
Though your dreams be tossed and blown
Walk on With hope in your heart
And you’ll never walk alone
You'll never walk alone
ඔබ කුණාටුවක් හරහා ගමන් කරන විට
ඔබේ හිස ඉහළට ඔසවන්න
අඳුරට බිය නොවන්න
කුණාටුව අවසානයේ
රන් අහසක් තිබේ
එවිට ලාර්ක් විහඟ මිහිරි රිදී ගීතය ඔබේ සවන වැකෙනු ඇත
ඔබේ සිහින ඉවතට විසිවී ගියත්
සුළඟ හරහා ගමන් කරන්න
වැස්ස හරහා ගමන් කරන්න
ඔබේ හදවතේ බලාපොරොත්තුව ඇතිව ඉදිරියට යන්න
ඔබ කිසි විටෙකත් තනිවම ඇවිදින්නේ නැත
ඔබ කවදාවත් තනිවම ඇවිදින්නේ නැත
මෙම ගීතය මෙතනින් රස විඳින්න https://www.youtube.com/watch?v=LcouA_oWsnU
© kiyawanamuddara 2020 | Solution by 4meli.com