kiyawanamuddara.lk

Our Stories

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


02
May
2020

"වෙන්ව සිටීමෙන් එකට එක්වන්න" - come together by staying apart, හෘදයාංගම සන්නිවේදනයක පොස්ට් කාඩ් භූමිකාව 

ඔස්ට්‍රියා ජාතික ආර්ථික විද්‍යා  ආචාර්ය එමානුවෙල් ඇලෙක්සැන්ඩර් හර්මන් (Emanuel Alexander Herrmann) 1869 ජනවාරි 29 දින විසින් වියනාහි "නියු ෆ්‍රී ප්‍රෙස් " (Neue Freie Presse) නම්  පුවත්පතට ලිපියක් සපයමින් තැපැල් සේවය පිළිබද නව අදහසක් ඉදිරිපත් කළේය. ලිපියක් ලිවීමට ගතවන කාලය හා ඒ වෙනුවන් ගනු ලබන උත්සාහය, ලිපියේ යවනලද  පණිවිඩයේ ප්‍රමාණයට සමානුපාතික නොවන බව ඔහු ගේ අදහස විය. මේ සඳහා කෙටි, කාර්යක්ෂම, ප්‍රයෝගික සහ වඩාත් ලාභදායී ක්‍රමවේදයක් ක්‍රියාත්මක කල යුතු බව ඔහුගේ අදහස විය. මෙම යෝජනාවේ තාර්කික බව වටහාගත් ඔස්ට්‍රියා තැපැල් සේවය, වසර 1869 ඔක්තෝබර් 1 දා සිට එය බලාත්මක කරන ලදී. තැපැල් පත (postcard) ලොවට බිහිවුයේ එලෙසිනි.

එනයින්, තැපැල් පත යනු කෙටි, කාර්යක්ෂම, ප්‍රායෝගික සහ වඩාත් ලාභදායී සන්නිවේදන ක්‍රමයක් බව මීට වසර 150 කට පෙර අතීතයේදී ලෝකය වටහා ගත්තේය. තැපැල් පත ලොව පුරා සීග්‍රයෙන් ජනප්‍රිය විය. පණිවිඩ හුවමාරුවටත්, වෙළඳ දැන්වීම් ප්‍රචාරණය සඳහාත් එය යොදා ගැනුණි. අදටත් තැපැල් පත අවම පිරිවැයක් සහිත වූ, ජනප්‍රිය සන්නිවේදන මාධ්‍යක් වන අතර තැපැල් පත් ආශ්‍රිත අයිතමයන් එකතු කිරීම ගෝලීය විනෝදාංශයක් ලෙස ප්‍රකටය. මෙම විනෝදාංශය ඩෙල්ටොලොජි (Deltiology) ලෙස  හැඳින්වේ.  ග්‍රීක බසින් ලිවීමේ පත් ඉරුව (déltos) ලොජියා (logia) යනු  අධ්‍යයනය කිරීම හා එකතු කිරීමයි. 1945 දී මහාචාර්ය රැන්ඩල් රෝඩ්ස් (Professor Randall Rhoades) විසින් මෙම පාරිභාෂිතය ලොවට හඳුන්වා දුන්නේය. 

කොරෝනා වසංගතය හමුවේ ලෝකයම සමාජ දුරස්ථ භාවය පවත්වා ගෙන යමින් සිටියදී, අයර්ලන්ත තැපැල් දෙපාර්තමේන්තුව තැපැල් පත් සමඟින් හෘදයාංගම  සන්නිවේදනයක් සඳහා මහඟු පියවරක් ගෙන තිබේ. මෙය 'වෙන්ව සිටීමෙන් එකට එක්වීමට' මිනිසුන් දිරිමත් කිරීම සඳහා ('come together by staying apart') යොදා ගෙන තිබේ. 

කොරෝනා වෛරසයට එරෙහිව සටන් වදින සෞඛ්‍යය කාර්ය මණ්ඩල සහ අවශේෂ සේවාවන් දිරි ගැන්වීම, සමාජ දුරස්ථ භාවය - ස්වයං නිරෝධායනය යටතේ හුදෙකලා වූවන් දිරි ගැන්වීමට තම අත් අකුරින් පණිවිඩයක් ලියා එය නොමිළේ තැපැල් කිරීමට අවස්ථාවක් උදා කර දී තිබේ. මේ සඳහාම විශේෂිතව නිර්මාණය කරන ලද තැපැල් පත් දෙවර්ගයක  මිලියන 5ක ප්‍රමාණයක්  අයර්ලන්තයේ නිවාස මිලියන 1.8ක් වෙත නොමිලේ ලබා දීමට අයර්ලන්ත තැපෑල පියවර ගෙන ඇත. ඉන් ඔබ්බට තවදුරටත්  අතිරේක තැපැල් පත් ඔවුන්ගේ තැපැල් කාර්යාල වලින් ලබා ගත හැකිය. ඒ වෙනුවෙන් අයර්ලන්ත ප්‍රධානතැපැල් විධායක නිලධාරී ඩේවිඩ් මැක්රෙමන්ඩ් මහතා මෙසේ පවසයි : "ස්වයං හුදකලාව සහ සමාජ දුරස්ථ භාවය රකිනා ඔබගේ දෙමව්පියන්, වැඩිහිටියන්, හිතමිතුරන්ට හෘදයාංගම සටහනක් ලියන්න. තනිව ජීවත්වන්නන්ට, වෛරසය සමඟ සටන් වදින්නන්ට උත්තේජනයක් ලබා දෙන කිසියම් සටහනක් තබා තැපැල් පෙට්ටියට දමන්න. ඊට මුද්දරයක් අවශ්‍ය නොවන අතර, අපි අදාල ලිපිනයට එය නොවරදවාම භාර දෙන්නෙමු. අපේ කැපී පෙනෙන සෞඛ්‍යය සේවාවට, අපිව මේ අර්බුදයෙන් ගොඩ ගැනීමට වෙහෙස මහන්සි වන සැමට අපගේ ස්තුතිය. " 

විශේෂිතව නිර්මාණය කරන ලද මෙම තැපැල් පත්, තැපෑලේ හෘදයාංගම බව පිළිබඳ කදිම නිදසුනකි. සන්නිවේදනය සහ මහජන සම්බන්ධතාව පිළිබඳ නවතම කියවීමකි. මෙවැනි ගෝලීය අර්බුදයකදී හිතවත්කම් අළුත් කරනා මහජන 'සේවයක්' ලෙස, තැපෑලේ සමීප බව අපට පසක් කරනා සුවිශේෂී ක්‍රියාවකි. 
කොරෝනා අර්බුදය තැපැල් සේවය දෙස අළුත් ඇසකින් බැලීමට ඔබට අරාධනා කරයි. 



© kiyawanamuddara 2020 | Solution by 4meli.com