kiyawanamuddara.lk

Our Stories

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


28
March
2020

කොරෝනා සටනට මහජන ආධාර ලබා ගැනීම

කොරෝනා වෛරසයට එරෙහිව අද වන විට ලෝකයේ සියළුම රටවල් ගෙන යන සටන ඉතා බැරෑරුම් තත්වයකට එළැඹ තිබේ. ලෝකයේ බලගතු රටවලට පවා මෙම වසංගත තත්වය පාලනය කර ගැනීමට අපොහොසත්ව ඇත. මේ සටන සඳහා රජයේ දායකත්වය පමණක් ප්‍රමාණවත් නොවන බව සැමට පසක් වී ඇති බව පැහැදිලිය.

රජය, සෞඛ්ය කාර්ය මණ්ඩල, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ආදී සෑම පාර්ශවයකම එකමුතුව, කොරෝනාවට එරෙහි ප්‍රධාන අවිය විය යුතුය. මේ සඳහා මුල්‍යමය , දව්‍යමය , සේවා ආධාර ලැබෙමින් පවතින අතර, ඒ වෙනුවෙන් පොදු ජනතාවද සක්‍රියව දායක කර ගැනීම තුලින් වියසනය ගැන බැරෑරුම්ව කල්පනා කිරීමට අවස්ථාවක් හිමි වන බව අපගේ හැඟීමයි. මේ වෙනුවෙන් ඉතා සරල හා වඩාත් ප්‍රයෝගික විසඳුමක් ලෝක තැපැල් ඉතිහාසයේ දක්නට ලැබේ. කොරෝනාවට එරෙහි සටනට මහජන ආධාර ලබා ගැනීම උදෙසා ආධාර මුද්දරයක් (Charity Stamp) නිකුත් කිරීම එම ප්‍රවේශයයි.

ආධාර මුද්දරය යනු මුද්දරයේ සටහන් කර ඇති සාමාන්‍ය තැපැල් ගාස්තුවට අතිරේකව සටහන් කර ඇති වටිනාකමක් කිසියම් නිශ්චිත කටයුත්තක් සඳහා අරමුදල් රැස්කිරීමට හැකි වන පරිදි නියමයන්ට යටත්ව නිකුත් කරන ලද මුද්දරයකි. 1956 මැයි 10 වන දින මෙරට ප්‍රථම ආධාර මුද්දර යුගලය බුද්ධ ජයන්ති උත්සවයේ වැඩකටයුතු සඳහා මහජන ආධාර ලබා ගැනීම අරමුණු කොට නිකුත් කරන ලදී. මෙම මුද්දර යුගලය මකර තොරණ සහ සාමයේ මුද්ද්‍රාව සිතුවම් වූ (ශත 10/5) වටිනාකමින්ද, ධර්ම චක්‍රය සහ පහන සිතුවම් වූ (ශත 4/2) වටිනාකමින්ද යුක්ත විය. මෙතෙක් ශ්‍රී ලංකාවෙන් නිකුත් කල එකම ආධාර මුද්දර නිකුතුව මෙය වේ. මේ සමගින් බ්‍රිතාන්‍ය ආධාර මුද්දරයක නිදසුනක්ද වේ.

ඉරානය විසින් 2020 මාර් තු 17 දින ලොව ප්‍රථම කොරෝනා මුද්දරය නිකුත් කරමින් වෛරසයට එරෙහිව සටන් වදින සියළු දෙනාම අගැයුමට ලක් කර ඔවුනට මානසික උත්තේජනයක් ලබා දෙන ලදී. මෙම දිරිගැන්වීම් වියසනය පිටුදැකීම සඳහා ප්‍රබල ආධාරකයක් වනු ඇත.

සමරු මුද්දරයක් වෙනුවට එය ආධාර මුද්දරයක් ලෙස තවත් පියවරක් ඉදිරියට යාමෙන් අදාල සියළු පාර්ශවයන් දිරිගැන්වීමත්, මෙරට පොදු ජනතාව ඒ සඳහා දායක කර ගැනීමත් යන ද්විත්ව කාර්යයම එකවර සපුරා ගත හැක.

ආධාර මුද්දරය, මුද්දර ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයකි. එය ජාතික වශයෙන් හා ජාත්යන්තරව මුද්දර ඉතිහසයේ සුවිශේෂී අවස්ථාවක් වනු ඇත. ආධාර මුද්දරය මඟින් සමාජයට ප්‍රබල පණිවිඩයක් ප්‍රක්ෂේපනය කරවන අතර, සමාජ වගකීම් සහිත පුද්ගලයන් වශයෙන් අපගේ යුතුකම ඉටු කිරීමටද අවස්ථාවක් හිමි වනු ඇත.

මෙම කොරෝනා ආධාර මුද්දරය පිළිබඳ යෝජනාව ‘කියවන මුද්දර’ අප විසින් ශ්‍රී ලංකා රජයට මේ වන විටත් යොමු කර ඇත.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com