kiyawanamuddara.lk

Our Stories

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


15
May
2020

බලාපොරොත්තුවේ පණිවිඩය # CarryUsThrough Stamps

බලාපොරොත්තුවේ පණිවිඩය # CarryUsThrough Stamps 

"මුද්දරය යනු මානව ඉතිහාසයේ සංක්‍ෂිප්ත ලේඛනයකි. රටක  අපේක්‍ෂා, අවශ්‍යතා, විශ්වාස හා පරමාදර්ශ පිළිබඳ විචාරාත්මක පිළිබිඹුවකි. එය අතීතයේ කැඩපතකි. අනාගතයේ පෙරනිමිත්තකි. සංස්කෘතික ප්‍රගතිය, කාර්මික මෙහෙවර, ගෘහස්ත සහ සිවිල් සමාජීය ජීවිතය පිළිබඳ මනා පෙළගැස්මකි. වෙනත් වචන වලින් කිවහොත්, ලෝකය සහ එහි වසන්නවුන්ගේ බහුවිධ ජයග්‍රහණ පිළිබඳ දිදුළන චිත්‍රයකි."

"Stamps are miniature documents of human history. They are the means by which a country gives sensible expression to its hopes and needs; its beliefs and ideals. They mirror the past and presage the future. They delineate cultural attainments, industrial works, domestic, civil and social life. In a word, these vignettes give a vivid picture of the world, its occupants and their multifarious endeavours." - Cardinal Francis Joseph Spellman

මුද්දරලෝලියකු වූ ඇමරිකානු ජාතික ෆ්‍රැන්සිස් ජෝශප් ස්පෙල්මන් කාදිනල්තුමා  විසින් වර්ෂ 1950දී ඉදිරිපත් කල මෙම විවරණය, මුද්දර පිළිබඳ විශිෂ්ඨතම සාහිත්‍ය විවරණය ලෙස පිළිගැනේ. 2017 දී  'මුද්දරය එදා, අද සහ හෙට' කෘතියෙන් මෙම නිර්වචනය මෙරට මුද්දර සාහිත්‍යට හඳුන්වාදීමට අපිට හැකිවිය.
කාදිනල්  ෆ්‍රැන්සිස් ස්පෙල්මන්ගේ විවරණයෙන් වසර 70ක්  ගතවෙන අදටත්, එහි සාරවත්බව සහ මුද්දරයේ සදාතනිකබව හොඳින් පසක්වේ. ගෝලීය වසංගතයක් බවට පත්වූ කොරෝනා හෙවත් කොවිඩ්-19 අර්බුදය හමුවේ ලෝකයේ විවිධ රටවල් තැපෑලයන්, මුද්දරය සහ ඒ ආශ්‍රිත මඟින් ජාතික එකමුතුව, ගෝලීය සහයෝගීත්වය සහ මහජන සම්බන්ධතා  ප්‍රවර්ධනය කරමින් සිටි. ලෝකයේ කෙතරම් දියුණු සන්නිවේදන ක්‍රම පැවතුනද, තැපෑල තරම් හෘදයාංගම සන්නිවේදන සේවයක් නොමැති බව  ඔවුන් මේ  වන විටත්  අවබෝධ කරගෙන සිටිති.
මුද්දරයක්   සුළු කොට තැකුවද,   ඒවා කුඩා කළාකෘති වන අතර, ඒ මඟින් මිනිසුන්ට අතීතය සහ වර්තමානය පිළිබඳ අවබෝධයක් ලබා දේ. (We take them for granted, but they’re miniature works of art and give people a glimpse into the past and the present.) ස්පෙල්මන් මුද්දර හා තැපැල් ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයේ එම අදහස මේ කොරෝනා සමයට හොඳින්ම ගැලපේ.
ලිපියක් යවා සිනහවක් ලබා දී (Send a Letter and Deliver a Smile) කොරෝනා උවදුරින් අපව මුදවා ගෙන යාමට උදව් කිරීමට (Carry Us Through) අයිල් ඔෆ් මෑන් තැපැල් කාර්යාලය (Isle of Man Post Office) සිය ජනතාවට නව මුද්දර නිකුතුවක් සමඟින් මෙසේ ආරාධනා කරයි.
අයිල් ඔෆ් මෑන් යනු එංගලන්තය සහ අයර්ලන්තය අතර අයර්ලන්ත මුහුදේ ස්වයං පාලනයක් ඇති බ්‍රිතාන්‍ය කිරුළ මත යැපෙන දූපත් රාජ්‍යකි. මෙම දූපත එක්සත් රාජධානියේ හෝ යුරෝපීය සංගමයේ කොටසක් නොවන නමුත් ස්වාධීන පරිපාලනයක් සහිතය. ඔවුන්ගේ පුරවැසිභාවය එක්සත් රාජධානියේ නීතියෙන් ආවරණය වන අතර යිල් ඔෆ් මෑන් හෙවත් මැන්ක්ස්  (Manx) ජනතාව බ්‍රිතාන්‍ය පුරවැසියන් ලෙස සැලකේ.
Carry Us Through (#CarryUsThrough) යනුවෙන් හැඳින්වෙන මෙම මුද්දර අට, 2020  මැයි 4 වන දින නිකුත් කරන ලදී. වසංගතයට මුහුණදීම සඳහා     පිහිටුවන ලද  මැන්ක්ස් සහයෝගිතා අරමුදලට  (Manx Solidarity Fund) මෙම මුද්දර අලෙවියෙන් හිමිවන ආදායම  පරිත්‍යාග කෙරෙනු  ඇත. කොරෝනා  වසංගතයට එරෙහිව ලෝකයේ රටවල් නිකුත් කරන ලද  මුද්දර අතුරින්, වඩාත්ම කථාබහට ලක්වූ මුද්දර පෙළ මෙයයි. අයිල් ඔෆ් මෑන් තැපැල් අධිකාරිය විසින් මෙම  මුද්දර  අපූර්ව  තේමාවක් භාවිතා  කර  සිත්ගන්නා සුළු නිර්මාණාත්මක මහජන සම්බන්ධතා  මෙවළමක් බවට පත්කර තිබේ.
  .
'මුද්දර හරහා අපව රැගෙන යාම' (Carry Us Through Stamps) තේමාව 'වසංගත අවදානමෙන් ජනතාව මුදවා ගැනීම' ලෙස අර්ථ ගන්වා ගෙන මෙම මුද්දර කියවීම සුදුසුය.
කොරෝනා වසංගතය  අපගේ ජීවිත වෙනස් කර ඇති ආකාරය සිතා ගත නොහැකිය. සමහරුන්ට ජීවිත අහිමි වී ඇත. සමහරුන්ට දෙමාපියන්, වැඩිහිටියන්, නෑදෑයන්, භාරකරුවන්, මිතුරන් අහිමි වී ඇත. සමහරුන්ට රැකියා හා ව්‍යාපාර අහිමි වී ඇත. අප සියල්ලන්ම පීඩාවට පත්ව ඇත. 
මුද්දර නිකුතුවකින්  වසංගතය  සමඟ  සටන් වදින සියළු දෙනාටම ස්තූති කරන්නේ කෙසේද? හෙදියන්, වෛද්‍යවරුන්, සෞඛ්‍ය සේවකයින්, පරිපූරක වෛද්‍යවරුන්, බස් රියදුරන්, සාප්පු සේවකයින් - ලැයිස්තුව නිමක් නැතිය. ස්තූතියි කියන්නට එය ප්‍රමාණවත්ද? තවත් බොහෝ දේ කළ හැකිද? කරුණාවන්තකම, එකමුතුකම, රැකවරණය සහ ධනාත්මකභාවය වැනි ආකල්ප වර්ධනයක් සිදු වී ඇති නමුත්, වඩාත්ම කැපී පෙනෙන දෙය නම් මිනිසුන් නැවත කතා කිරීමට, අසල්වැසියන් සමඟ කතා කිරීමට, එකිනෙකාට ලිවීමට, අවදානමට ලක්විය හැකි පුද්ගලයින්  පිළිබඳව සොයා බැලීමට  පටන් ගෙන ඇති ආකාරයයි.  
මෙම අර්බුධය පහව යනු ඇති බව අපි දනිමු. මෙම ව්‍යසනයෙන් පීඩාවට පත් වූ හා ඊට ගොදුරු වූ  බොහෝ දෙනෙකුට ධෛර්ය සම්පන්න දිරි ගැන්වීමක් අවශ්‍ය වේ. අර්බුධය සහ ඉන් මිදී  යථා තත්ත්වයට පත්වීම සඳහා “#CarryUsThrough” ප්‍රධාන තේමාවන්  කිහිපයක් මත පදනම්ව  මුද්දර මඟින් බලාපොරොත්තුවේ පණිවිඩය  මෙසේ  එළි දක්වා ඇත. ගෝලීය අර්බුධයකදී ශක්තිය, ධෛර්යය සහ ආදරය යන තේමාවන් මත මෙම මුද්දර  ඉදිරිපත් කර ඇති අතර, අපගේ ජීවිතවලට එවැනි දායකත්වයක් ලබා දෙන ජනතාවද ඉන් සමරනු ලබයි.

මුද්දරය  1 - ආදරය - Love Will #CarryUsThrough 
මිනිසුන්ට ඇති ආදරය,  බිය හා  ශෝකය ජය ගැනීමට සහ  ජීවිත නැවත ගොඩ නඟා ගැනීමට උපකාරී  වන ප්‍රධාන අවශ්‍යතාවයයි. අපට අවශ්‍ය  ආදරය  පමණයි. මෙහි පළමුවන (1st) ලෙස සඳහන් වනුයේ ආදරය අපව  මුලින්ම මෙම ව්‍යසනයෙන් අත්මිදී  යථා තත්ත්වයට රැගෙන යනු ඇති බවයි.

මුද්දර 2 - ඇදහිල්ල - Faith will #CarryUsThrough 
ඇදහිල්ල යනු අප සියල්ලන්ම අර්බුධයකදී ශක්තිමත්ව තබා ගන්නා විශ්වාසයයි. ඇදහිල්ල අපව එක්සත් කරන මෙම විශේෂ අවස්ථාවෙහිදී,  දේවස්ථාන,  පල්ලි  සහ පන්සල් අපේ නිවසට පැමිණ තිබේ. මෙහි පළමුවන (1st) ලෙස සඳහන් වනුයේ ඇදහිල්ල අපව මුලින්ම  මෙම ව්‍යසනයෙන් අත්මිදී  යථා තත්ත්වයට රැගෙන යනු ඇති බවයි.

මුද්දරය 3 - රැකවරණය - Care will #CarryUsThrough
අපගේ රැකබලා ගන්නන්, හෙදියන්, වෛද්‍යවරුන්, සෞඛ්‍ය සේවකයින් සහ සමස්ත ජාතික සෞඛ්‍ය සේවය (National Health Service) සහ එහි සියළුම  සහායකයන් අපේ  කාලයේ වීරයන්ය. අපි ඒ හැම කෙනෙක්ම සමරමු.  මේ වන විටත් සෞඛ්‍ය සේවකයින් බොහෝ දෙනෙක් මෙම ව්‍යසනය වෙනුවෙන්  ඔවුන්ගේ ජීවිත පරිත්‍යාග කර ඇති අතර, මෙම සුපිරි වීරයන් සදහටම අපගේ මතකයේ රැඳෙනු ඇත. ඔවුන් පැළඳිය යුත්තේ නිළ ඇඳුම් නොව සුපිරි වීරයන්ගේ කබායන්ය. මෙහි පළමුවන (1st) ලෙස සඳහන් වනුයේ රැකවරණය අපව මුලින්ම  මෙම ව්‍යසනයෙන් අත්මිදී  යථා තත්ත්වයට රැගෙන යනු ඇති බවයි.

මුද්දරය 4 - සානුකම්පිතබව - Compassion will #CarryUsThrough
මිනිසුන් අහිමි වූවන්, දුක් විඳින අය  සහ බිය ඇති අය වෙනුවෙන් අනුකම්පාව ඇති කර ගැනීම සානුකම්පිත බවයි. දයානුකම්පාව යනු මනුෂ්‍යත්වය වෙන්කර හඳුනා ගැනීමයි. ඉදිරි  වසර වලදී අප මානසික සෞඛ්‍ය අර්බුද වලට  මුහුණ දෙන විට සානුකම්පිතබව   අපගේ ජීවිත සවිමත් කරනු ඇත. මෙහි පළමුවන (1st) ලෙස සඳහන් වනුයේ  සානුකම්පිතබව අපව මුලින්ම  මෙම ව්‍යසනයෙන් අත්මිදී  යථා තත්ත්වයට රැගෙන යනු ඇති බවයි. 

මුද්දරය  5 - වැඩ - Work will #CarryUsThrough
අපේ රට බේරා ගැනීම සඳහා කටයුතු කරන ලෙස රජය අපෙන් ඉල්ලා තිබේ. සෑම ගම්මානයකම සහ නගරයකම, සෑම වෘත්තියකම සේවකයින්  මේ සදහා එක් වනු ඇත. සෞඛ්‍ය සේවා උපකරණ,  සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ ස්වසන ආධාරක  නිපදවීමේ ප්‍රයත්නයට බොහෝ දෙනෙක්  එක් වී ඇත.  අපගේ ආහාර සුරක්ෂිතතාව  සඳහා නැවත ගොවිපළවල් කටයුතු අරඹා ඇත. වෙළඳසැල් විවෘතව තබා ඇති අතර කර්මාන්ත ශාලා ක්‍රියාත්මක වෙයි. සෞඛ්‍ය කාර්ය මණ්ඩල අපව හොඳින් රැකබලා ගනී.   මේ රටේ සැබෑ සේවකයින් අපව  සෞඛ්‍යාරක්ශිතව තබා පෝෂණය කළ අය බව අපට ඉක්මනින්ම  අවබෝධ විය.  ඔවුන්ගේ උත්සාහය නොමැතිව අපට අප අහිමි වනු ඇත. මෙහි large (විශාල) ලෙස සඳහන් කර ඇත්තේ මේ කටයුතු පුළුල්ව කල යුතු බව ඒත්තු ගැන්වීමටයි.

මුද්දරය  6 - ප්‍රජාව - Community will #CarryUsThrough
වෙන කවරදාකටත් වඩා මේ කාලයේදී  ප්‍රජාවන් එකට එකතු වී ඇත. ආධාරක කණ්ඩායම්, ස්වේච්ඡා සේවකයින්ගේ ජාලයන් විසින් අවශ්‍යතා ඇති අයට   ආහාර සහ වෙනත් අත්‍යවශ්‍ය පහසුකම්  ලබා දෙනු ලබයි.  අපගේ අසල්වැසියන් රැකගැනීම අපගේ යුතුකමකි. ප්‍රජාව ප්‍රජවෙන්ම යැපෙයි. මෙම මුද්දරය මතද  large (විශාල) ලෙස සඳහන් කර ඇත්තේ ප්‍රජාව සමග  පුළුල්ව කටයුතු කිරීමේ වැදගත්කම  ඒත්තු ගැන්වීමටයි.

මුද්දර 7- වචන - Words will #CarryUsThrough
අපි නැවතත් එකිනෙකාට ලියන්නට පටන් ගෙන ඇත්තෙමු. හුදකලාව සිටින අයට වචන, සිය ආත්මයන් ඔසවා තබයි; මතකයන් නැවත අවදිකරවයි; හැඟීම් පුබුදුවයි.  එය කෙටි පණිවිඩයකට, ඉක්මන් ඇමතුමකට වඩා  වඩා වැඩි යමකි ; එය සැබෑ ස්පර්ශය සහ  සැනසිල්ල ගෙන දෙයි.   අත් අකුරින් ලියූ  ලිපියක් කියවීම චිත්තරූප මවා ගැනීමකි, ඒකාකාරී භාවයෙන් අත් මිදීමකි. අනාගතයේදී  එවැනි ලිපි ඓතිහාසික සටහන්  වනු ඇත. මෙම මුද්දරයේ  ROW - Rest of the world  (ලෝකයේ සෙසු රටවල්) ලෙස සඳහන් කර ඇත්තේ මුළු ලෝකය වෙනුවෙන්ම ලියන්න යන අරුතිනි.

මුද්දරය 8 - විද්‍යාව - Science will #CarryUsThrough
වෛරසය සඳහා එන්නතක් සොයා ගැනීම සඳහා විද්‍යාඥයින් දින හතම, පැය 24 පුරාම වෙහෙසන අතර  එය මතු සාර්ථක වනු ඇත. විද්‍යාව පිළිබඳ  රජයේ උපදේශකයින්ගේ අනාගත පාරදෘශ්‍යතාවය ඔවුන්ගේ දෛනික සංක්ෂිප්තයන්ට සවන් දෙන විට අපට  සහතික  කර ගත හැකිය. මෙම  මුද්දරය විද්‍යාවේ සියලුම ප්‍රධාන ක්ෂේත්‍ර නියෝජනය කරන අතර ආචාර්ය ලුසි හෝකින්ගේ කාරුණික අවසරය මත මහාචාර්ය ස්ටීවන් හෝකින් (Professor Stephen Hawking) ගේ සමීකරණ දෙකක්  - කළු කුහර අහඹු බව  සහ හෝකින් විකිරණ (Black Hole Entropy and Hawking Radiation ) - එහි ඇතුළත් වේ. තවද  ශක්තිය (E = mc2); ඩීඑන්ඒ ටී-බේස් සූත්‍රය (DNA ‘T’-Base formula) සහ කාබනික අණුවක්  වන කැෆේන්ද ඇතුළත් වේ. එන්නත් පිළිබඳ වෙහෙසමින්,   රාත්‍රිය පුරා වැඩ කරන විද්‍යාඥයින්ට තේ සහ කෝපි වල අවශ්‍යාතව මින් ගම්‍ය වේ. මෙම මුද්දරයේද   ROW - Rest of the world  (ලෝකයේ සෙසු රටවල්) ලෙස සඳහන්  කර ඇත්තේ විද්‍යාව මුළු ලෝකයම  සුවපත් කිරීම වෙනුවෙන් වෙහෙසෙන බව අරුත් ගැන්වීමටය.

ලන්ඩන් නුවර මුලස්ථානය කරගත් සුප්‍රකට  ග්ලැසියර් ඩිසයින් (Glazier Design)  ප්‍රචාරණ සමගම විසින් මෙම නිකුතුවේ නිර්මාණාත්මක සංකල්පය,  තේමාවන් සහ සිතුවම් සැළසුම්කරණයන් සිදුකර තිබේ. ග්ලැසියර් ඩිසයින්හි ජ්‍යෙෂ්ඨ නිර්මාණකරු හා  නිර්මාණ අංශ ප්‍රධානී එමා නිව්ටන් මෙහි ප්‍රධානත්වය ගෙන කටයුතු කරන ලදී. ඔවුන් මෙම නිර්මාණය පිළිබඳ මෙසේ පවසයි : 'අපි විනෝදකාමී හා උසස් විලාසිතාවන් තීරණය කළෙමු. සෑම මුද්දරයකටම  පෞරුෂයක් ලබාදීම සඳහා රූපයක් සහිතව නිර්මාණය කළෙමු. අයිල් ඔෆ් මෑන් තැපැල් කාර්යාලයේ වෙළඳ නාම, වර්ණ සමඟ බැදී ඇති  රතු සහ නිල් මේ සඳහා මූලික  වර්ණ ලෙස  තෝරා ගත්තෙමු. ගැඹුර එකතු කිරීමට සහ මෘදු, සැහැල්ලු හැඟීමක් ලබා දීමට අපි  වර්ණ දෙකක  මිශ්‍රණයක්  සහ ගලා යන රේඛා භාවිතා කළෙමු. සමස්තයක්  ලෙස සැළකීමේදී,  මෙහි නිරූපිත චරිත අතිශයෝක්තියෙන් යුක්තව නිරුපනය කිරීම තුළින්  ඒවාට පෞරුෂත්වය සහ  විචක්ෂණශීලී ස්වභාවයක් ලබා දෙන ලදී. මිනිසුන් එකට එක්වීම,  එකිනෙකාට සහයෝගය දැක්වීම සහ විපත් ජය ගැනීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් මේ අවදානමෙන් රට හා ජනතාව සුවපත් කිරීම සඳහා කලා කෘතීන් නිර්මාණය කිරීමට හැකිවීම අපට සතුටකි.'
මුද්දරයක් නිර්මාණය කිරීම සඳහා  නිර්මාණාත්මක සංකල්ප භාවිතය, තේමාවට අදාල සැළසුම්කරණය; වර්ණ සංකලනය; සැම මුද්දරයක්ම එකම රිද්මයක පවත්වාගෙන යාම සහ ඒවා වෙන් වෙන් ලෙසත්,ගොනුවක් ලෙසත් තේමාව උද්දීපනය කිරීමට සමත්වීම සහ මෙම  මුද්දර  නිර්මාණ කළා කෘති ලෙස අර්ථ ගැන්වීම; අපට බොහෝ දේ සිතන්නට  ඉඩ ලබාදෙයි. තැපෑලේ සහ මුද්දරයේ සදාතනික බව ලොවට කියාදෙන මෙවන් නිර්මාණ ලෝක තැපැල් ඉතිහාසයේ අගනා මිනි කැට වේ.

විශිෂ්ඨ නිර්මාපකයින් විශිෂ්ඨ නිර්මාණ බිහි කරයි. 



© kiyawanamuddara 2020 | Solution by 4meli.com