kiyawanamuddara.lk

Our Stories

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


27
May
2020

ලිපියක් ලියා සිනහවක් ගෙන එන්න

ලිපියක් ලියා සිනහවක් ගෙන එන්න 

මිලියන සිය ගණනක ජනතාවක්  හුදෙකලා කරමින් ලෝකයට අගුළු වැටී ඇත. ගෝලීය වසංගතය අපව තීරණාත්මක තැනකට ගෙනැවිත් තිබේ. මතක ඇති ඉතිහාසය තුල  අප සියළුදෙනා අතර සබඳතාවන් මෙතරම් දුරස් කර නොමැත. සමාජ දුරස්ථභාවය, ස්වසන ආචාරශීලීත්වය හා ස්වස්ථතාවය දැන් නිරන්තර පිළිපැදිය යුතු යහපත් පුරුද්දක් බවට පත්ව ඇත.
ස්වයං නිරෝධායනය හා සමාජ දුරස්ථකරණය මධ්‍යයේ අර්බුදයෙන් මිදීම සඳහා සෑම රටකම සෞඛ්‍ය කාර්ය මණ්ඩල ප්‍රමුඛව ත්‍රිවිධ හමුදාව, පොලීසිය, රාජ්‍ය සහ පුද්ගලික අංශයන්හි සේවක මණ්ඩල මහත් වෙහෙසවී කටයුතු කරයි. අන් අයට උපකාර කිරීම සඳහා ජීවිතය අවදානමට ලක් කිරීම ඇදහිය නොහැකි තරම් පරාර්ථකාමීය. ඒ සියළු වෙහෙස මහන්සි වී වැඩ කිරීම් ගැන අප ස්තුතිවන්ත විය යුතුය.
මේ, ලෝකයට සුවය ප්‍රාර්ථනා කලයුතු කාලයයි. පීඩාවට පත්වූවන්ට, මානසික සෞඛ්‍යය දුර්වල වූවන්ට, සරණක් විය යුතු කාලයයි. අප වෙනුවෙන් වෙහෙසෙන්නන්ට, ආදරය, ගෞරවය හා ප්‍රණාමය දැක්විය යුතු කාලයයි. ධෛර්යයවන්ත බව අගය කල යුතු කාලයයි. ඒ වෙනුවෙන් අප කුමක් හෝ කල යුතු කාලයයි. ලෝකයේ කොතැනක සිටියත්, සියළු ලෝ වැසියන්ට අපට තවදුරටත් උපකාර කළ හැකි කාලයයි.
මෙම පුර්ව පශ්චාත් කොරෝනා සමයේදී,  නිර්මාණශීලීවීමට සහ අනාගතයට ලිවීමට ඔබට ආරාධනා කෙරෙයි. අකුරු, සජීවීව  සෑම දෙනාටම වේදිකාව විවර කර දෙන අතර, බලාපොරොත්තුව, අධ්‍යාපනය, ආදරය, අගය කිරීම, ගෞරවය, ස්තූතිය, සැනසීම සහ සහයෝගයේ පණිවිඩය සහිත  ලිපි හුවමාරු කර ගන්නා ලෙස ලෝකයෙන්ම ඉල්ලා සිටී. මෙම වසංගත සමය ඔබට දැනුනේ කෙසේද? ඉතිහාසයේ ඔබේ කොටස ඔබ ලියන්නේ කෙසේද? කාට හෝ එය දැනගැනීමට, ලියන්න.  පෑනකට, කඩදාසියකට, ඔබේ සිතුවිලි නිදහසේ ගලා යාමට ඉඩ සලසාලසන්න.  අත් අකුරින් ලියූ  ලිපියක් කියවීම චිත්තරූප මවා ගැනීමකි; ඒකාකාරී භාවයෙන් අත් මිදීමකි. හුදකලාව සිටින අයට, වචන; සිය ආත්මයන් ඔසවා තබයි; මතකයන් අවදි කරවයි; හැඟීම් පුබුදුවාලයි.  එය කෙටි පණිවිඩයකට හෝ ඉක්මන් ඇමතුමකට වඩා  වඩා වැඩි යමකි. එය, සැබෑ ස්පර්ශය සහ සැනසිල්ල ගෙන දෙයි.
අපි නැවතත් එකිනෙකාට ලියන්නට පටන් ගෙන ඇත්තෙමු. ලිවීම යනු ආතතියෙන් පෙළෙන කාලයකදී ඔබට කළ හැකි වඩාත්ම ප්‍රයෝජනවත් කටයුත්තකි. මෙවන් ගෝලීය වසංගතයකට වඩා, ලිවීමට වැඩි ඉඩක් ලැබෙන  කාලය කුමක්ද?  එයින් ඔබේ ලේඛන කුසලතා වැඩි වර්ධනය කරගැනීමට හැකිවන  අතරම, සමාජ දුරස්ථභාවය තිබියදීත්, නව මිතුරන් ඇති කර ගැනීමට කදිම අවස්ථාවක් සළසයි. 
ඉතිහාසය යනු තොරතුරු වල එකතුවකි. මේ අර්බුදයේදී අපි කටයුතු කල අන්දම අදට පෞද්ගලික සටහනක් වුවද, අනාගතයේදී වටිනා තොරතුරැ මූලයක්  විය හැකිය. අනාගතයේදී  එවැනි ලිපි ඓතිහාසික සටහන් වනු ඇත. අපි දැනටමත් සෑහෙන කලක සිට මේ අර්බුදයේ වෙලී සිටිමු. එනම්, අපි දැනටමත් වසංගත ඉතිහාසයේ කොටස්කරුවන්ය.
ලෝකයේ බොහෝ දියුණු රටවල් මේ අර්බුදයේදී, අත් අකුරැන් ලියනා ලිපි, සුබපැතුම් හා තැපැල් සේවය පිළිබද විශ්වාසය තබා ඇත .ඒවා ඉතා සරල මහජන සම්බන්ධතා  උපක්‍රමය. ඒවා කවදත් අමතක නොවන මතකයන්ය. 
ඉතින් තවත් ප්‍රමාද නොවන්න. ඔබ වෙනුවෙන් ලියන්න. අන් අය වෙනුවෙන් ලියන්න. සොඳුරු සිතිවිල්ලක්, ධෛර්යවන්තකම ලබාදෙන සටහනක්, ආශීර්වාද ප්‍රාර්ථනයක් ලියන්න. මෙවන් ගෝලීය අර්බුදයකදී ශක්තිය, ධෛර්යය සහ ආදරය යන තේමාවන් මත ඔබගේ ආශිර්වාදය ලෝකයට පතුරවන්න. පවත්නා අර්බුදය තුළ, පීඩා විඳින සියල්ලන්ටම මෙම ප්‍රවේශ  සහ පණිවිඩ අදාළ කරවන්න. ඔබගේ ලිපිය, සුභ පැතුම යමෙකුගේ දවස දීප්තිමත් කරනු ඇත. 



© kiyawanamuddara 2020 | Solution by 4meli.com