16
June
2020
COVID-19 මුද්දරය - ස්විස් සහයෝගීතාවයේ දෘශ්‍ය සංකේතය
කොරෝනා ගෝලීය වසංගතයට එරෙහිව ගෝලීය සටන අළුත් වටයකින් අරඹන ස්විස්ටර්ලන්ත රජය ප්‍රථම වරට ආධාර / අර්ධ මුද්දරයක් (charity / semi-postal stamp ) මුද්දරයක් නිකුත් කර ඇත. ආධාර මුද්දර /අර්ධ මුද්දර යනු මුද්දරයේ මුහුණතේ සඳහන් කර ඇති තැපැල් ගාස්තුවට අතිරේකව සඳහන් කර ඇති මුදලද වැයකර මිලදී ගැනීමට අවැසි මුද්දර වන අතර ඒවා මුද්දර ලෝකය තුල ඉතා සාර්ථක අරමුදල් සම්පාදන සැලසුමකි. 2020 අප්‍රේල් 10 වන දින නිකුත් කෙරුණු මෙම ස්විට්සර්ලන්ත මුද්දරය සහයෝගීත්වයේ සහ විශ්වාසයේ පණිවිඩය පතුරනු ලබයි. වසංගතයෙන් පීඩාවට පත්වූවන්ට ආධාර උපකාර ලබාදීම වෙනුවෙන් අරමුදල් රැස් කිරීම මෙම ආධාර මුද්දරයේ මුඛ්‍ය අරමුණ වන අතර කොරෝනා වෛරස් අර්බුදය තුළ අන්‍යෝන්‍ය සහයෝගීතා ප්‍රවර්ධනය කිරීමටත් ඔවුහු අපේක්ෂා කරති.
මෙම මුද්දරය ඉතා කෙටි දැනුම්දීමකින් නිර්මාණය කරන ලද්දක් වන අතර එය නිර්මාණය කරන ලද්දේ බර්න්හි පිහිටි නූලයින්ස් කොමියුනිකේෂන් ඩිසයින් (Nulleins Kommunikationsdesign) හි ඇලෙක්සැන්ඩ්‍රා ස්ටයිනර් (Alexandra Steiner) නම් ශිල්පිනියයි. මෙම නිර්මාණ සඳහා ඔවුන් ඉතා විශිෂ්ඨ අදහසක්, විශිෂ්ඨ ව්‍යවහාරික කලා කෘතියක් බවට පත්කර ඇත. ව්‍යවහාරික කලාවක් යනු සෞන්දර්යාත්මකව ප්‍රියමනාප වන පරිදි එදිනෙදා භාවිතා කරන හා අත්‍යවශ්‍යයෙන්ම ප්‍රායෝගික වස්තූන් සඳහා සැලසුම් සහ සැරසිලි යොදන කලාවන්ය.
මුද්දරයක් වැදගත් පණිවිඩකරුවෙක් බවට පත් කරන්නේ දෘශ්‍ය ගුණාංගයි (visual qualities). යථෝක්ත මුද්දරයේ සිතුවම නැතහොත් දෘශ්‍ය රූපය ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය. කොවිඩ් - 19 වෛරසයට සමාන හැඩතලයක් මුද්දරයේ වම්පසින් දැකිය හැකි අතර, දකුණු පසින් ඉංග්‍රීසි බසින් වදන් කිහිපයක් දැක්වේ. මෙම මුද්දරය නිකුත් කිරීමේ ප්‍රධාන තේමාව වන Covid - 19 යන්න මුද්දරයේ දකුණුපස ඉහළ කෙළවරෙහි සටහන්ව ඇත. ඊට පහළින් සහයෝගිතාවය (solidarity) යන අදහස ඇඟවෙන වචන හතරක්ද සටහන්ව ඇත. ඒවා පිළිවෙලින් රොමෑන්ස්, ඉතාලි, ප්‍රංශ සහ ජර්මන් භාෂාවන් ගෙන් සඳහන් වේ. සියළු ජාතීන්ගේ සමෝධානිකයක් වූ ස්ව්ට්සර්ලන්ත වැසියා කොවිඩ් - 19 පරාජය කිරීම උදෙසා සහයෝගයෙන් පෙළගැසී සිටින බව මුද්දරයේ ඇති භාෂිත සංකේතයන් ගෙන් ගම්‍ය වේ.
මෙම මුද්දරයේ එය නිකුත් කරන ලද රට ලෙස සඳහන්ව තිබෙන්නේ හෙල්විටියා (HELVETIA) ලෙසිනි. ස්ව්ට්සර්ලන්තය වනාහි ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය හා ඔස්ට්‍රියාව යන රටවල් හතරට අතරමැදි වූ යුරෝපීය දේශයකි. එය බහු භාෂිත, බහු සංස්කෘතික රාජ්‍යයක් වන අතර, එහි ආරම්භය වර්ෂ 1291 දක්වා ඈතට දිවයයි. ජර්මානු, ප්‍රංශ, ඉතාලි භාෂා බහුලව එහි භාවිතා වේ. මේ එක් එක් බසින් රට හැදින්වීමේදී පවතින වෙනස් ව්‍යවහාර නිසා ඔවුහු පොදු නාමයකට එකඟ වූහ. එම පොදු නාමය 'හෙල්විටියා'යි. එය ස්විස් දේශයට ලතින් බසින් හැඳින්වෙන නාමයයි. 1848දී හෙල්වෙටික් ජනරජයට උප කොටස් එකතුවී තනි රටක් බවට පත් විය. එම නව රට 'කොන්ෆෙඩරේෂියෝ හෙල්වෙටිකා' ලෙස නම් කරන ලදී. ජාත්‍යන්තරව ස්විස් කේතය CH වන අතර එහි අරුත "කොන්ෆෙඩරේෂියෝ හෙල්වෙටිකා' හෝ 'හෙල්වෙටිකන් කොන්ෆෙඩරේෂන්' (Confederatio Helvetica / Helvetican Confederation) යන්නයි.
කොවිඩ්-19 සහයෝගීතාවය (COVID-19 Solidarity) නමින් හැඳින්වෙන මෙම මුද්දරය මඟින් එක් රැස් කරනා අරමුදල් ස්විස් රතු කුරුස සේවය (Swiss Red Cross) හා ස්විස් සහයෝගීතාවය (Swiss Solidarity) අතර සම සමව බෙදී යාමට කටයුතු කර ඇත. මෙහි මූණත වටිනාකම ස්විස් ෆ්‍රෑන්ක් 6කි. එනමුත් මෙහි වටිනාකම නිරූපනය වන්නේ ස්විස් ෆ්‍රෑන්ක් ශත වලිනි. එනම් ස්විස් ෆ්‍රෑන්ක් ශත 100 + 500 ලෙසිනි. මෙහි තැපැල් ගාස්තුව ෆ්‍රෑන්ක් 1ක් (ස්විස් ෆ්‍රෑන්ක් ශත 100)ක් වන අතර, අධාරය ෆ්‍රෑන්ක් 5 (ස්විස් ෆ්‍රෑන්ක් ශත 500) කි. මෙම මුද්දර වටිනාකම ස්විස් ෆ්‍රෑන්ක් ශත වලින් පෙන්වා දී ඇත්තේ එමඟින් ආධාර වශයෙන් එකතු කරනා සෑම ශතයකම වටිනාකම පෙන්වාදීමටය. මුද්දර 10ක් සහිත පත්‍රිකාවක් ලෙසින් මෙම මුද්දර අලෙවි කරන අතර, එහි මුළු වටිනාකම ෆ්‍රෑන්ක් 60 වුවද ඒ සඳහා අය කරනු ලබන්නේ ෆ්‍රෑන්ක් 50 කි. මෙමඟින් ස්විට්සර්ලන්ත තැපෑල මුද්දරයේ සැබෑ මුහුණත වටිනාකම ආවරණය කරයි. වෙනත් වචන වලින් කිවහොත්, ගැනුම්කරු ස්විට්සර්ලන්ත සහයෝගීතාවයට සහ ස්විස් රතු කුරුස සංවිධානයට ෆ්‍රෑන්ක් 50 ක් පරිත්‍යාග කරන අතර, ඒ වෙනුවන් ස්විස් තැපෑල ඔවුන්ට මුද්දර 10 ක් ලබා දෙයි.
අක්ෂර වලට අමතරව මෙහි ඇති ප්‍රධාන දෘශ්‍ය රූපය වනුයේ කොවිඩ් වෛරසයට සමාන රූපයයි. එහි මැද සටහන් වනුයේ සුදු පැහැති කුරුසියකි. සුදු කුරුසය වෘත්තාකාර බ්‍රමණ ස්වරූපයකින් යුක්ත වෙයි. වෘත්තය වටා අත්වැල් බැඳ පෙළගැසී සිටින මිනිසුන් 24 දෙනෙකි. මෙයින් සංඥාර්ථවත් වන්නේ දිදුළන ලෝකයකි. මානව රූප 24 දෙනා අතරින් හතර දෙනෙකු ඉස්මතු කර දක්වා ඇත. එයින් ස්ව්ට්සර්ලන්තයේ ප්‍රධාන ජාතීන් හතර නිරූපණය වේ. දෘශ්‍ය රූපය කොවිඩ් වෛරසය සේ පෙනුනද, එයින් නිරූපණය වන්නේ ස්ව්ට්සර්ලන්තය වැසියා Covid - 19 වෛරසය පරදවා අඳුරු ලෝකයෙන් ආලෝකය කරා ගමන් කරන අයුරුය.
මුද්දරයේ පසුබිම් වර්ණය වනුයේ රතු වර්ණයයි. මෙම වර්ණ හා සංකේතය ස්ව්ට්සර්ලන්ත ජාතික ධජය සිහි ගන්වයි. මෙම සංකේතය ස්විට්සර්ලන්තයේ රතු කුරුස කමිටුවේ නිර්මාතෘ හෙන්රි ඩුනන්ට් (Henry Dunant) හට උපහාරයක් ලෙස නියෝජනය වේ. එම සංකේතයනගෙන් ස්ව්ට්සර්ලන්තයේ ස්වකීයත්වය පිළිබිඹු වේ. ස්විට්සර්ලන්ත ධජය සම්ප්‍රදායිකව නිදහස, ගෞරවය සහ විශ්වාසවන්තභාවය වෙනුවෙන් පෙනී සිටී. නූතන කාලවලදී ස්විට්සර්ලන්ත ධජය මධ්‍යස්ථභාවය, ප්‍රජාතන්ත්‍රවාදය, සාමය සහ රැකවරණය නියෝජනය කිරීමට පැමිණ තිබේ. වර්ණ භාවිතාවේදී ස්ව්ට්සර්ලන්ත ස්වදේශීයත්වය පිළිබිඹු කරවන රතු හා සුදු වර්ණ භාවිතා කළද, එය සමස්ථ ලෝකයාටම දැනෙන වර්ණ ද්විත්වයකි. කිමෙක්ද යත්, රතු රුධිරාණු සහ සුදු රුධිරාණු මිනිස් ජීවයේ සප්‍රානිකත්වයට මෙන්ම ප්‍රතිශක්තිකරණය උදෙසාද දායක වන බැවිණි.
මුද්දරයේ දෘශ්‍ය රූප පිළිබඳ සලකා බලන විට, එය ගෝලීය වශයෙන් පහසුවෙන් හඳුනා ගත හැකි සංකේතයනගෙන් සැදුම් ලද්දකි. කොවිඩ් වෛරසය මර්ධනය කර දැමීම සඳහා සමස්ත ස්විස් වැසියන්ම සහයෝගීතාවයෙන් කටයුතු කරවීමට පෙළඹවීම තුළින් මිනිස් චෛතසිකයේ ධනාත්මක ආකල්ප වර්ධනය කරවීම උදෙසාද මෙම මුද්දරය දායක වී ඇති බව පැහැදිළිය.
කොරෝනා වෛරස් අර්බුදය තුළ ගෝලීය සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා ස්විට්සර්ලන්තය නිකුත් කරන ලද මෙම ආධාර මුද්දරය ලෝක මුද්දර ඉතිහාසයේ සුවිශේෂී මඟ සලකුණක් වන බවට දැනටමත් අනාවැකි පළවෙමින් තිබේ. ලෝක ඉතිහාසයේ වැඩිම ආධාර මුදලක් එකතු කල මුද්දරයවීම එකී ගෞරවයයි. 2020 ජුනි මස මුල් සතිය වනවිට ආධාර මුද්දරය ස්විස් ෆ්‍රෑන්ක් මිලියන 2ක් උපාය ඇති අතර, එම අරමුදල් භාවිතා කරමින් ඔවුන් කොරෝනා අභියෝගය ජයගැනීම සඳහා යුහුසුළුව ක්‍රියාත්මක වෙමින් පවතී.
'මුද්දරය' යනු මුද්දරයක්ම නොවන බව ස්විස් තැපෑල ලොවට හඬගා කියා දෙයි. ඉතිහාසය, සංස්කෘතිය සහ දෘෂ්‍යකරණය සම්මිශ්‍රණය වූ විට සමාජ, දේශපාලන සහ ආර්ථික සිමාවන් ඉක්මවා යන පොදු අත්දැකීම් නිර්මාණය වේ. ස්විස් ආධාර මුද්දරය මඟින් අපට කියවිය හැක්කේ එයයි.
(විශ්ලේෂණ සහාය: දුලක්ෂි කුලතුංග - සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය; පුලස්ති එදිරිවීර - ප්‍රවීන මුද්දර සැලසුම් ශිල්පී)
© kiyawanamuddara 2020 | Solution by 4meli.com