kiyawanamuddara.lk

Our Stories

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


23
October
2020

'සෝදමු අත් සෝදමු ... සෝදමු අත් සෝදමු' නූතන ආසාදන පාලනය සොයාගත් මිනිසාගේ නව දැනුම සහ සෙමෙල්වෙයිස් ප්‍රතීකය (Semmelweis Reflex)

සෝදමු අත් සෝදමු ... සෝදමු අත් සෝදමු'
නූතන ආසාදන පාලනය සොයාගත් මිනිසාගේ නව දැනුම සහ සෙමෙල්වෙයිස් ප්‍රතීකය (Semmelweis Reflex)


අත් සේදීමේ සරල ක්‍රියාව විෂබීජ පැතිරීම වැළැක්වීම සඳහා ඉතා වැදගත් ක්‍රියාමාර්ගයක් බව මෙම වසංගත කාල සීමාව තුල අපට නිරතුරුව අසන්නට ලැබෙන පණිවුඩයකි. අත් සේදීමේ ඉතිහාසය ගැන විමසීමේදී, එම කතන්දරය අත් සේදීමට වඩා මොලය සේදීමක් ලෙස කියවා ගැනීම වඩාත් උචිතය.
අත් සේදීමේ ඉතිහාසය පුරාණ කාලයට දිව යයි. එය බොහෝ දුරට ඇදහිල්ල පදනම් කරගත් සිරිතකි. පරණ ගිවිසුම, අල් කුර්ආනය යන ඇදහිලි වල චාරිත්‍රානුකූලව පිරිසිදු කිරීමේ සන්දර්භය තුළ අත් සේදීම ගැන සඳහන් කර තිබේ. ඒවා අදටත් ක්‍රියාත්මක වේ.
චාරිත්‍රානුකූලව අත් සේදීම මහජන සෞඛ්‍යයට බලපාන බවට හොඳම නිදසුනක් වශයෙන් සඳහන් වන්නේ 14 වන සියවසේ කළු මරණය (Black Death) අතරතුර, පැහැදිලිවම අන් අයට වඩා අඩු මරණ අනුපාතයක් යුරෝපයේ සිටි යුදෙව්වන්ගේ තිබුණු බව පර්යේෂණ වලින් හෙළිදරව්වීමය. තම ආගම විසින් නියම කරන ලද අත් සේදීම, වසංගතයේදී ආරක්ෂාව සැපයූ බව යුදෙව්වන්ගේ විශ්වාසය විය .
අත් සේදීමේ සරල ක්‍රියාව විෂබීජ පැතිරීම වැළැක්වීම සඳහා ඉතා වැදගත් ක්‍රියාවක් බව නැතහොත් 'අත් සනීපාරක්ෂාව' ( Hand Hygiene) පිළිබඳ අදහස මුලින්ම ඉදිරිපත් කළේ 19 වන ශතවර්ෂයේ වියානාහි ප්‍රසව හා නාරිවේද වාට්ටුවක සේවය කළ හංගේරියානු වෛද්‍යවරයෙකු වන ඉග්නාස් සෙමෙල්විස් (Ignaz Semmelweis - 1818-1865) ය.
නීතිය හැදෑරීම ගැන කලකිරී සිටි සෙමෙල්විස් 1844 දී වියානා විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධියක් ලබා වෛද්‍ය විද්‍යාව හැදෑරීමට යොමු විය. මෙම කීර්තිමත් ආයතනයෙන් උපාධිය ලබා ගත් ඔහු ව්‍යාධිවේද (pathology) හා පසුව වෛද්‍ය විද්‍යා (medicine) තනතුරු සඳහා ඉල්ලුම් කළ නමුත්, ඒ දෙකෙහිම ප්‍රතික්ෂේප කිරීම් සිදුවිණි.
සෙමෙල්විස් පසුව ප්‍රසව හා නාරිවේදය (obstetrics and gynecology) වෙත යොමු විය. වින්නඹු මාතාවන් විසින් අධිපත්‍යය දැරූ මෙම ක්ෂේත්‍ර තුල වෛද්‍යවරයකුට අඩු කීර්තියක් සහිත තනතුරක් ලබා ගැනීම පහසු විය. ඔහු 1846 ජූලි 1 වන දින සිට වියානා රෝහලේ ප්‍රසව වෛද්‍ය අංශයේ සේවය කිරීම ආරම්භ කළේය.
1823 ට පෙර වියානා රෝහලේදී දරු ප්‍රසුතියෙන් කාන්තාවන් 100 න් 1 ක් පමණ මිය ගියහ. නමුත් ප්‍රතිපත්තිමය වෙනසක් මඟින් වෛද්‍ය සිසුන් සහ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන් ඔවුන්ගේ අනෙකුත් රාජකාරිවලට අමතරව මරණ පරීක්ෂණ සිදු කළ යුතු බවට නියම කිරීමෙන් පසුව, නව මව්වරුන්ගේ මරණ අනුපාතය හදිසියේම 7.5% දක්වා ඉහළ ගියේය. මෙම අභිරහස ගැන පරීක්ෂණ සඳහා වැඩි කාලයක් යෙදවීමට සෙමෙල්විස් ක්‍රියා කළේය.
කිසිම මරණ පරීක්ෂණයකට සහාභාගි නොවන වින්නඹු මාතාවන්ගේ සහායෙන් බිහිවන දරුවන් නිරෝගී වීමටත්, නිතිපතා මරණ පරීක්ෂණ වලට සහාය වන වෛද්‍යවරුන් සහ ශිෂ්‍යයන්ගේ සහාය සහිතව බිහිවන දරුවන් ඉක්මනින් ලෙඩ රෝග වලට ගොදුරු වන බවත් ඔහු ප්‍රත්‍යක්‍ෂ කර ගත්තේය.
මෙම සොයා බැලීම් වලින් අනතුරුව සබන් හෝ විෂබීජ නාශක යොදා අත් සෝදා ගැනීම මඟින්, ළදරුවන් බිහිවීමෙන් පසු සිදුවන මරණ ඉතා විශාල වශයෙන් අඩුකරගත හැකි බව සොයා ගන්නට ඔහුට හැකිවිය. අත් සේදීම මඟින් එකල සිදු වූ ළදරු මරණ අනුපාතය 90% ක් අඩු කර, අත් සේදීමේ වැදගත්කම සනාථ කර පෙන්වීමට ඔහු සමත් විය.
එසේ වූවත්, ඔස්ට්‍රියාවේ වියානා නගරයේ සේවයේ යෙදුනු මේ හංගේරියානු ජාතික වෛද්‍යවරයා සහ විශේෂඥයා තමන් විසින් කල මෙම වටිනා සොයා ගැනීම වෙනුවෙන් තම රටේදී හෝ සේවය කල රටේදී කිසිදු පැසසුමක් නොලද්දෙකි. ඒ වෙනුවට ඔස්ට්‍රියානු වෛද්‍යවරුන් ගෙන් ඔහුට හිමිවූයේ ගැරහුම්, සිත්වේදනා, උපහාස සහ අපහාසයන්ය. අවසානයේදී ඔහුට ලැබිය යුතු තනතුරුද අහිමි කිරීමෙන් පසු ඔහුව මානසික ආබාධිතයෙක් ලෙස හංවඩු ගසා රැඳවුම් මධ්‍යස්ථානයක් වෙත යොමු කරන ලදී.1865 අගෝස්තු 13 වන දින 47 හැවිරිදි වියේ පසුවූ ඔහු මිය ගියේ රුධිර විෂ වීමකිනි. මානසික ආයතනයේ මුරකරුවන් කිහිප දෙනෙකු විසින් තදින් පහර දීම නිසා ඔහුගේ දකුණු අතේ ඇතිවූ ආසාදනයක් ඊට හේතුවිය.
එසේ වුවද, ඔහුගේ සිසුන් ප්‍රමුඛ තරුණ වෛද්‍යවරු පිරිසක් ඔහුගේ අදහස් පිළිගත් අතර, ඒවා දිගටම සිදුකිරීමට මෙන්ම, ප්‍රචලිත කිරීමටත් කටයුතු කරන ලදී. මේ අදහස බ්‍රිතාන්‍යයේ වෛද්‍ය ප්‍රජාව විසින්ද ඉතා ඕනෑකමින් ක්‍රියාවට නංවන ලදී. පසු කලෙකදී සෙමෙල්විස්ගේ සොයාගැනීම් පිටුපස තිබෙන විද්‍යාත්මක සත්‍යය ලුයී පාස්චර් සහ ජෝසප් ලිස්ටර් (Louis Pasteur and Joseph Lister) විසින් සනාථ කරන ලදී.
පසු කාලයකදී තම උපන්බිම ඇතුළු රටවල් රාශියක ගරු බුහුමන් වලට වෛද්‍ය ඉග්නාස් සෙමෙල්විස් ලක් විය. එතුමන් වෙනුවෙන් සිහිවටන හා ප්‍රතිමා නිර්මාණය කළේය. ඔහු 'ආසාදන පාලනයේ පියා' සහ 'මව්වරුන්ගේ ගැලවුම්කරුවා' ලෙස ප්‍රසංශාවට ලක්විය. එමෙන්ම, ලෝකයේ රටවල් රැසක් ඔහු නමින් සමරු මුද්දර නිකුත් කර ඔහුට උපහාර දක්වා ඇත.
ලොව වටා සිටින ජනතාවගේ සබන් යොදා දෑත් සේදීමේ පුරුද්ද වැඩි දියුණු කරවීම, පෙළඹවීම හා බලමුළු ගැන්වීම උදෙසා වර්ෂ 2008 සිට ඔක්තෝම්බර් 15 වන දින ගෝලීය අත් සේදීමේ දිනය (Global Handwashing Day) යොදා ගනිමින් එහි දැනුවත්භාවය සහ අවබෝධය වර්ධනය කෙරේ.
මීටත් වඩා විශේෂිත සිදුවීම වන්නේ ඔහු වෙනුවෙන් සෙමෙල්වෙයිස් ප්‍රතීකයක් (Semmelweis Reflex) ලෙස නම් කෙරී තිබෙන සංසිද්ධියයි. එමඟින් අදහස් කරන්නේ, 'වර්තමාන චින්තනයට හෝ විශ්වාසයන්ට පටහැනි නව තොරතුරු හෝ දැනුම ස්වයංක්‍රීයව ප්‍රතිෂේප කිරීමේ ප්‍රවණතාවය' යි. ඕනෑම ක්‍ෂේත්‍රයක වහාම පිළිගැනීමට අකමැති නව න්‍යායක් ඉදිරිපත් කරන විට, මෙම ප්‍රතිෂේප කිරීමේ ප්‍රවණතාවය බොහෝ විට දක්නට ලැබේ.
“When I look back upon the past, I can only dispel the sadness which falls upon me by gazing into that happy future when the infection [puerperal fever] will be banished. But if it is not vouchsafed for me to look upon that happy time with my own eyes … the conviction that such a time must inevitably sooner or later arrive will cheer my dying hour.”: Ignaz Semmelweis - Jul 1, 1818 - Aug 13, 1865
“මම අතීතය දෙස ආපසු හැරී බලන විට, මට ඇතිවිය හැකි දුක දුරු කළ හැක්කේ ආසාදනය පහව යන එම ප්‍රීතිමත් අනාගතය දෙස බැලීමෙනි. නමුත් එම ප්‍රීතිමත් කාලය මගේ දෑසින් බැලීමට මට සහතික නොවන්නේ නම්, එවැනි කාලයක් අනිවාර්යයෙන්ම ඉක්මනින් හෝ පසුව පැමිණිය යුතුය යන විශ්වාසය මගේ මියෙන පැය ප්‍රීති ප්‍රමෝදයට පත් කෙරෙනු ඇත.": ඉග්නාස් සෙමෙල්විස් - 1818 ජුලි 1 - 1865 අගෝස්තු 13
මෙම කෙටි සටහන ලොවට මෙතරම් වටිනා සේවයක් කිරීම වෙනුවෙන් තම ජීවිතයෙන් වන්දි ගෙවූ වෛද්‍ය සෙමෙල්විස් වෙත කෙරෙන උපහාරයක් සේම, සෙමෙල්විස් ප්‍රතීකයෙන් පීඩාවට පත්වූවන් වෙත කෙරෙන පිදුමකි.

(උද්දීපනය සහ විශේෂ ස්තුතිය: ජගත් ගුණවර්ධන මහතාගේ facebook සටහන)



© kiyawanamuddara 2020 | Solution by 4meli.com