kiyawanamuddara.lk

Our Stories

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


15
August
2021

කියවමින් එකතු කරන්න, එකතු කරමින් කියවන්න

මුද්දර එකතු කිරීම (Stamp Collecting) සහ මුද්දර කියවීම (Stamp Reading) එකම විෂය ක්ෂේත්‍රයක අනු කොටස් නොවේ. මුද්දර එකතු කිරීමේ විනෝදාංශය "ෆිලටලි "(Philately) නම් පරිභාශිතයෙන් හැඳින්වේ. එය, මුද්දර රැස්කිරීම (Acquisition), සංවිධානය කිරීම (Organizing), ප්‍රදර්ශනය (Display) සහ අධ්‍යයනය (Study) යන කටයුතු වල එකතුවකි. අධ්‍යයනය සඳහා මුද්දර සාහිත්‍යය (Philatelic literature) ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටුකරයි.

මුද්දර සාහිත්‍යය යටතට මුද්දර නාමාවලි (එක් රටක සහ ගෝලීයව), භූගෝලීය ප්‍රදේශ නාමාවලි, කාල නාමාවලි (පස්වන ජෝර්ජ් රජුගේ පාලනය ආදී), විශේෂිත නාමාවලි (උදා: තැපැල් සලකුණු, පර්ෆින් ආදිය), වෙන්දේසි නාමාවලි, මුද්දර පිළිබඳ පොත්, සඟරා, පුවත් පත් ආදිය මෙන්ම මුද්දර එකතු කිරීමට ප්‍රයෝජනවත් වන සිතියම්, විනිමය අනුපාත යනාදියද (Non-philatelic literature) අයත්ය. මුද්දර කියවීම අදාල වන්නේ "කියවීම" (Reading) යන පුළුල් විෂයටය. කියවීමට ඉගැන්වීම (Reading Teaching/ Teaching to read) යන විසල් ක්‍රියාවලිය තුල "මුද්දර කියවීම" එක් අනු කොටසකි.

කියවීම වර්ගීකරණයේදී, විෂය පාදක කියවීම, දැනුම සඳහා කියවීම, මොලයේ වම් අර්ධය සංවර්ධනය කරන කියවීම නැතහොත් ප්‍රබන්ධ නොවන කියවීම (Non-fiction reading) ලෙසින් කොටස් කල හැක. තර්කය, න්‍යාය, අර්ථකතනය, ප්‍රස්තාර, ගණිත ගැටලු වැනි සංකල්ප සංවර්ධනය සඳහාද එය උපකාරී වේ. සෞන්දර්යය නැතහොත් ජීවිතය සඳහා කියවීම, ප්‍රබන්ධ කියවීම (Fiction reading) ලෙස හැඳින්වේ. ආදරය, දයාව, සහජීවනය, පිළිවෙල, රිද්මය ගොඩනඟා ගැනීම සඳහා මෙම කියවීම ඉතා වැදගත් වන අතර, එය මොලයේ දකුණු අර්ධය සංවර්ධනය කරනා කියවීමකි. සමබර පෞර්ෂයකින් යුත් ගෝලීය පුරවැසියන් බිහිකර ගැනීම සඳහා මේ දේ-අංශයේම සමබර සංවර්ධනය අත්‍යවශය. මේ පාර්ශව දෙක අතරමැද පවතින අතිරේක කියවීම (Supplementary reading), දැනුම සහ සෞන්දර්යය යන දෙකම එකවර ලඟා කර ගැනීමට උපකාරී වේ. මේ සඳහා, කාසි හා නෝට්ටු, පිංතූර, ජායාරූප, ජාතික කොඩි, සිතියම් මෙන්ම වඩාත්ම ජනප්‍රිය මුද්දර කියවීමයි. මේවා පොත් නොවන කියවීම් (Non-book reading materials) ලෙසින්ද හැඳින්වේ. උසස් අධ්‍යාපනයට සහ ජීවිතය පුරාවට ඉගෙනීමට (lifelong learning) අත්‍යවශ්‍ය කුසලතාවක් වන තොරතුරු භාවිතය හා ලබා ගැනීම පිළිබඳ මනා පුහුණුවක් මෙම අතිරේක කියවීම් මඟින් ඔබට හිමිවේ.

මුද්දර එකතු කිරීමේදී "මුද්දරය" මූලික වන අතර, කියවීමේදී මුද්දර පිංතූරය ප්‍රමාණවත් වේ. එකතු කිරීමේදී, මුද්දර සුරැකුම් පොත් වල ඉතා සංවිධානගතව පවත්වාගෙන යන අතර, කියවීමේදී මුද්දරය හෝ මුද්දර පින්තූරය විශාලනය කර ඉගෙනුම් ආකෘතියක් (Model) ලෙස භාවිතයට ගැනීමට අපි ඔබට යෝජනා කරමු. මුද්දරයේ දෘශ්‍ය රූපය හොඳින් අවබෝධ කරගැනීම සඳහා එය වැදගත්ය. මුද්දරය පිළිබඳ සමාජ කතිකාවත නැතහොත් මුද්දරය සමාජ සංස්කෘතියක් බවට පත් කිරීම සදඳහා මුද්දර එකතු කිරීම සහ මුද්දර කියවීම යන දෙපාර්ශවයේ එකමුතුව ඉතා වැදගත්ය. එබැවින් "මුද්දර කියවීම " යනු මුද්දර සාහිත්‍යය, මුද්දර කියවීම දක්වා රැගෙන යාමයි. මුද්දර කියවීමේදී මුද්දරයට හිමි තැන එයයි. ඒ සඳහා ඔබත් කියවමින් එකතු කරන්න, එකතු කරමින් කියවන්න.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com