08
July
2021
"කෝමගතා මරු" (Komagata Maru) යනු ඉන්දියානු සංක්‍රමණිකයන් 376 ක් රැගත් හොංකොං සිට කැනඩාවේ වැන්කුවර් (Vancouver) දක්වා ගමන් කළ නෞකාවකි. ආසියානු සංක්‍රමණිකයන් රටින් බැහැරව තබා ගැනීම සඳහා නිර්මාණය කරන ලද ආසියානු බැහැර කිරීමේ පනත යටතේ, කැනඩා රජය සහ වැන්කුවර් පාලනාධිකාරිය විසින් කෝමගතා මරු නෞකාවට සහ එහි මගීන්ට කැනඩාවට සංක්‍රමණිකයන් ලෙස ඇතුළුවීම තහනම් කිරීමේ සිදුවීම ආශ්‍රිත ඉතිහාසය මේ ඛේදවාචකයේ කතාන්දරයයි. කුසගින්න සහ පිපාසය විඳිමින් කෝමගතා මරු හි සිටි මගීන් මෙන්ම, වැඩි වශයෙන් සික් ජාතිකයන්ගේ මෙම කත්දරය, සියලු මිනිසුන්ට ගෞරවයෙන් සැලකීමේ වැදගත්කම පිළිබඳව කදිම නිදසුනකි. ගුර්දිත් සිං (Gurdit Singh) ඉන්දියාවේ පන්ජාබ්හි ඉපදී සිංගප්පූරුවේ සේවය කළ ව්‍යවසායකයෙකි. ඉන්දියාවට ගිය සෑම අවස්ථාවකම දුප්පත්කම එරෙහිව මිනිසුන් පොර බදමින් සිටිනු දුටු ඔහු, ඔවුන්ට උදව් පිණිස යමක් කළ යුතු යැයි අදිටන්කර ගත්තේය. ඒ අනුව, කැනඩාවට සංක්‍රමණය වීමට කැමැත්තෙන් සිටි සික්වරුන්හට උදව් කිරීමට ඔහු එකඟ විය. මෙම සංක්‍රමණිකයන් පැසිෆික් සාගරය හරහා කැනඩාව වෙත ප්‍රවාහනය කිරීම සඳහා ඔහු විසින් කෝමගතා මරු නම් ජපන් වාෂ්ප නෞකාව කුලියට ගනු ලැබිණි. ඉන්දියාවේ පන්ජාබ්හි සිට පැමිණි සීක්වරු 340 ක්, මුස්ලිම්වරු 24 ක් සහ හින්දු ජාතිකයින් 12 ක් වූ ඉන්දීය මගීන් 376 දෙනෙකු රැගත් නෞකාව 1914 අප්‍රියෙල් 4 වන දින හොංකොං සිට පිටත් ව ඉන් මසකට පසු, 1914 මැයි 22 වන දින කැනඩාවේ බටහිර දෙසින් පිහිටි පළාතක් වන වැන්කුවර්හි බුරාර්ඩ් ඉන්ලෙට් වෙරළට ලඟා වුනි. එනමුදු, බොහෝ සුදු කැනේඩියානුවන් සුදු නොවන සංක්‍රමණිකයන්ට ඉතා සතුරු ලෙස වූයෙන් 1908 දී ඉන්දියානු සංක්‍රමණ වැළැක්වීම සඳහා කැනඩා ෆෙඩරල් රජය ඉදිරිපත් කල විධිවිධාන දෙකකි. පළමු විධිවිධානය වූයේ සියළුම සංක්‍රමණිකයන්ට කැනඩාවට පැමිණිය යුත්තේ ඔවුන්ගේ පුරවැසි රටෙන් අඛණ්ඩ ගමනකින් පමණක් බවයි. ඉන්දියාවේ සිට කැනඩාවට අඛණ්ඩ ගමනක් ගිය නැව් නොමැති බැවින් මෙම තහනම නිසා ඉන්දියානු සංක්‍රමණ අවහිර විය. දෙවන විධිවිධානය නම් ඉන්දියානු සංක්‍රමණිකයින් සතුව කැනඩාවට පැමිණීමේදී ඩොලර් 200 ක් තිබිය යුතුය යන්නයි. මෙය සුදු සම සහිත සංක්‍රමණිකයින්ට අවශ්‍ය ප්‍රමාණය මෙන් අට ගුණයකි. 1913 දී බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ නීතිඥයෙකු මෙම විධිවිධානවලට එරෙහිව කැනඩා උසාවියේදී සාර්ථකව තර්ක කළ අතර, එමඟින් කෝමගතා මරුහි සිටි මගීන්ට කැනඩාවට සංක්‍රමණය විය හැකි යැයි ඔවුන් විශ්වාස කළහ. ඉන්දියාවේ සියලුම ජනයා නිල වශයෙන් බ්‍රිතාන්‍ය පුරවැසියන් බවත් බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලයේ ඕනෑම තැනක ජීවත් විය හැකි බවත් මහා බ්‍රිතාන්‍යය ප්‍රකාශ කළ නමුදු, නැවත පැමිණෙන පදිංචිකරුවන් 20 දෙනෙකුට, නැවේ වෛද්‍යවරයාට සහ ඔහුගේ පවුලේ අයට පමණක් ඇතුළුවීමට අවසර දී ඉතිරි මගීන්වූ ප්‍රධාන වශයෙන් සීක් ජාතිකයින් 352 දෙනෙකුට ඇතුළුවීමට ඉඩදීම කැනඩා ෆෙඩරල් රජය විසින් ප්‍රතික්ෂේප කළේය. අධිකරණ නියෝගයට අනුව දෙමසකට පසු එනම් 1914 ජූලි 23 වන දින කැනේඩියානු ච්එම්සීඑස් රේන්බෝ (HMCS Rainbow) නෞකාව කෝමගතා මරු වැන්කුවර් වරායෙන් පිටත ජාත්‍යන්තර මුහුදට ගෙන ගියේය. 1914 සැප්තැම්බර් 26 වන දින කෝමගතා මරු නෞකාව නැවත ඉන්දියාව වෙත පැමිණියේය. ඒ වන විට, පළමුවන ලෝක යුද්ධයේ උණුසුම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ගිනියම් කර තිබුණි. එහෙයින්, මෙම නෞකාවේ මගීන් විප්ලවවාදීන් යැයි බ්‍රිතාන්‍ය බලධාරීන් සැක කළහ. බලධාරීන් සහ මගීන් අතර වූ ගැටුම් අතරතුර වෙඩි තැබීමෙන් නෞකාවේ මගීන් 16 දෙනෙකු ඇතුළු 22 දෙනෙකු මිය ගොස් මගීන් 200 කට වැඩි පිරිසක් සිරගත කරන ලදී. මේ සිදුවීම සම්බන්ධයෙන් ගුර්දිත් සිං වරදකරු ලෙස නම් කළ අතර, සැඟවී සිටි ඔහු අවසානයේ යටත්ව බන්ධනාගාර ගත විය. සිරෙන් නිදහස් වූ විට ගුර්දිත් සිං පසුව මොහාන්දාස් ගාන්ධි (Mohandas Gandhi) සමඟ ඉන්දියාවේ නිදහස වෙනුවෙන් කැප වී වැඩ කළේය. කැනේඩියානු ජාතිවාදී ඉන්දියානු සංක්‍රමණ විරෝධී නීතිවලට අභියෝග කිරීමට මෙම සිදුවීම ඉන්දියානුවන්ට පෙලඹීමක් ඇති කළ අතර, එක්සත් ජනපදයේ වෙසෙන ඉන්දියානුවන් දහස් ගණනක් නැවත ඉන්දියාවට පැමිණියේ බ්‍රිතාන්‍යය ඉන්දියාවෙන් නෙරපා හැරීම සඳහා ය. මේ සිදුවීම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ මිනී පෙට්ටියේ පළමු ඇණය ලෙස ඉතිහාසයේ සදහන්ය. "ඉතිහාසය නොදන්නා විට, අපගේ අතීත වැරදි ඉතා පහසුවෙන් පුනරාවර්තනය වේ" (When we don’t know our history, our past mistakes are too easily repeated) යන්න කැනඩාව ඉහලින්ම පිළිගෙන ඇත. එහෙයින්, සිය ඉතිහාසයේ මෙම අඳුරු කොටසක් රැගත් කෝමගතා මරු නෞකාවේ සිටි මගීන් ගෙන් සමාව අයැදීමේ යෝජනාවක් කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියා ව්‍යවස්ථාදායකය විසින් 2008 මැයි මාසයේදී සම්මත වූයේය. ඉන් දෙමසකට පසු, සීක් රැස්වීමකදීද එවකට කැනඩා අගමැති ස්ටීෆන් හාපර් (Stephen Harper) විසින් සමාව අයැද සිටියේය. ඉනඳු ඔබ්බට ගොස්, කෝමගතා මරු සිද්ධිය වී වසර 102 ක් වුව ගතවූ 2016 මැයි 18 වන දින, කැනඩා අගමැති ජස්ටින් ට්රුඩෝ (Justin Trudeau) විසින් පාර්ලිමේන්තුවේදීද ඔවුන්ගෙන් විධිමත් ලෙස සමාව ඉල්ලා සිටියේය. කැනඩාවේ වඩාත් ඉවසිලිවන්ත හා විවිධ වූ සමාජයක් බිහි කිරීම සඳහා ලබා ඇති ප්‍රගතිය ද මේ වන විට හඳුනා ගන්නට තිබේ. 2014 කෝමගතා මරු සිද්ධියේ 100 වැනි සංවත්සරයේදී කැනඩාවේ බහු සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කලේ සීක් ජාතිකයෙකි. වසර 102 කට පසු පාර්ලිමේන්තුවේ සමාව අයැද සිටින විට කැනඩාවේ ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු සීක් ඇමතිවරු සිව්දෙනෙකු සිටිනු ඇතැයි කවුරුත් නොසිතන්නට ඇත. සමාව ඉල්ලීමේ කොටසක් ලෙස කැනඩා ඉතිහාසයේ මෙම කොටස සැමරීමට සමරු මුද්දරයක් නිකුත් කිරීමට සහ දැනුවත් කිරීමට උපකාරී වන ස්මාරකයක්, කෞතුකාගාරයක්, පොත්, නාට්‍ය, වෙබ් අඩවි සැකසීමට අරමුදල් කැනඩා රජය විසින් ප්‍රතිපාදන ලෙස ලබාදෙන ලදී. මෙම ඓතිහාසික වැරැද්ද නිවැරදි කර ගැනීම වෙනුවෙන් ආසියානු උරුම මාසයට අදාළව (Asian Heritage Month) කැනඩා තැපැල් සේවය (Canada Post) විසින් මෙම සිදුවීමට වසර 100 ක් සපිරෙන 2014 මැයි 6 දින සමරු මුද්දරයක් එළිදක්වන ලදී. "මෙම මුද්දරය අපේ ඉතිහාසයේ වැදගත් නමුත් ඛේදජනක මොහොතක් සිහිපත් කරයි. මෙම ඛේදවාචකය සිහිපත් කිරීමෙන් කැනඩාව විවිධාකාර හා සාදරයෙන් පිළිගන්නා රටක් බවට පරිවර්තනය වී ඇති ආකාරය හෙළි වේ" යැයි ප්‍රවාහන අමාත්‍ය සහ කැනඩා පෝස්ට් වෙනුවෙන් වගකියනා ගරු ලීසා රයිට් (Lisa Raitt) මහත්මිය පැවසුවාය. "කැනඩා පෝස්ට්හි මුද්දර අපගේ ඉතිහාසයේ කථාන්දර කියයි. නමුත්, අප සැමරිය යුත්තේ අපගේ වීර සිදුවීම් පමණක් නොවේ. අපේ ජාතියද, එහි අතීතයේ අසාර්ථකත්වයන් විසින්ද අපව හැඩ ගස්වා ඇත. කෝමගතා මරු වැනි සිදුවීම් කැනේඩියානු ජාතිකයින්ට වඩාත් නිදහස් හා පිළිගැනීමේ සමාජයක් ගොඩනැගීම සඳහා ප්‍රමුඛතාවයක් ලබා දීමට දිරි ගැන්වූ අතර, අප අද වන විට විවිධත්වයට ගරු කරනවා පමණක් නොව, ඊට හොදින්ම අනුගත වී ඇත." යනුවෙන් කැනඩා තැපැල් සේවයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී දීපක් චොප්රා මහතා සමරු මුද්දරය නිකුත් කරමින් පැවසිය. මෙම ජාත්‍යන්තර මට්ටමේ මුද්දරයේ නැවෙහි සහ මුහුදු ගමනේ සංරක්ෂිත ඡායාරූප එකතුවක කලාත්මකව විදහා දැක්වීම මුද්දරයේ නිරූපිතය.මුද්දරය නිර්මාණය කර ඇත්තේ පැප්රිකා (Paprika) ආයතනයෙහි නිර්මාණ අධ්‍යක්ෂක ලුවී ගැග්නොන් (Louis Gagnon) විසින් වන අතර චිත්‍රණය මාර්ක් සමර්ස් (Mark Summers) ගෙනි. ඉතිහාසයේ වැරදි හඳුනා ගෙන ඒවා නිවැරදි කර ගැනීම සහ ඒවා යලි සිදු නොවීමට වග බලා ගැනීම දියුණු සමාජයක සංස්කෘතියක ලක්ෂණයකි. එවැනි සමාජයක, 'මුද්දරය' සංස්කෘතික මෙවලමක් වන්නේ නිතැතිණි.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com