01
June
2021
වර්ගවාදය යනු පුද්ගල ආකල්ප, සමාජ වටිනාකම් සහ ආයතනික භාවිතයන් පිළිබඳ සංකීර්ණ අන්තර් ක්‍රියාවක ප්‍රතිඑලයකි. එය පුද්ගලයන්ගේ සහ ආයතනවල ක්‍රියාවන් තුළින් ප්‍රකාශ විය හැකි අතර, විවිධාකාර ස්වරූපයන් ගනී (Racism is the result of a complex interplay of individual attitudes, social values, and institutional practices. It may be expressed in the actions of individuals and institutions, and takes a range of forms) මුලාශ්‍රය: Racism. No way කිසියම් ජාතියක් හෝ ජනවාර්ගිකත්වයක් අන් අයට වඩා පහත් හෝ උසස්යැයි විශ්වාස කිරීම; සමේ වර්ණය අනුව උස් පහත් ලෙස සැලකීම; හා වාර්ගික හා ජනවාර්ගික සමගියට එරෙහිවීම; ලෝකය විනාශ කිරීමේ පහසුම කටයුත්තයි. මාර්ටින් ලුතර් කිංග් හා නෙල්සන් මැන්ඩෙලා වැනි ශ්‍රේෂ්ඨයින් මහත් කැපවීමෙන් දිනාගත් ලෝකය, වරින්වර අළු යට ගිනි පුපුරු සේ මතුව ලෝකය දවාලයි. ස්පාඥ තැපැල් සේවය වන කොරියෝස් එස්පානා (Spain Postal Service - Correos España) විසින් 2021 මැයි 26 වන දින නිකුත් කරන ලද "සමානාත්මතා මුද්දර" (Equality Stamps) ආයතනික අතපසුවීමක පැහැදිලි නිදසුනකි. පිළිතුර විසින් ගැටළුව තීව්‍ර කල මෙම සංකීර්ණ මොහොත ගැන විමසිලිවත්ව කියවීමම වනාහි ජාතිවාදය හා වර්ගවාදය දෙපැත්ත කැපෙන අවියක් බව හොදින්ම වටහා ගැනීමකි. 2021 මැයි මාසයෙන් ආරම්භ වූ යුරෝපීය විවිධත්ව මාසයට (European Diversity month) සමගාමීව, 2020 මැයි 25 දින ඇමෙරිකා එක්සත් ජනපදයේ මිනියැපොලිස් (Minneapolis) හිදී ජෝර්ජ් ෆ්ලොයිඩ් (George Floyd) නම් අප්‍රිකානු ඇමරිකානු ජාතිකයා පොලිස් අත්අඩංගුවේදී ඝාතනයට ලක්වීමේ පළමු සංවත්සරය යෙදී තිබූ මෙම වසරේ මැයි 26 දින ස්පාඥ තැපැල් සේවය විසින් ජාතික SOS රේසිස්මෝ සම්මේලනය සමඟ එක්ව මෙම මුද්දර නිකුතුව ඉදිරිපත් කරන ලදී. ස්පාඥ රජය සතු ජාතික SOS රේසිස්මෝ සම්මේලනයේ ඉලක්කය වන්නේ “වාර්ගික අසමානතාව පිළිබඳ ආලෝකයක් බැබළවීම සහ විවිධත්වය, ඇතුළත් කිරීම් සහ සමාන අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීමයි.” මෙම මුද්දර "සමානාත්මතා මුද්දර" (Equality Stamps) නිකුතුව ලෙසින් හඳුන්වනු ලැබූ අතර, මුද්දර වල සිතුවම් කර තිබුනේ අපූර්ව පණිවිඩයකි. සමේ පැහැයේ විවිධත්වය සිහි ගන්වන ලෙස වර්ණ ගන්වන ලද මෙම මුද්දර නිකුතුවේ සුදුමැලි, තරමක් අඳුරු, අඳුරු සහ කළු වර්ණයෙන් යුත් මුද්දර 4ක් විය. මුද්දරය අඳුරු වන තරමට මිල අඩු වන මෙම මුද්දර වල වටිනාකම පිළිවෙලින් සුදුමැලි - යුරෝ 1.60, තරමක් අඳුරු - යුරෝ 1.50, දුඹුරු - යුරෝ 0.80 සහ කළු - යුරෝ 0.70 විය. මෙම මුද්දර සඳහා විශේෂිත ප්‍රවර්ධන වැඩසටහනක්ද ඔවුන් විසින් සංවිධානය කර තිබුණි. "ඉඩ නොදිය යුතු වේදනාකාරී හා අසාධාරණ යථාර්ථයක් පිළිබිඹු කිරීම" (a reflection of a painful and unfair reality that shouldn’t exist) යන අදහස පෙරදැරි කරගෙන, පුද්ගලයෙකුගේ වටිනාකමට කිසිදු වර්ණයක් නොතිබිය යුතුය (a person’s value shouldn’t have any colour) යන විශ්වාසය මත, වාර්ගික අසමානතාවයට එරෙහිව පණිවිඩයක් යවනු ඇත (send a message against racial inequality) යන බලාපොරොත්තුව සහිතව මෙම නිකුතුව සහ ඊට අදාල ප්‍රවර්ධනය සිදු කරන ලදී. මේ සඳහා සුප්‍රසිද්ධ ස්පාඥ හිප්-හොප් (hip-hop) සංගීත තරුව සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරික එල් චෝජන් (El Chojín) ගේ තත්පර 60 ක වීඩියෝවක් ඇතුළත් පණිවිඩයක්ද විය. (https://www.youtube.com/watch?v=Yq3dftc2q0k) පුද්ගලයෙකුගේ වටිනාකමට වර්ණයක් නොතිබිය යුතුය යන්න මෙම ප්‍රවර්ධන ක්‍රියාවලියේ මූලික හරය වුයේය. එනමුදු, ස්පාඥ තැපැල් සේවයේ මෙම අගනා සංකල්පිත මුද්දර නිකුතුව කෙරෙහි දැවැන්ත ප්‍රතිවිරෝධයක් මතුව, එය මුළු යුරෝපයම කතා කරනා මාතෘකාවක් බවට මේ වන විට පත්ව ඇත. සමේ පැහැය සුදු වන විට ඉහල මුද්දර ගාස්තුවක් සහ ක්‍රමයෙන් එය අඩු වීමේදී ක්‍රමික ගාස්තු අඩුවීමක් සහිතව මෙම මුද්දර එළිදැක්වීම මගින්, සුදු සැමට ඉහල වටිනාකමක් සහ කළු සැමට අඩු වටිනාකමක් ලබාදී, ජාතිවාදයේ වේදනාකාරී යථාර්ථය සහ කළු පහත්කම පිළිබඳ සංකල්පය සදාකාලිකව පවත්වා ගැනීමට උපකාරී වන බව සමාජ ක්‍රියාකාරීන්ගේ මතය විය. ස්පාඥ රාජ්‍යයේ දහස් ගණනක් දෙනා විඳිනා ජාතිවාදය හෙළා දැකීමට මේ මුද්දර නිකුතුවේ අදහස ඉතා තාර්කික දෘශ්‍යමාන ක්‍රමයක් ලෙස පෙනුනද, සමාජ සංවාදයේ මූලික හරය වුයේ "සමානාත්මතා මුද්දර", සටන් කිරීමට වඩා ජාතිවාදය පෝෂණය කිරීමට ඉවහල් වන බවයි. "වර්ණය, පුද්ගලයෙකුගේ ජීවිතයට අප විසින් තැබිය යුතු වටිනාකම තීරණය නොකළ යුතුය" යන අදහස ඔවුන්ගේ ප්‍රධාන සටන් පාඨය විය. අපගේ ජීවිතයේ සමාන වටිනාකම පෙන්වීම සඳහා සමේ වර්ණය මත පදනම්ව මිනිසුන්ගේ වටිනාකම පිළිබිඹු කිරීමට ඇති මෙම ජාති-විරෝධී මුද්දර අවසානයේදී පැහැදිලිවම වර්ගවාදී පණිවිඩයක් නිකුත් කර ඇති හෙයින් ඒවා විකිණීම වහාම නතර කරන ලෙස ඔවුහු තැපැල් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ. එහෙත්, ස්පාඥ තැපැල් සේවය මෙම අදහසට ප්‍රතිවිරුද්ධ අදහසක් සමාජයට ඉදිරිපත් කරමින් සිය ස්ථාවරය පැහැදිලි කරන ලදී. ඔවුනට අනුව, අඳුරු පැහැති මුද්දර සදහා තැපැල් ගාස්තුව අඩු කරණ ලද්දේ, එහි නිරන්තර භාවිතය දිරි ගැන්විමටය. මේ අනුව, සෑම තැපැල් කිරීමකටම සුදු මුද්දර වලට වඩා වැඩි කළු මුද්දර ප්‍රමාණයක් භාවිතා කිරීමට සිදුවේ. කළු මුද්දර යොදා ගන්නා සෑම ලිපියක් හෝ පාර්සලයක්ම වාර්ගික අසමානතාවයට එරෙහිව පණිවිඩයක් සංකේතවත් කරනු ඇතැයි ස්පාඥ තැපැල් බලධාරීහු පවසති. එනමුදු, ගොඩ නැගුණු මහත් වූ මහජන විරෝධය හමුවේ, ස්පාඥ තැපැල් සේවය මෙම මුද්දර අලෙවිය 2021 මැයි 28 දින උදෑසන වන විට නතර කළ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන ලදී. ස්පාඥ තැපැල් සේවය මෙම මත භේදාත්මක මුද්දර නිකුතු කරන ලද්දේ සැබවින්ම යහපත් චේතනාවක් සහිතව බව සිතීමට ඔවුන් විසින් පසුගිය ජුනි මස නිකුත් කල සමලිංගික, ද්වීලිංගික, සංක්‍රාන්ති සහ ප්‍රශ්න සහගත ලිංගික (Lesbian, Gay, Bisexual, Transgender, Queer or Questioning - LGBTQ) සමරු මුද්දරය කදිම නිදසුනකි. මෙහිදී ඔවුහු බෙදාහැරීමේ වෑන් රථ සහ තැපැල් පෙට්ටිද දේදුන්න වර්ණවලින් පින්තාරු කළ. මෙමඟින්, සමාජ ගැටළු පිළිබඳව පොදු ජනතාව දැනුවත් කිරීමේ සමාජ මෙහෙවර, මුද්දර සතු සන්නිවේදන සහ මහජන සම්බන්ධතා ශක්තිය ඔවුහු ලොවටම පෙන්වා දුන්හ. මෙවැනි තීරණාත්මක අදහස් සමරු මුද්දර මගින් ප්‍රජාවට සන්නිවේදනය කිරීමට ස්පාඥ තැපෑල ගත් මෙම අභියෝගාත්මක තීරණ අතිශය පෙරටුගාමීය. එනමුදු, ජාතිවාදය හා වර්ගවාදය යනු අතිශය සියුම් ප්‍රශ්න බැවින්, ඒවාට විසඳුම් ලබා දීමේදී ඉතා සියුම් සහ ප්‍රවේශම්කාරී විය යුතුමය. එසේ නොවන කල්හි, විසඳුමද ගැටලුවේම කොටසක්වීම වැළක්විය නොහැක. විශේෂ ස්තුතිය: අනුර ප්‍රසාද් මහතා
© kiyawanamuddara 2020 | Solution by 4meli.com