13
November
2020
2020 නොවැම්බර් වන විට, ඇමරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාව පසුපසින් ලොව තුන්වන වැඩිම COVID-19 රෝගීන් වාර්තා වී ඇත්තේ බ්‍රසීලයෙනි. අද වන විට ආසාදිතයින් 5,749,007ක්, මරණ163,406 ක් සමඟ බ්‍රසීලය ඉතා අවධානම් තත්‍වයක පසුවෙයි.
බ්‍රසීල තැපැල් අධිකාරිය (Brazilian Post - Correios), ලෝක සෞඛ්‍යය සංවිධානය (World Health Organization - WHO) හා පෑන් ඇමරිකානු සෞඛ්‍යය සංවිධානය (Pan American Health Organization - PAHO) සමඟ එක්ව පශ්චාත්-කොවිඩ් වසංගතයට එරෙහි සටන පිළිබඳව සමාජ පණිවිඩ ප්‍රවර්ධනය සඳහා කැප කරන ලද නව සමරු මුද්දර 6ක් 2020 ජූලි 08 වන දින නිකුත් කරමින් කොවිඩ් -19 වසංගතයට එරෙහි සිය තැපැල් බලමුළුව ශක්තිමත් කිරීමට එක්විය.
COVID-19 පිළිබඳ දැනුවත් කිරීම සහ සටන් කිරීම සඳහා වැදගත් පියවරක් වූ මෙම මුද්දර නිකුතුවේ මුඛ්‍ය පරමාර්ථය සෞඛ්‍ය සම්පන්නව සිටීම සඳහා නිර්දේශයන් ඉස්මතු කිරීමයි. එනම්, අත් සහ පුද්ගලික අයිතම සනීපාරක්ෂාව (ජංගම දුරකථන වැනි); හැකිතාක් නිවසේ රැඳී සිටීම; සෙනඟ ගැවසෙන ස්ථාන හැකිතාක් මඟ හැරීම සහ ශාරීරික දුරස්ථ භාවය රඳවා ගැනීම; නිවාස/කාමර හොඳින් වාතාශ්‍රයට විවෘතව තබා ගැනීම සහ පුද්ගලික අයිතම බෙදා නොගැනීම (පිඟන්/කෝප්ප වැනි) වැනි මූලික පියවරයන් ගැන අපූර්ව කියවීමක් ලබාදීමයි.
බ්‍රසීල චිත්‍ර ශිල්පී ඇලන් මාගල්හීස් (Alan Magalhães) ගේ සිතුවමින් හැඩවූ මෙම මුද්දර, ලෝක සිතියම සහිත පසුබිමක; නිල්, කහ සහ කොළ පැහැති බ්‍රසීල ධජයේ වර්ණ තුලින් සිය ජාතික අනන්‍යතාව ඉස්මතු කර තිබේ.
පශ්චාත් කොවිඩ් වසංගත කාල සීමාව තුළ විද්‍යාවේ හා තාක්‍ෂණයේ වැදගත්කමද මෙම මුද්දර සිතුවම් මඟින් මතුකර ඇත. ඒ, නව වෛරසයෙන් මිනිසුන්ට තමන්ව ආරක්ෂා කර ගැනීමට ස්වාභාවික ප්‍රතිශක්තියක් නොමැති හෙයින්, COVID-19 පාලනය සඳහා එන්නතක් නිපදවීමටත්, රෝගීන්ට ප්‍රතිකාර කිරීම සහ ජීවිත බේරා ගැනීම සඳහා ක්‍රියාකාරී සහ ප්‍රතිඑලදායක ඔෂධ හඳුනා ගැනීම හෝ සංවර්ධනය කිරීම සඳහාත්, විද්‍යාත්මක පර්යේෂණ අත්‍යවශ්‍ය වන හෙයිනි.
රූපවල ඇති තවත් විශේෂත්වයක් නම්, සෞඛ්‍ය වෘත්තිකයින්ගේ සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවාවන්හි අඛණ්ඩ පැවැත්ම, සනීපාරක්ෂාව, ආරක්ෂාව, ආහාර සහ නිෂ්පාදන බෙදාහැරීම මතුකිරීමයි. එයින් බොහෝ වෘත්තිකයන් දිනපතා කරන කාර්යයන් හඳුනා ගැනීම සහ ඔවුන්ගේ ගෞරවනීය සේවය අපගේ සමාජයට අත්‍යාවශ්‍ය බව ඉස්මතු කෙරේ. එය එකිනෙකා කෙරෙහි කැපවීම සහ සමාජ එකමුතුවේ වැදගත්කම අපට පසක් කරවයි.
මීට අමතරව, කොවිඩ් -19 ට එරෙහි සටනේදී; දැනුවත්ව, වගකීමෙන් සහාය දැක්වීමේ අවශ්‍යතාව මෙම මුද්දර මඟින් අවධානයට ලක් කරයි. කොවිඩ් -19 කාලය තුළ මාධ්‍ය සාක්ෂරතාවයේ වැදගත්කම (The Importance of Media Literacy) මෙහි ප්‍රධාන පණිවිඩයකි. සෑම කෙනෙකුම ආරක්ෂිත වන තුරු, කිසිවෙකු මෙම වෛරසයෙන් ආරක්ෂා නොවන බැවින්, වැරදි හෝ අසත්‍ය තොරතුරු හා කටකතා මඟින් විශාල හානියක් සමාජයට සිදුවිය හැක. වත්මනෙහි එය තොරතුරු වසංගතයක් (an information epidemic) ලෙසින්ද හැඳින්වේ. එවැනි දුස් තොරතුරු (fake news) ප්‍රජාවගේ මානසික සෞඛ්‍යය බිඳ වට්ටන අතර, එම පසුබිම කායික රෝග උත්සන්න වීමටද හේතු වේ. එබැවින් නිවැරදි තොරතුරු සඳහා යොමුවීම අත්‍යාවශ්‍යම කරුණකි.
PAHO සමඟ එක්ව COVID-19 පිළිබඳ තොරතුරු මුද්දර මඟින් ඉතා අපූරුවට ජනගත කිරීම පිළිබදව සන්නිවේදකයින් පවසනුයේ එය රෝගය පිළිබඳව දැනුවත් කිරීම සහ සටන් කිරීම සඳහා ඉතා වැදගත් පියවරක් බවයි.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com