01
September
2021
ජීවිතය අභියෝගවලින් පිරී ඇති අතර සෑම දිනකම ඔබට නව අභියෝගයන්ට මුහුණ දීමට සිදුවේ. ඔබ අභියෝගයන්ට නිර්මාණාත්මකව මුහුණ දීමට පටන් ගත් විට, ඔබේ මනස වඩාත් කාර්යක්‍ෂමව ක්‍රියාකිරීමට පටන් ගනී. දැනට පිළිතුරු නොමැති අභියෝග සඳහා අලුත් විසදුම් ලෝකයට අවැසිය .
නිර්මාණශීලි චින්තකයින් ඕනෑම ගැටළුවක් විසඳන සෑමවිටම කොටුවෙන් පිටත සිතීමේ සංකල්පය (Thinking outside the box) යොදා ගනී.
කොටුවෙන් පිටත සිතීම යනු වෙනස් ආකාරයකින්, සාම්ප්‍රදායිකව හෝ නව දෘෂ්ඨි කෝණයකින් සිතීමයි. මෙම වාක්‍ය ඛණ්ඩය 1970 සහ 1980 දශකවල කළමනාකරණ උපදේශකයින්ගෙන් උපුටා ගත් බව විශ්වාස කෙරේ. කොටුව යනු රාමුවක්, ගැටළුවක් ගැන සිතීමේ සාම්ප්‍රදායික ක්‍රමයයි. කොටුවෙන් පිටත සිතීම කිසි විටෙක පහසු නැත. එය හුදෙක් මානසික දීප්තියේ පිළිබිඹුවක් ද නොවේ. ඔබගේ මානසික සුවපහසුව කලාපයෙන් ඉවත්ව පිටතින් නොදන්නා ලෝකයේ විසඳුම් ගවේෂණය කිරීම සඳහා මානසික ක්‍රියාශීලිත්වය, නිර්භීතකම සහ නිර්මාණශීලිත්වය අවශ්‍ය වේ.
කොවිඩ් වසංගතයෙන් පසු ලෝකය අලුත් පිම්මකින් ඉදිරියට යා යුතුය. එය නව සාමාන්‍යකරණය (new normal) ලෙසින් හඳුන්වනු ලැබේ. එනම් අර්බුදයක ආරම්භයට පෙර පැවති තත්වයට වඩා හාත්පසින්ම වෙනස් සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික සහ පාරිසරික වෙනස්කම් සහ අභියෝග පැවතීමයි. කොවිඩ් වසංගතයට පෙර ගැටළු සදහා රාමුවෙන් නැතහොත් කොටුවෙන් පිට සිතීමේ සම්ප්‍රදායික සංකල්පය අලුත් ප්‍රවේශයකින් ලෝකය හඳුනා ගෙන ඇත. එනම් රාමුවෙන් පිට නොව, රාමුවක් නොමැති බව සිතීමයි (Don't think outside the the box, think like there is no box).
ජීවමාන මතකයේ, කිසිදු වසංගතයක් කොවිඩ් 19 තරම් විශාල, වේගවත් හා ගෝලීය වශයෙන් වෛද්‍ය විද්‍යාත්මක, සමාජීය හා දේශපාලන ප්‍රතිචාර ජනනය කර නොමැති අතර, එය 2020 ජනවාරි 1 වන දින ලෝක සෞඛ්ය සංවිධානය විසින් පිළිගත් ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් බවට පත්විය.
කිසි දිනෙක අප කවුරුත් ප්‍රාර්ථනා නොකළ දෙයක් සිදුවෙමින් පවතී. මතක ඇති ඉතිහාසය තුල අප සියළුදෙනා අතර සබඳතාවන් මෙතරම් දුරස් කර නොමැත. මිනිසුන්ව මෙතරම් හුදකලා කර නොමැත.
අපේ අනාගතය අසාමාන්‍ය ලෙස අවිනිශ්චිත වී ඇත. නමුත් අපිට ඊට ගොදුරු විය නොහැක.
මේ වෙනුවෙන් අපි කුමක් හෝ කල යුතු යුතු නොවේද ?
ලෝකය වෙනස් වන බව අපට පාලනය කළ නොහැකි නමුත් අපගේ ආකල්පය සහ ඉදිරි දර්ශනය පාලනය කළ හැකිය. නැතහොත් නව හා ආකර්ෂණීය අවස්ථාවන් සෙවීමට බලවත් විය හැකිය.
ලෝකයට සුවය ප්‍රාර්ථනා කලයුතු හොදම කාලය මෙයයි. පීඩාවට පත්වූවන්ට, කායික සහ මානසික සෞඛ්‍යය දුර්වල වූවන්ට, සරණක් විය යුතු කාලයයි. අප වෙනුවෙන් වෙහෙසෙන්නන්ට, ආදරය, ගෞරවය හා ප්‍රණාමය දැක්විය යුතු කාලයයි. ධෛර්යයවන්ත බව, කැපවීම අගය කල යුතු කාලයයි. ලෝකයේ කොතැනක සිටියත්, සියළු ලෝ වැසියන්ට අපට තවදුරටත් උපකාර කළ හැකි කාලයයි.
මෙම පුර්ව පශ්චාත් කොරෝනා සමයේදී, නිර්මාණශීලීවීමට සහ අනාගතයට ලිවීමට ඔබට ආරාධනා කෙරෙයි. අකුරු, සජීවීව සෑම දෙනාටම වේදිකාව විවර කර දෙන අතර, බලාපොරොත්තුව, අධ්‍යාපනය, ආදරය, අගය කිරීම, ගෞරවය, ස්තූතිය, සැනසීම සහ සහයෝගයේ පණිවිඩය සහිත ලිපි, තැපැල් පත් හුවමාරු කර ගන්නා ලෙස ලෝකයෙන්ම ඉල්ලා සිටී.
ලිවීම යනු ආතතියෙන් පෙළෙන කාලයකදී ඔබට කළ හැකි වඩාත්ම ප්‍රයෝජනවත් කටයුත්තකි. මෙවන් ගෝලීය වසංගතයකට වඩා, ලිවීමට වැඩි ඉඩක් ලැබෙන කාලය කුමක්ද? එයින් ඔබේ ලේඛන කුසලතා වැඩි වර්ධනය කරගැනීමට හැකිවන අතරම, සමාජ දුරස්ථභාවය තිබියදීත්, නව මිතුරන් ඇති කර ගැනීමට කදිම අවස්ථාවක් සළසයි.
මෙම වසංගත සමය ඔබට දැනුනේ කෙසේද? ඉතිහාසයේ ඔබේ කොටස ඔබ ලියන්නේ කෙසේද? කාට හෝ එය දැනගැනීමට, ලියන්න. පෑනකට, කඩදාසියකට, ඔබේ සිතුවිලි නිදහසේ ගලා යාමට ඉඩ සලසාලසන්න. අත් අකුරින් ලියූ ලිපියක් කියවීම චිත්තරූප මවා ගැනීමකි; ඒකාකාරී භාවයෙන් අත් මිදීමකි. හුදකලාව සිටින අයට, වචන; සිය ආත්මයන් ඔසවා තබයි; මතකයන් අවදි කරවයි; හැඟීම් පුබුදුවාලයි. එය කෙටි පණිවිඩයකට හෝ ඉක්මන් ඇමතුමකට වඩා වඩා වැඩි යමකි. එය, සැබෑ ස්පර්ශය සහ සැනසිල්ල ගෙන දෙයි.
ඉතිහාසය යනු තොරතුරු වල එකතුවකි. සුරවිරු කම්, මෝඩකම්, පුරසාරම්, ඛේදවාචකයන් සහ අපට වැරදුන තැන් අපගේ ඉතිහාසය වනු ඇත. මේ අර්බුදයේදී අපි කටයුතු කල අන්දම අදට පෞද්ගලික සටහනක් වුවද, අනාගතයේදී වටිනා තොරතුරැ මූලයක් විය හැකිය. අනාගතයේදී එවැනි ලිපි ඓතිහාසික සටහන් වනු ඇත. අපි දැනටමත් සෑහෙන කලක සිට මේ අර්බුදයේ වෙලී සිටිමු. එනම්, අපි දැනටමත් වසංගත ඉතිහාසයේ කොටස්කරුවන්ය.
ලෝකයේ බොහෝ දියුණු රටවල් මේ අර්බුදයේදී, අත් අකුරැන් ලියනා ලිපි, සුබපැතුම් හා තැපැල් සේවාවේ හ්ර්දයන්ගම බව පිළිබද විශ්වාසය තබා ඇත. ඒවා ඉතා සරල මහජන සම්බන්ධතා උපක්‍රම වුවද කිසිදින අමතක නොවන මතකයන්ය.
නිර්මාණශීලී වන්න - නවෝත්පාදනයන් උත්තේජනය කිරීම සඳහා ඔබතුල ඔබේ සංවිධානය තුළ වඩා හොඳ කියවීමේ, හැදෑරීමේ සහ සාකච්ජා කිරීමේ සංස්කෘතියක් ඇති කරන්න. නිර්මාණාත්මක චින්තනය සඳහා රාමුවෙන් පිට සිතීමේ සංකල්පය (Thinking outside the box) අලුත් මානයකට රැගෙන ගොස් රාමුවෙන් පිට නොව රාමුවක් නොමැති බව සිතන්න (Don't think outside the the box, think like there is no box).
ඉතින් තවත් ප්‍රමාද නොවන්න. ඔබ වෙනුවෙන් ලියන්න. සෙස්සන් වෙනුවෙන් ලියන්න. සොඳුරු සිතිවිල්ලක්, ධෛර්යවන්තකම ලබාදෙන සටහනක්, ආශීර්වාද ප්‍රාර්ථනයක් ලියන්න. මෙවන් ගෝලීය අර්බුදයකදී ශක්තිය, ධෛර්යය සහ ආදරය යන තේමාවන් මත ඔබගේ ආශිර්වාදය ලෝකයට පතුරවන්න. පවත්නා අර්බුදය තුළ, පීඩා විඳින සියල්ලන්ටම මෙම ප්‍රවේශ සහ පණිවිඩ අදාළ කරවන්න. ඔබගේ ලිපිය, සුභ පැතුම යමෙකුගේ දවස දීප්තිමත් කරනු ඇත.
ඔබටත් අපගේ තැපැල් පතක් ලැබුනානම් ඒ ගැන අපට කියන්න, ඔබගේ අදහස් අප සමඟ බොදා ගන්න.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com