08
August
2026
ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනයක් වන දකුණු ආසියානු කලාපයේ ප්‍රථම ක්ෂේත්‍ර සෞඛ්‍ය ඒකකය ලෙස 1926 වසරේදී ආරම්භ වූ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (National Institute of Health Service – NIHS) සිය අභිමානවත් 100 වැනි සංවත්සරය 2026 ජූනි 01 වැනි දින සනිටුහන් කරනු ලැබුවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) 20 වැනි සංවත්සරය (1948-1968) වෙනුවෙන් 1968 අප්‍රේල් 7 වැනිදා නිකුත් කරන ලද වටිනාකම ශත 50 ක් වූ සමරු මුද්දරය ද ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝක මහජන සෞඛ්‍ය ඉතිහාසයේ ද සුවිශේෂී සන්ධිස්ථානයක් නිරූපණය කරනවා. මුද්දරයේ රූපය සහ එහි ඇති ලේඛන දෙස බැලීමේදී අපට පැහැදිලි වන කරුණු කීපයක් තියෙනවා. මුද්දරයේ ඉහළින්ම සිංහලෙන් "ස්වස්ථතායතනය" ලෙසත්, ඉංග්‍රීසියෙන් "Institute of Hygiene" ලෙසත් සඳහන් වෙනවා. කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය 1979 දී වර්තමාන "ජාතික සෞඛ්‍ය විද්‍යායතනය" නමින් ප්‍රතිසංවිධානය වීමට පෙර හඳුන්වනු ලැබුවේ "ස්වස්ථතායතනය" (Institute of Hygiene) යන නමින්.
මුද්දරයේ වම්පස ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල ලාංඡනය සමඟ "1948-1968" කාලසීමාව එහි 20 වැනි සංවත්සරය නිමිත්තෙන් මෙය නිකුත් කළ බව පෙන්වා දෙනවා. ආසියාවේ ප්‍රථම සෞඛ්‍ය ඒකකය (Health Unit) ලෙස 1926 දී කළුතරින් ඇරඹි මෙම නිවාරණ සෞඛ්‍ය ක්‍රමවේදය, ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළිගත් අතිශය සාර්ථක ආදර්ශමත් ආකෘතියක් වුණා. ගෝලීය වශයෙන් මහජන සෞඛ්‍යය නංවාලීමට ලංකාවෙන් දුන් දායකත්වය ඇගයීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංවත්සර මුද්දරයට මෙම ස්වස්ථතායතන ගොඩනැගිල්ලේ රූපයම යොදා ගැනීම සැබවින්ම සමස්ත ජාතියටම අභිමානයක්.
මීට වසර 58කට පෙර 1968 දී නිකුත් වූ යථෝක්ත මුද්දරය පිළිබඳ මතකය අවදි කිරීම, කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ ජ්‍යාතන්තර කිර්තිය තවදුරටත් අර්ථවත් කිරීමට ලැබුණු කදිම සාක්ෂියක්. මෙම මුද්දරයෙන්, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා ලෝක සෞඛ්‍ය සංවිධානය දැක්වූ සුවිශේෂී ඇගයීම සහ අඛණ්ඩ දායකත්වය මනාව පිළිබිඹු වෙනවා.
සියවසක අභිමානවත් ගමන් මඟක් සමරන මේ මොහොතේ, වටිනාකම රු. 70.00 ක නව සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් 2026 ජූලි 01 වැනි දින නිකුත් කරනු ලැබූ අතර එහි සිතුවම් කර තිබුනේ ද යථෝක්ත ගොඩනැගිල්ලමයි. මෙහි මුල් දින කවරයේ වම්පස කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ සියවසක ඓතිහාසික පරිණාමය සහ විකාශනය විදහා දක්වන ප්‍රධාන ගොඩනැගිලි හතරක් රූපණය වෙනවා. ඒවා නම්:
1926 ගොඩනැගිල්ල (සමාරම්භක මූලස්ථානය)
1934 ගොඩනැගිල්ල (මැලේරියා මර්ධන සහ ව්‍යාප්ත වීමේ යුගය)
1966 ගොඩනැගිල්ල (ස්වස්ථතායතන යුගය)
1979 ගොඩනැගිල්ල (ජාතික සෞඛ්‍ය විද්‍යායතනය යුගය)
මෙම ගොඩනැගිලි හතරෙන් නිරූපණය වන්නේ සරල නිවසක (1926) සිට, වසංගත මර්ධන කාර්යාලයක් (1934), ඉන්පසු කලාපීය පුහුණු මධ්‍යස්ථානයක් (1966) සහ අවසානයේ සමස්ත ලංකාවටම බලපාන ජාතික මට්ටමේ විද්‍යායතනයක් (1979) දක්වා පරිණාමය වූ ගෘහ නිර්මාණ ශිල්පීය සහ ආයතනික ඉතිහාසය යි.
ගොඩනැගිලි සහ භෞතික සම්පත්වලට වඩා මහජන සෞඛ්‍යයේ සැබෑ ශක්තිය වන්නේ අඛණ්ඩ කැපවීමෙන් හා එකමුතුවෙන් ජනතා සුවසෙත උදෙසා ක්‍රියාකරන විවිධ තලවල මානව සම්පත යි. ප්‍රජා සුවසෙත උදෙසා එකා මෙන් පෙළගැසුණු නිවැරදි නායකත්වය, දැක්ම සහ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන්නට කැපවූ එහි මානව බලඇණිය ද මෙම මුද්දරය මගින් නිරුපිත යි.
කළුතර සෞඛ්‍ය ඒකකය ආරම්භ කිරීමට මුදල් සහ උපදේශන දායකත්වය දුන්නේ ඇමරිකාවේ රොක්ෆෙලර් පදනම (Rockefeller Foundation) යි. එහි ජාත්‍යන්තර සෞඛ්‍ය අංශයේ මහජන සෞඛ්‍ය වෛද්‍යවරයෙකු වන වෛද්‍ය විලියම් පිකාඩ් ජැකොක්ස් (Dr. William Picard Jacocks) සහ වෛද්‍ය සින්නතම්බි එෆ්. චෙල්ලප්පා (Dr. Sinnatamby F. Chellappah) මෙම කටයුත්තේ පුරෝගාමීන් වුනා. වෛද්‍ය ජැකොක්ස් (1877–1965) යටත් විජිත ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය පද්ධති ස්ථාපිත කිරීම, කොකු පණුවන් තුරන් කිරීමේ ප්‍රයත්නයන් සඳහා නායකත්වය දීම, මහජන සෞඛ්‍ය හෙද සහ වින්නඹු මාතාවන් පුහුණු වැඩසටහන් සංවර්ධනය, සහ ස්වස්ථතායතනය ආරම්භයටත් බෙහෙවින් දායක වූවා. වෛද්‍ය සින්නතම්බි වේලායුධම් චෙල්ලප්පා (එස්. එෆ්. චෙල්ලප්පා) යනු වෛද්‍ය ජැකොක්ස් සමඟ එක්ව ලංකාවේ විප්ලවීය සෞඛ්‍ය ඒකක ක්‍රමය (Health Unit System) ඒකාබද්ධව නිර්මාණය කළ පුරෝගාමී ලාංකික මහජන සෞඛ්‍ය වෛද්‍යවරයා යි. ඔහු එහි ප්‍රථම ප්‍රධාන වෛද්‍ය නිලධාරියා ලෙස කටයුතු කළ අතර පසුව වෛද්‍ය හා සනීපාරක්ෂක සේවා අධ්‍යක්ෂවරයා බවට පත් වුනා."ඔබේ ප්‍රදේශය හඳුනාගන්න, ඔබේ ජනතාව හඳුනාගන්න" යනු ඔහුගේ ප්‍රසිද්ධ මහජන සෞඛ්‍ය ආදර්ශ පාඨය වුනා.
මෙම සුවිශේෂී මුද්දර සහ මුල්දින කවර මඟින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියවසක ඓතිහාසික පරිණාමය මැනවින් විදහා දක්වනවා. එමෙන්ම ඒවා ශ්‍රී ලාංකීය වෛද්‍ය මුද්දර විද්‍යාව (Medical Philately) පෝෂණය කරමින්, මෙරට ප්‍රජා සෞඛ්‍ය උරුමය සහ ජාත්‍යන්තර සබඳතා අනාගත පරපුර උදෙසා දෘශ්‍යමාන ලෙස ලේඛනගත කිරීමට ලබාදෙන දායකත්වය අතිමහත්.
NIHS හි අභිමානවත් සංවත්සරික වැඩසටහන් මාලාවට සමගාමීව පැවැත් වූ ශත සංවත්සර අධ්‍යාපනික ප්‍රදර්ශනය අතරතුර දී මුද්දරයෙන් කියවෙන සෞඛ්‍ය වංශකථාව "මෙඩිකල් ෆිලටලි" ප්‍රවේශය ප්‍රථම වරට ජනගත කෙරුනා.
මුද්දරයේ දෘශ්‍ය අලංකාරයට එහා ගිය සෞඛ්‍ය සන්නිවේදන ඉතිහාසය කියවන්න ඔබත් අප හා එක්වෙන්න.
-------------------------------------------
Celebrating 100 Years of Public Health Excellence!
Centenary of the National Institute of Health Sciences (NIHS) Kalutara: 1926–2026
Established in 1926 as South Asia’s very first field health unit, the NIHS Kalutara proudly celebrated its 100th anniversary on June 1, 2026!
To mark this incredible century of service, a new Rs. 70.00 commemorative stamp and First Day Cover were issued on July 1, 2026. The artwork highlights the architectural and institutional evolution of the institute across four key eras:
1926: Founding Headquarters (A simple house)
1934: Epidemic Control Office (Malaria Era)
1966: Regional Training Center (Healthcare Era)
1979: National Institute of Health Sciences Era
This isn't the first time NIHS's global legacy was recognized in the postal history. Back on April 7, 1968, a 50-cent stamp was issued for the World Health Organization’s (WHO) 20th anniversary featuring the Kalutara center—then known as the "Institute of Hygiene." WHO adapted Sri Lanka's pioneering Health Unit Model as a global gold standard for preventive healthcare, putting Sri Lanka on the world map for community medicine.
The first day cover of the Centenary stamp honors the visionaries behind this milestone such as the pioneers like Dr. William Picard Jacocks (Rockefeller Foundation) and Dr. Sinnatamby F. Chellappah, the first Chief Medical Officer whose famous motto remains legendary Know your area, know your people." Beyond physical buildings, the stamp also recognizes the true strength of NIHS which has always been its dedicated healthcare workers serving communities nationwide.
Medical Philately, first introduced at the NIHS Centennial Educational Exhibition, the stamp collection documents our rich public health heritage and international partnerships for generations to come.
Join us in celebrating a century of saving lives, building healthier communities, and making philatelic history!
© kiyawanamuddara 2020 | Solution by 4meli.com