09
September
2025
පුවත්පත් ඉතා සීග්‍රයෙන් ඈත්වෙමින් යන සමාජයක සහ කාලයක සාහිත්‍ය අතිරේකයක් පටන් ගැනීමම ඉතා අභියෝගාත්මක කටයුත්තකි. ඒ සඳහා දිරිමත් වූ "අනිද්දා" පුවත්පතේ කර්තෘ මණ්ඩලයට සහ "දේදුන්න" අතිරේකයේ සංස්කාරකවරුන්ට අපගේ ගෞරවය පළමු කොටම පිරිනමමු.
2025 සැප්තැම්බර් 05 වැනිදා නිකුත් වූ අතිරේකයේ පළමු කලාපයේ කසුන් සමරතුංග සහ ළහිරු කිතලගම විසින් රචිත සංස්කාරක සටහන පදනම් කරගෙන සමරු මුද්දර දෘශ්‍ය මූලාශ්‍ර ලෙස භාවිත කරමින් පුවත්පත කියවීමේ දිගුවක් ලෙස මුද්දර කියවීම පිළිබඳ සංක්ෂිප්ත විවරණයක් මෙසේ පෙලගස්වන්නෙමු.
ලතින් උපුටා දැක්වීමක් වන "කලාව දිගුයි, ජීවිතය කෙටියි" (Art is long, life is short) යන වාක්‍ය ඛණ්ඩය පුරාණ ග්‍රීක වෛද්‍ය හිපොක්‍රටීස් වෛද්‍ය ග්‍රන්ථයක සඳහන් කළේය. මෙම වාක්‍ය ඛණ්ඩයේ සැබෑ අර්ථය වඩාත් සරලව දැක්විය හැක්කේ "කලාව හෝ කලාත්මක බව කලාකරුවාගේ ජීවිත කාලයට වඩා දිගු කාලයක් පවතී" යනුවෙනි. "දේදුන්න" සංස්කාරක සටහන "කලාව දිගුයි, ජීවිතය කෙටියි" යන ප්‍රස්තුතය සමඟ අද්විතීය නිර්මාපක ජෝර්ජ් කීට්ගේ සිතුවමක් යොදා ඇති බැවින් අපි සංස්කාරක සටහන පදනම් කරගෙන ජෝර්ජ් කීට් කියවමු.
යථෝක්ත සටහනට පාදකවෙන සිතුවම නයිකා සහ ඇගේ පෙම්වතා ("Nayika and the Lover") ලෙස නම්කර ඇත. මෙම නිර්මාණය කීට්ගේ යුරෝපීය නූතනවාදී ශෛලීන්, ශ්‍රී ලාංකික ජීවිතයෙන් සහ හින්දු මිථ්‍යා කථා වලින් උපුටා ගත් තේමාවන් සමඟ අද්විතීය ලෙස සමිශ්‍ර කිරීමට ප්‍රධාන උදාහරණයකි. කීට්ගේ කෘති බොහෝ විට දේශීය භූ දර්ශනය, ජනතාව, හින්දු සහ බෞද්ධ මිථ්‍යා කථා කෙරෙහි අවධානය යොමු කර ඇත. එමෙන්ම ඔහු '43 කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙකු වූ අතර, එම කණ්ඩායම ද නූතන යුරෝපීය කලාත්මක ප්‍රවණතා ශ්‍රී ලාංකික සංස්කෘතිය සමඟ ඒකාබද්ධ කිරීම අරමුණු කර පිහිටුවා තිබුණි.
ජෝර්ජ් කීට්ගේ සිතුවමින් හැඩවූ පූජ්‍ය තෙල්වත්තේ අමරවංශ හිමියන්ගේ අනුශාසනා සහ විහාරයේ ප්‍රධාන භාරකරු වූ සුප්‍රකට දානපතියකු හා කලා අනුග්‍රාහකයකු වු හැරල්ඩ් පීරිස් මහතාගේ ආරාධනයකට අනුව ජෝර්ජ් කීටි විසින් ගෝතමී විහාරගෙයි පිටත බිත්තියේ බුද්ධ චරිතය නිරූපිත සිතුවම් නිර්මාණය කෙරුණි. බොරැල්ල ගෝතමී විහාරයේ මෙම සිතුවම් ඇසුරින් අගනා සමරු මුද්දර හතරක් වෙසක් සමරුව නිමිති කොට 1983 මැයි 13 වන දින නිකුත් කර තිබේ. විහාරගෙයෙහි සාම්ප්‍රදායක පුන්කලස් සහ මල් සැරසිලි සිතුවම් කරන ලද්දේ මංජු ශ්‍රී මහතා විසිනි. එතුමන්ගේ නාමයට උපහාර පිණිස සමරු මුද්දරයක් 1990 මැයි 22 වන දින නිකුත් කර ඇත.
හැරල්ඩ් පීරිස් මහතා විසින් ඔහුගේ මිත්තණියට පිං පිණිස ගෝතමී විහාරය විහාරය ඉඳි කරවිය. එතුමිය ශ්‍රීමත් ජේම්ස් පීරිස්ගේද මෑණියන් වූ ඇපලෝනියා ද සොයිසා පීරිස් මැතිණියයි. ශ්‍රීමත් ජේම්ස් පීරිස් නමින් සමරු මුද්දරයක් 1981 දෙසැම්බර් 20 වැනි දින නිකුත් කර තිබේ.
එමෙන්ම ජෝර්ජ් කීට්ගේ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් හංස ජාතකය නිරූපිත සමරු මුද්දරයක් 2001 අප්‍රේල් 24 වන දින නිකුත් කර ඇත. ඒ සඳහා පාදක වූ සිතුවම මිනෙට් ද සිල්වා ගෘහනිර්මාණ ශිල්පිනියගේ මුල්ම ව්‍යාපෘතිවලින් එකක් වන මහනුවර කරුණාරත්න නිවසේ විසිත්ත කාමරය සඳහා ජෝර්ජ් කීට් විසින් නිර්මාණය කළ සිතුවමකි. එම හංස ජාතකය සිතුවම දැනට ජනාධිපති මන්දිරයේ ප්‍රදර්ශනය කර ඇත.
මිනෙට් ද සිල්වා මැතිණිය ගෘහ නිර්මාණ ශිල්පී පුහුණව ලද ප්‍රථම ලංකික කාන්තාව වීමේ ගෞරවනීය බවට උරුමකම් කියන්නීය. එතුමිය නමින් සමරු මුද්දරයක් නිකුත් වීමට අනුමත වී ඇත. එමෙන්ම, එතුමියගේ පියා වන ජෝර්ජ් ඊ ද සිල්වා මහතා නමින් ද සමරු මුද්දරයක් 1980 ජුනි 08 වන දින නිකුත් කර ඇත.
"කලාවේ නිමග්න ජීවිතයක්" නමින් එච්. බී. ගුණරත්න මහතා විසින් සිංහලට පරිවර්තිත George Keyt A Life In Art කෘතිය ජෝර්ජ් කිට් පිළිබඳ වැඩිදුර කියවීම සඳහා ඉතා අගනේය. මෙම ඉංග්‍රීසි කෘතිය එච්. ඒ. අයි. ගුණතිලකයන් නැතහොත් "ලංකාවේ පුස්තකාල නම් කිරුළ මත දිලෙන ‘කොහිනූර්’ දියමන්තිය" ලෙසින් නම් ලද ප්‍රාමානිකයා විසින් රචිතය. එතුමන් නමින්ද සමරු මුද්දරයක් නිකුත් කිරීමට යෝජනා විය.
පුවත්පත, පොත් සහ සමරු මුද්දර එකිනෙක සම්මිශ්‍රව පෙළ (text) කියවීම සඳහා මුද්දර රූපය පාලම් බවට පත්කර ගත හැක. කියවීමේ සම්ප්‍රදායික රාමුවෙන් මිදී මෙවැනි අලුත් අත්හදා බැලීම් කියවීම අලුත් කරනවා මෙන්ම කියවීමට ඇති කැමැත්ත කුළුගන්වයි. එය සැබවින්ම කියව්මේ සහ ඉගෙනීමේ දිඟුවකි.
යථෝක්ත ප්‍රස්තුතයට අදාලව විශේෂ පුද්ගල සැමරුම්, ඓතිහාසික සිදුවීම් හෝ විශේෂිත අවස්ථා සදහා අනාගතයේදී සමරු මුද්දර නිකුත් වීමට ඇති ඉඩ ප්‍රස්තාව පිළිබදව සලකා බැලීමේදී මුද්දර කියවීම නිමා නොවන කතාවක් බව ඔබට මැනවින් වැටහෙනු ඇත. මන්ද, සෑම විටම නව ගැටළු, සැඟවුණු විස්තර සහ අනාවරණය කර ගැනීමට ගැඹුරු සන්දර්භයන් මුද්දර තුල සැඟවී පවතින හෙයිනි.
ඉතින් එන්න ..ඔබත් මුද්දර කියවන්න ....
© kiyawanamuddara 2020 | Solution by 4meli.com