10
August
2025
කෝපි වගාවේ නිජබිම ලෙස අප්‍රිකාව සැලකෙන නමුත් පුරාණයේ පටන් අරාබිවරුන් කෝපි වගාකර ඇති බවට ලෝකයේ නොයෙක් රටවල ඉතිහාසගත සාක්ෂි කියාපාන්නේය. අරාබිවරුන් තම වෙළඳාම් කටයුතු සඳහා ලෝකයේ ගමන් කළ නොයෙක් රටවල් තුළ කෝපි ශාකය රෝපණය කර ඇති බවට ඒ ඒ රටවල හමුවන නොයෙක් සාධක හා ජනශ්‍රැතය පිළිබඳව පර්යේෂණ කිරීමේදී පැහැදිලි වන බවත් ඉතිහාසඥයින් මත දරන්නෝය.
~සිරිලක කෝපි වගාවේ ආරම්භය~
කෙසේ වෙතත් ලංකාවේ කෝපි වගාව ව්‍යාප්ත වන්නේ පියවර දෙකකිනි. මුල් පියවර ලෙස 1690 දී පමණ ලන්දේසීන් ලංකා පොළොවේ කෝපි වගාව ආරම්භ කළත් ඔවුන් මුහුදුබඩ පලාත් කේන්ද්‍ර කරගනිමින් ඇරඹූ කෝපි වගාවේ අසාර්ථකත්වයත් සමග කලක් ගතවෙන විට එය අතහැර දැමූහ. කෝපි වගාවේ මුල් පියවර එසේ නිමාවට පත් විය.
ඉන් වසර ගණනාවකට පසු කෝපි වගාව අරඹන්නේ 1820 දී පමණය. එහෙත් ලංකාව වාණිජමය වශයෙන් කෝපි වගාවේ ආරම්භය ලෙස සැලකෙන්නේ 1824 වසරේ සිටය.
වාණිජ පරිමාණයෙන් ප්‍රථම වරට කෝපි වගාව ආරම්භ කළේ ගම්පොල සිංහපිටිය ප්‍රදේශයේ. 1824 අවුරුද්දේ හිටපු බ්‍රිතාන්‍ය යුද්ධ හමුදා නිලධාරියෙක් වූ ජෝර්ජ් බර්ඩ් (George Bird) විසින්. එදා ඉඳලා තමයි අවුරුදු දෙසීය වෙන්නේ. ඊට පසුව ආණ්ඩුකාරධුරයට පත්වුණ සර්එ ඩ්වඩ් බාන්ස් (Sir Edward Barnes) ගන්නොරුව දැනට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පිහිටි ස්ථානයේ කෝපි වගාවක් ආරම්භ කළා. එම අවුරුද්දේම පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ වගා කටයුතු ආරම්භ කළා. එයින් පසුව කෝපි වගාවට සුදුසු ඉඩම් හොයන්න පරීක්ෂණ පැවැත්වීමට එහි භාරකරු වූ ඇලෙක්සැන්ඩර් මූන් (Alexander Moon) ට නියම කෙරුණා. 1860-69 කාලෙ ලංකාව පුරාම හෙක්ටයාර් එක්ලක්ෂ එකොලොස්දාහක් කෝපි වවලා තිබුණා. වසරකට මෙට්‍රික් ටොන් 50000කට වඩා අපනයනය කරලා තිබෙනවා. මේ කාලේ ලෝකෙ ප්‍රධානම කෝපි අපනයනකරුවන් දස දෙනා අතර "සිලෝන්" (Ceylon) නම තිබිලා තිබෙනවා.
එම දෙවන පියවර ආරම්භ කළ දින පටන් පහුගිය අවුරුද්දට අවුරුදු දෙසීයක් ගතවුනි. ඒ නිමිත්තෙන් ජාතික කෝපි සමුළුවක් පසුගියදා මහනුවරදී පැවැත්වුණේය. ඒ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කෝපි සංගමය සහ ඕස්ටේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ සහභාගීත්වයෙන්ය. එහි සුවිශේෂත්වය වූයේ “ශ්‍රී ලංකාවේ කෝපි වගාවේ ද්වී ශතකය: 1824-2024” නිමිතිකොට ගෙන මුද්දර කාර්යාංශය මඟින් වටිනාකම රුපියල් 50.00 ක් වන නව සමරු මුද්දරයක් නිකුත් කිරීමය.
~කෝපි උරුමයට උපහාරයක්~
2024 වාර්ෂික මුද්දර වැඩසටහන සඳහා “කියවන මුද්දර” යොමුකළ යෝජනාවකට අනුවයි මෙම කෝපි සමරු මුද්දරය නිකුත් කළේ. එය පොහොසත් ලාංකේය කෝපි උරුමයට සුදුසුම උපහාරයක්. කෝපි කතාවේ ඉතිහාසය සහ වර්තමානය යාකරමින් නිර්මාණය කරණ ලද සමරු මුද්දරයේ දක්නට ලැබෙන “කෝපි වතුර මල” (Coffee Fountain) ලාංකීය කෝපි වංශ කතාවේ ඉතා සුවිශේෂී ඓතිහාසික උරුමයක්. කෝපි මලට සමාන, එහි නිර්මාණ අංග නිසා මෙම දිය උල්පත “කෝපි වතුර මල” ලෙස පොදුජන ව්‍යවහාරයේ පවතිනවා. “කෝපි වැවිලිකරුවන්ගේ උල්පත”, “වේල්ස් කුමරු දිය උල්පත” හෝ “නුවර වතුර මල” ලෙසින්ද හැඳින්වෙන මෙම වතුර මල, ලාංකීය කෝපි ඉතිහාසයේ යටත් විජිත යුගයේ කෝපි පිළිබඳ ඇති වැදගත්ම සාක්ෂියක් වගේම ස්මාරකයක්. මෙම මුද්දරය මෙරට කෝපි කර්මාන්තයේ ඓතිහාසික මූලයන්ගේ සිට වර්තමාන නවෝත්පාදනයන් සහ ගෝලීය අභිලාෂයන් දක්වා වූ විශිෂ්ඨ ගමන සංකේතවත් කරවනවා. එය සැමරීමේ සංකේතයකට වඩා වැඩිමනත්. එය ශ්‍රී ලාංකික කෝපි, ලෝක වේදිකාවේ තව තවත් ඔසවා තැබීමේ අපගේ උත්සාහයේ නව පරිච්ඡේදයක් නියෝජනය කරනවා.”
කෝපි මුද්දරයේ වටිනාකම ගැන ඒ ආකාරයට කීවේ කියවන මුද්දර නිර්මාතෘ නිරෝෂණ පීරිස්ය. ඔහු තවදුරටත් කීවේ තමන්ගේ ඉල්ලීමට අනුව මුද්දර යෝජනාව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරිමට මූලිකත්වය ගත්තේ බ්ලැක්පූල් කෝපි සමුහයේ නිර්මාතෘ සහ කළමනාකරණ අධ්‍යක්ෂ අසිත ජයසිංහ සහ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බවයි.
“ලෝකයේ ජීවත් වෙන මිනිස්සු වැඩියෙන් ම බොන්නෙ මොනවද? ජලය එය අංක එක, අංක දෙකට වැඩියෙන්ම පානය කරන්නේ මොනවද? එය බොහෝවිට කෝපි විය හැකිය. ඒහෙත් අපි කෝපි ගැන දන්නේ මොනවද, බඩේ අමාරුවට සහ නිදිමැරීම සඳහා කෝපි බොනවා ඇරෙන්නට ලංකාවේ බහුතරයක් කෝපි ගැන දන්නේ නැහැ. දැනගන්න විධිහක් නැහැ. ලංකාව් වැවිලි කර්මාන්තය තුළ කෝපි පිළිබඳ කතිකාවත ඉතා අල්පයි.”
මුද්දරයක් රටක් නියෝජනය කරන තානාපතිවරයකු වැනිය. කිසියම් රටක ජාතික අනන්‍යතාවය, සමාජ සංස්කෘතිය, පරිසරය, භූ දේශපාලනය සහ ආර්ථිකය වැනි ඕනෑම ක්ෂේත්‍රයක් මුද්දරය මගින් නිරූපණය කිරීමට අවකාශ ඇත්තේය. මක්නිසාද යත් මුද්දරය යනු ඉතිහාසය සංක්ෂිප්ත කරනා චිත්‍රයක් බැවිනි. එමෙන්ම මුද්දරයක් මත සිතුවම් වන්නේ සුවිශේෂි චරිතය. එවන් සුවිශේෂි සැලසුම් සහගත මුද්දර නිර්මාණ තවත් විශේෂිත සමරුවක් ද වන්නේය.
ශ්‍රී ලංකා කෝපි කර්මාන්තය සඳහා ප්‍රවර්ධනය, කතන්දර කීම සහ මහජන සහභාගීත්වය ශක්තිමත් කිරීම සඳහා බලගතු දෘශ්‍ය සන්නිවේදන මෙවලමක් ලෙස “කියවන මුද්දර” අප විසින් මෙම මුද්දරය භාවිතා කිරීමේ පුළුල් මුලපිරීමක ආරම්භය සනිටුහන් කරලයි.
මෙම මුද්දරය ශ්‍රී ලංකාවේ කෝපි කර්මාන්තයේ ඓතිහාසික මූලයන්ගේ සිට වර්තමාන නවෝත්පාදනයන් සහ ගෝලීය අභිලාෂයන් දක්වා වූ විශිෂ්ඨ ගමන සංකේතවත් කරවයි. එය සැමරීමේ සංකේතයකට වඩා වැඩිමනත් ය. එය ශ්‍රී ලාංකික කෝපි, ලෝක වේදිකාවේ තව තවත් ඔසවා තැබීමේ අපගේ උත්සාහයේ නව පරිච්ඡේදයක් නියෝජනය කරයි.
1824 දී ගම්පොල සිංහපිටියේ මුල්ම කෝපි වගාවේ සිට 2024 දක්වා, වසර 200ක ඉතිහාසයක් සමරන ලංකාවේ කෝපි ගැන අලුත් විදිහකට දකින්න අපි ඔබට ආරාධනා කරන්නෙමු.
~කෝපි ගැන පාසල් පෙළපොතින්~
11 වසර ඉතිහාසය විෂයයට අදාළව කෝපි පිළිබඳව විමසන්නේ බ්‍රිතාන්‍යයන් යටතේ ශ්‍රී ලංකාවේ සමාජ පරිවර්තනය යන පාඩම යටතේ ඉතා කුඩා කොටසකිනි. එය සාරාංශයක් ලෙස ගත්කල මෙලෙසිනි:
"ශ්‍රී ලංකාව තුළ කෝපි කෘෂිකර්මය හා එහි ඉතිහාසය ගැන සොයන විට 1820 දශකයේදී බ්‍රිතාන්‍යයන් විසින් කෝපි වගාව ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකාවේ ආර්ථිකය බ්‍රිතාන්‍යය සමයේදී ආදායම් උත්පාදනය සඳහා භාවිත කළ කෘෂි ව්‍යාපාරය තුළ කොපි ප්‍රමුඛ ක්ෂේත්‍රයක් බවට පත්විය.
මේ රටේ ප්‍රමුඛ කලාප වෙන්නේ මහනුවර, මාතලේ, නුවරඑළිය වැනි කඳු ප්‍රදේශවල කෝපි වගා ව්‍යාප්ත විය. ඒමෙන්ම ශ්‍රී ලංකාවේ විදේශ වෙළඳාමට කෝපියෙන් විශාල දායකත්වයක් ලබාදුන්නේය කෝපි ව්‍යාපාරයේ අභියෝග: වශයෙන් පැමිණියේ 1869 දී “කොෆී රස්ට්” (Coffee Rust – Hemileia Vastatrix) නම් උණ රෝගයක් හේතුවෙන් බොහෝ වගා විනාශ විය. මේ හේතුවෙන් කෝපි වගාව අවපතනය විය. කෝපි වගා විනාශයට පසුව බ්‍රිතාන්‍යයන් තේ වගා කෙරීමට මාරු විය. ඉන්පසුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාරික බෝගය ලෙස තේ වගාව පදනම් විය."
ඉතිහාස පෙලපොතේ මෙම සාරාංශය ලාංකීය කෝපි ඉතිහාසය ගැන පවසන්නේ ඉතා කෙටියෙනි. ලෝකයේ වැඩියෙන්ම කෝපි සකසලා අපනයනය කරපු රට වන්නේ ශ්‍රී ලංකාවය. 1824 සිට 1869 දක්වා දශක හතරකට වැඩි කාලසීමාවක් මෙරට සංවර්ධනයේ පෙරගමන්කරු වන්නේද කෝපි ව්‍යාපාරයයි.
~කෝපි නිසා ගොඩගිය තේ~
ඉන්දියානු වතු කම්කරුවන්ගේ ලංකාගමානය, ලංකාවේ දුම්රිය ධාවනය, මාර්ග සංවර්ධනය මෙන්ම වතුවගාවට අවැසි සියලු මුල්‍ය, රක්ෂණය, ගබඩාකරණය, ප්‍රවාහනය වැනි සියලු යටිතල පහසුකම් ගොඩ නැගුණේ කෝපි පදනම කරගනිමින්ය. වසර 1867දී ජේම්ස් ටේලර් ගේ තේ වගාව ඉතා සාර්ථකව ඉදිරියට ගියේ ඊට අදාල සියලු පහසුකම් කෝපි වගාව යටතේ සැකසී තිබූ නිසාය.
~කෝපි වතුර මල~
“කෝපි වතුර මල” ලාංකීය කෝපි වංශ කතාවේ ඉතා සුවිශේෂී ඓතිහාසික උරුමයකි. 1875 දෙසැම්බර් මාසයේදී ඉඳි කරන ලද මෙම උල්පත බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ දිවයිනේ ආර්ථිකයේ ප්‍රමුඛ පුද්ගලයින් වූ ලංකාවේ කෝපි වැවිලිකරුවන්ගේ සංකල්පයක් සහ මූල්‍ය ආධාර මත නිර්මාණය වූවකි. එමෙන්ම එහි වේල්ස් කුමරු (පසුව VII වන එඩ්වඩ් රජු) මහනුවරට කළ සංචාරය සිහිපත් කරමින් මෙසේ සඳහන් කර ඇත:
“Erected by the Coffee Planters of Ceylon in Commemoration of the visit of H. R. H. The Prince of Wales to Kandy. December 1875.”
මෙම වතුර මල බ්‍රිතාන්‍යයේ ජෝර්ජ් ස්මිත් සහ සමාගම (George Smith & Co) සහ යකඩ වැඩ සඳහා ප්‍රසිද්ධ ග්ලාස්ගෝ හි සන් ෆවුන්ඩ්‍රි (Sun Foundry of Glasgow) සමගම විසින් නිර්මාණය කරන ලද අතර, පසුව එය ශ්‍රී ලංකාවට නැව්ගත කර එම ස්ථානයේදීම එකලස් කරන ලද බව වාර්තාවල සඳහන්ය.
2005 ජූලි 08 වන දිනැති ගැසට් පත්‍රයේ අංක 1401 යටතේ මෙම වතුර මල මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව යටතට ලේඛන ගත කර ඇත.
තේ වලින් වැසී ගියත්, ශ්‍රී ලංකාවේ කෝපි සංස්කෘතිය ඔරොත්තු දීමේ සහ පුනර්ජීවනයේ සංකේතයකි. යටත් විජිත ඉතිහාසය, නූතන කෝපි අවන්හල් ප්‍රවණතා සහ කුඩා වතු හිමියන්ගේ ගොවිතැන මිශ්‍ර වීම නිසා එය දිවයිනේ සංස්කෘතික හා ආර්ථික ව්‍යුහයේ අද්විතීය හා වටිනා කොටසක් බවට පත් කරයි. සැබවින්ම කෝපි ලාංකීය තරුණ ප්‍රජාව ප්‍රමුඛව කෝපි සංස්කෘතියේ කොටසක් බවට පත්කිරීම සඳහා දැනුම්වත් කිරීම අපගේ ප්‍රමුඛ කටයුත්තකි. මුද්දරය සහ ඒ ආශ්‍රිත අයිතම සහ බ්ලැක්පූල් කෝපි කෞතුකාගාරය (Blackpool Coffee Museum) එකී දනුම්වත්කරණය සඳහා පෙළගැසී සිටී.
ඔබ මින්පසු කෝපි කෝප්පයක් රසවිදින්නෙනම් ඒ, රස විදින්නේ කෝපි පමණක්ම නොවන බව හොඳින් මතකයේ රඳවා ගන්න.
නයනදුල සෙන්දනායක විසිනි
"දිවයින" ඉරිදා සංග්‍රහය
© kiyawanamuddara 2020 | Solution by 4meli.com