27
July
2025
ලෝකයේ ජීවත් වන මිනිසුන් වැඩියෙන්ම බොන්නේ ජලයය. දෙවැනියට වැඩියෙන්ම පානය කරන්නේ කෝපි කීවොත් සමහරවිට ඔබ පුදුමයට පත්වන්නට පුළුවන. බඩේ අමාරුවට සහ නිදිවැරීමට කෝපි බොනවා හැරෙන්නට අපේ රටේ ඇත්තන් කෝපි ගැන දන්නා ප්‍රමාණය ඉතාම අඩුය. කොහොම නමුත් කෝපි ලංකාවට ඇවිත් පසුගිය අවුරුද්දට අවුරුදු දෙසීයක් ගතවුණේය. ඒ නිමිත්තෙන් ජාතික කෝපි සමුළුවක් පසුගියදා මහනුවර දී පැවැත්වුණේය. ඒ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කෝපි සංගමය සහ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ සහභාගීත්වයෙන්ය. එහි විශේෂත්වය වුණේ “ශ්‍රී ලංකාවේ කෝපි වගාවේ ද්වී ශතකය: 1824 - 2024” නිමිතිකොට ගෙන මුද්දර කාර්යාංශය මගින් වටිනාකම රුපියල් 50.00ක් වන නව සමරු මුද්දරයක් ද නිකුත් කිරීමය.
‘‘2024 වාර්ෂික මුද්දර වැඩසටහන සඳහා “කියවන මුද්දර” යොමුකළ යෝජනාවකට අනුවයි මෙම කෝපි සමරු මුද්දරය නිකුත් කළේ. එය පොහොසත් ලාංකේය කෝපි උරුමයට සුදුසුම උපහාරයක්. කෝපි කතාවේ ඉතිහාසය සහ වර්තමානය යාකරමින් නිර්මාණය කරන ලද සමරු මුද්දරයේ දක්නට ලැබෙන “කෝපි වතුර මල” ලාංකේය කෝපි වංශ කතාවේ ඉතා සුවිශේෂී ඓතිහාසික උරුමයක්. කෝපි මලට සමාන, එහි නිර්මාණ අංග නිසා මෙම දිය උල්පත “කෝපි වතුර මල” ලෙස පොදුජන ව්‍යවහාරයේ පවතිනවා. “කෝපි වැවිලිකරුවන්ගේ උල්පත”, “වේල්ස් කුමරු දිය උල්පත” හෝ “නුවර වතුර මල” ලෙසින් ද හැඳින්වෙන මෙම වතුර මල, ලාංකේය කෝපි ඉතිහාසයේ යටත් විජිත යුගයේ කෝපි පිළිබඳ ඇති වැදගත්ම සාක්ෂියක් වගේම ස්මාරකයක්. මෙම මුද්දරය මෙරට කෝපි කර්මාන්තයේ ඓතිහාසික මූලයන්ගේ සිට වර්තමාන නවෝත්පාදන සහ ගෝලීය අභිලාෂයන් දක්වා වූ විශිෂ්ට ගමන සංකේතවත් කරවනවා. එය සැමරීමේ සංකේතයකට වඩා වැඩිමනත්. එය ශ්‍රී ලාංකික කෝපි, ලෝක වේදිකාවේ තව තවත් ඔසවා තැබීමේ අපගේ උත්සාහයේ නව පරිච්ඡේදයක් නියෝජනය කරනවා.”
කෝපි මුද්දරයේ වටිනාකම එයාකාරයට කීවේ කියවන මුද්දර නිර්මාතෘ නිරෝෂණ පීරිස්ය. ඔහු තවදුරටත් කීවේ තමන්ගේ ඉල්ලීමට අනුව මුද්දර යෝජනාව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට මූලිකත්වය ගත්තේ බ්ලැක්පූල් කෝපි සමුහයේ නිර්මාතෘ සහ කළමනාකරණ අධ්‍යක්ෂ අසිත ජයසිංහ බවය. හෙතෙම තවදුරටත් කීවේ අවුරුදු දෙසීයක ඉතිහාසයක් ඇති කෝපි ගැන පළමු කෞතුකාගාරය ඇත්තේ නුවරඑළිය ප්‍රදේශයේ බවත් එහි නිර්මාතෘවරයා වන්නේ ද තමන් බවත්ය. ඒ නිසාම පසුගිය සතිඅන්තයේ මමත් නිරෝෂනුත් බ්ලැක්පූල් කෝපි බංගලාව සහ බ්ලැක්පූල් කෝපි කෞතුකාගාරය සොයාගෙන නුවරඑළියට ගියෙමු. නුවරඑළිය නගරයේ සිට අඹේවෙල පාරේ හැතැම්ම දෙකහමාරක් තුනක් පමණ ගියවිට බිලැක්පූල් ගම්මානයේ තැපැල් කන්තෝරුව හමුවෙයි. එය ඉදිරිපිට තිබූ CoffyBanglow නාම පුවරුව අසලින් මීටර් 10ක් පමණ කන්ද නැගගිය විට පේර, දොඩම්, ජම්බෝල ආදී ගස් ගොම්මනකින් වැසී ඇති සුද්දන්ගේ කාලයේ ඉදිකරන ලද බංගලාවක් හමුවිය. වත්තේ කෙළවරට වන්නට තිබුණේ කෝපි ගස්ය. මෙතැන මුහුදු මට්ටමේ සිට මීටර් 1,872ක් උසය.
“මේ බංගලාව එක්දාස් අටසිය අග ගණන්වල හදාපු එකක්. ටී. කේ. එම්. බණ්ඩා කියන අපේ ආච්චිගේ තාත්තාට මේ බංගලාව අයිති වෙලා තිබුණේ. බ්ලැක්පූල් ගම්මානෙ පළමු ගෙදර. එයින් පසුව ඔලිවර් මීගොල්ල සහ ටී. එම්. එච්. මීගොල්ල කියන අපේ ආච්චියි සීයයි දෙන්න මේ ඉඩමේ කෝපි වවලා තියෙනවා. මෙතන තමයි ලංකාවේ මුලින්ම බීජ අල වගාව පටන්ගෙන තියෙන්නේ. ඒ වගේම ලංකාවේ මුලින්ම කැපුම් මල් ව්‍යාපාරය පටන්ගෙන තිබෙන්නෙත් මෙතන. ඊට පස්සේ මටත් ආසාවක් ඇතිවුණා කෝපි ගැන හොයන්න බලන්න ඕනෙ කියලා. ඒ කාලේ ඉන්ටර්නෙට් වගේ පහසුකම් නැහැ. මම පොත් පත්තර පැරණි ලේඛන පරිශීලනය කරලා කෝපි ගැන දැනුම එකතුකර ගත්තා. විදෙස් රටවල ඇවිදලා ඒ රටවල තොරතුරු ගවේෂණය කළා.
ඔය අතරේ කොරෝනා ආවා. මම නුවරඑළියට වෙලා මෙතන පුංචියට කෝපි ව්‍යාපාරයක් පටන් ගත්තා. ටික කලක් යනකොට කෝපි ගහක් බලන්න බැදපු කෝපි අරන් යන්න යුරෝපයේ ඉඳලා සංචාරකයන් එන්න පටන් ගත්තා. මම කෝපි නොමිලේ දුන්නා. නමුත් මම දැනුම හුවමාරු කර ගත්තා. මම දැනගත්තා හුඟ දෙනෙක් එන්නෙ දැනුම යමක් එකතු කර ගන්න. ඔය කාලය තුළ රටවල් 60ක විතර දහසක විතර පිරිසක් ආවා. ඒ අයගෙ දැනුම දැන් මා ළඟත් තිබෙනවා. එතකොට ලංකාවේ කෝපි ගැන ඉගෙන ගන්න තැනක් නැහැ. පාසල් පෙළපොතකවත් කෝපි කතන්දරය නැහැ. එනිසා මම කල්පනා කළා කෝපි ඉතිහාසය එකතු කරලා කෞතුකාගාරයක් හදන්න. එහෙමයි ලංකාවේ පළමු කෝපි කෞතුකාගාරය නිර්මාණය වුණේ.”
බ්ලැක්පූල් කෝපි කෞතුකාගාරයට ඇතුළුවන විටම අසිත ජයසිංහ අපව පිළිගත්තේ ‘ගෙදර වගේ ඉන්න’ කියා බොහෝ සුහදවය. කලක් ගුවන්යානා ඉංජිනේරුවරයකු වශයෙන් සේවය කළ හෙතෙම විනෝදාංශයක් වශයෙන් කළේ කෝපි ගැන පර් යේෂණ කිරීමය.
ඔහු එතැන් සිට අපව කෝපි කෞතුකාගාරයේ සංචාරයකට රැගෙන ගියේය. කෝපි සුවඳ හමන කාමරයට ඇතුළු වූ විට මුලින්ම දුටුවේ කෝපි නිෂ්පාදනය කරන යන්ත්‍රයය. එය ඉදිරිපස තිබුණේ කුඩා ජලපොකුණකි. එකල එය භාවිතයට ගෙන තිබුණේ කැපුම් මල් සැකසීමේ දී ජලයේ බහා තැබීම සඳහාය. එහි බිත්තියක ලෝකයේ තිබූ ඉපැරණිම කෝපි නිෂ්පාදන යන්ත්‍රවල ඡායාරුප පෙළක් එල්ලා තිබුණේය. එයට අමතරව මී මුත්තන්ගේ ඡායාරූප පෙළක් ද එහි තිබුණේය. 1934 අවුරුද්දේ බීජ අල වැවීම සම්බන්ධයෙන් ලැබූ සහතිකය ද ඒ අතර විය. කෞතුකාගාරය පුරාම පිරී තිබුණේ කෝපි පුරාවත සම්බන්ධ ඉපැරණි භාණ්ඩ සහ ඡායාරුප සිතියම්වලිනි.
කෝපි කෞතුකාගාරය දිගේ ඉදිරියට ඇවිදගෙන යනවිට තැන තැන කෝපි කෝප්පයක් තොලගාමින් දාම් ක්‍රීඩාවේ නිරත විදේශිකයන් කිහිප දෙනෙකුම දැකගන්නට හැකිවිය. මට එක්වරම මතක්වූයේ සනත් නන්දසිරි ගායනා කළ ‘ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාං අදින්නේ - ගැටව් කතා බහට කඩ එළිපත්තේ රංචු ගැහෙන්නේ’ ගීතයේ පද පෙළය.
“දාම් ක්‍රීඩාවත් සමග කෝපිවලට තිබෙන සම්බන්ධය කිව්වාම දාම්වලට නැති ආදරයක් එතනදි හැදෙනවා. ලෝකයේ හැමතැනම කෝපි සහ දාම් අතර සම්බන්ධයක් තිබෙනවා. මේස හතක දාම් ලෑලි තිබෙනවා. අපි දාම් ක්‍රීඩාවත් මෙතන ප්‍රචලිත කරනවා. පැය ගණන් දාම් අදින අය ඉන්නවා. ලෝකෙ ඕනෙම කොෆි හවුස් එකක අතීතයේ ඉඳලාම මේ දාම් ක්‍රීඩාව තිබෙනවා.”
එයින් පසු අපව තවත් කාමරයක් වෙත කැඳවාගෙන ගියේය.
‘‘මොනවාද මේ බිත්තිය පුරාම. සිතියම් පොටෝවලින් පිරිලා.”
මගේ පැනයට පිළිතුරු දෙන්නට අසිත ඉදිරිපත්වූයේ නොපැකිලවය.
‘‘ඇරබිකා කෝපි පැළය ලොව පුරා ගිය හැටි තමයි මේ සිතියමේ තියෙන්නේ. කහවා කියලා තමයි ඒ කාලේ කෝපිවලට කියලා තියෙන්නේ. ලෝකයේ මුල් කාලයේ කහවා අලෙවියට තිබුණු සාප්පුවක ඡායාරූපයක් තිබෙනවා. යේමන්වල මෝහා කියන මේ පින්තූරේ තියෙන තැන තමයි මුලින්ම ලෝකයේ කෝපි වෙළෙඳාම පටන් ගත්තේ. බිත්තියේ මැද තියෙන්නේ ලංකාවේ කෝපි ඉතිහාසය. මුලින්ම ලංකාවට කෝපි පැළයක් ඇවිත් තියෙන්නේ මල් පැළයක් විදියට. 15 වැනි සියවසට කලින් ලෝකෙ තිබුණෙ භාණ්ඩ හුවමාරු ක්‍රමයක්. අරාබි වෙළෙන්දන් තමයි ලෝකෙ පුරා වෙළෙඳාමට ගියේ. ලංකාවෙ මිනිස්සුන්ට පුරුද්දක් තිබුණා සුවඳ මල් පූජා කරන්න. එනිසාම මේ කෝපි මල් ආරබි වෙළෙන්දන් ලංකාවට ගේන්න ඇති. මෙතන තියෙන්නේ ඔය විස්තරේ.”
අසිත ඊළඟ අපව රැගෙන ගියේ කෝපි කොප්පයක් රස බලන්නටය. කෞතුකාගාරය එළිමහනේ අසුන් තුනක් සූදානම් කළ ඔහු කෝපි කෝප්ප තුනක්ම ඇණවුම් කළේ ‘කෝපි බොන ගමන් කතා කරමු’ කියාය. විදේශිකයන් කොපමණ ආවත් කෞතුකාගාරයේ ඉන්නේ අසිත සහ තවත් එක් සේවකයකු පමණය. අසිත කරන්නේ කෝපි පුරාවත ගැන සංචාරකයන් දැනුම්වත් කිරීමය. අනෙක් සේවකයා කරන්නේ කෝපි කෝප්පයක් ඇණවුම් කළොත් එය සාදා දීමය. අප වෙත පිළිගැන්වූ බන්දේසියේ කෝපි කෝප්පයට අමතරව තවත් බඳුන් කිහිපයක්ම තිබුණේය. එක් බඳුනක රතු පැහැ ඉදුණු කෝපි ඇටය. අනෙක් බඳුනේ පියලි කරන ලද කෝපි ඇටය. තවත් බඳුනක බදින ලද කෝපි ඇටය. තවත් බඳුනක කෝපි කුඩුය. කෝපි අස්වැන්න නෙළාගත් තැන සිට කෝප්පයට එනතෙක් ක්‍රියාවලිය එහි තිබුණේ හරි අපූරුවටය.
“වාණිජ පරිමාණයෙන් ප්‍රථම වරට කෝපි වගාව ආරම්භ කළේ ගම්පොළ සිංහපිටිය ප්‍රදේශයේ. 1824 අවුරුද්දේ හිටපු බ්‍රිතාන්‍ය යුද්ධ හමුදා නිලධාරියෙක් වූ ජෝර්ජ් බර්ඩ්. එදා ඉඳලා තමයි අවුරුදු දෙසීය වෙන්නේ. ඊට පසුව ආණ්ඩුකාර ධුරයට පත්වුණු එඩ්වඩ් බාන්ස් ගන්නොරුව දැනට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පිහිටි ස්ථානයේ කෝපි වගාවක් ආරම්භ කළා. එම අවුරුද්දේම පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ වගා කටයුතු ආරම්භ කළා. එයින් පසුව කෝපි වගාවට සුදුසු ඉඩම් හොයන්න පරීක්ෂණ පැවැත්වීමට එහි භාරකරු වූ ඇලෙක්සැන්ඩර් ටූන් ට නියම කෙරුණා. 1860 - 69 කාලෙ ලංකාව පුරාම හෙක්ටයාර් එක්ලක්‍ෂ එකොළොස්දාහක් කෝපි වවලා තිබුණා. වසරකට මෙට්‍රික් ටොන් 50,000කට වඩා අපනයනය කරලා තිබෙනවා. මේ කාලේ ලෝකෙ ප්‍රධානම කෝපි අපනයනකරුවන් 10 දෙනා අතර සිලෝන් නම තිබිලා තිබෙනවා. මේ කාලය තුළ ලංකාවෙන් අපනයනය කළ කෝපි ප්‍රමාණයන්ට අදාළ සංඛ්‍යාලේඛන සියල්ල මේ සටහනේ තිබෙනවා.”
වාඩි වී හුන් තැනින් අප නැගිට ගියේ එකල පුස්සැල්ලාවේ පීකොක් කන්ද මුදුනේ තිබූ ලංකාවේ උසම සහ තාක්‍ෂණයෙන් ඉහළ කෝපි නිෂ්පාදනාගාරයේ ගොඩනැගිලි ආකෘතියක් බලන්නටය. ජලය යොදාගෙන ක්‍රියාත්මක කළ යන්ත්‍ර සූත්‍ර තිබී ඇති අතර අඩු සේවක සංඛ්‍යාවකින් වැඩි නිෂ්පාදන ධාරිතාවයක් ලබා ගැනීම එහි අරමුණ වී තිබුණේය. එයට අමතරව කෝපි ගබඩා, කෝපි වේළන ස්ථාන මෙන්ම කෝපි වත්තක බංගලාවක ආකෘති මෙහි දක්නට ඇත්තේය. එයින් පසුව සිතියම් තුනක් ඇත්තේය. පළමු සිතියම ඇඳ ඇත්තේ 1840 - 60ත් අතර කෝපිවල මුල් කාලයේය. දෙවෙනි සිතියම නාවලපිටිය දක්වා දුම්රිය මාර්ගය ඇඳ ඇත්තේය. තුන්වෙනි සිතියම නුවරඑළිය තිබෙන නමුත් ග්‍රෙගරි වැව නොමැත්තේය. 1869න් පසුව ඇල්ල බදුල්ල දුම්රියපොළ සකසා නොමැති කාලයේ බණ්ඩාරවෙල දක්වා දුම්රිය මග දැක්වෙන්නේය.
‘‘මේ මොකක්ද කුරහන් ගලක් නේද?”
කෝපි කතා අස්සේ කුරහන් මක්කටදැයි මට සිතුණේය.
‘‘නැහැ ඕකෙන් අඹරන්නේ කුරහන් නෙමෙයි කෝපි. ලෝකෙ මුල් කාලෙ කෝපි ඇඹරුවෙ ඔහොම තමයි. බැදපු කෝපි ඇට දාලා මෙහෙම ඇඹරුවාම වටේට කුඩු එනවා.”
අසිත කුරහන් ගල කරකවා පෙන්වූයේ කෝපි ඇට ටිකක් ඇතුළට දමාය.
තවත් තැනක විදේශිකයෙක් කෞතුකාගාරයේ තිබූ වයලිනයක් ගෙන ඉතා මිහිරි වාදනයක නිරතව උන්නේ හැමදෙනාගේම අවධානය දිනා ගනිමින්ය.
‘‘කෝපි ගැන ඕනෙම ප්‍රශ්නයක් අහලා හරිම උත්තරයක් අරන් යන්න පුළුවන් කෝපි කෞතුකාගාරයට ආවොත්.”
අසිත අවසන් වරට කීවේ කෝපි කෝප්පයක් තරම්ම රසවත් කෝපි ඉතිහාසය දැකබලා ගන්නට එන්නට කියා ආරාධනය කරමින්ය.
ඉන්දික සංජීව විතාන -2025.07.27 සතිඅග අරුණ
© kiyawanamuddara 2020 | Solution by 4meli.com