kiyawanamuddara.lk

Our Stories

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


08
July
2025

"කියවන මුද්දර" කෝපි අස්වැන්න

"ශ්‍රී ලංකාවේ කෝපි වගාවේ ද්වී ශතකය: 1824-2024" නිමිතිකොට ගෙන "Coffee Festival 2025" වැඩසටහනට සමගාමීව මුද්දර කාර්යාංශය මඟින්  වටිනාකම රුපියල් 50.00 ක් වන නව සමරු මුද්දරයක් නිකුත් කිරීම 2025 ජූලි 8 වැනි දින නුවරදී සිදු කෙරුණි. 

ශ්‍රී ලංකාවේ කෝපි වතු ඉතිහාසය යනු අභිලාෂය, සමෘද්ධිය සහ පරිවර්තනය පිළිබඳ සිත් ඇදගන්නාසුළු කතාවකි. එමඟින්, 19 වැනි සියවසේ දිවයිනේ ආර්ථිකය, කෘෂිකර්මය හා භූ දර්ශනය හැඩගැස්වීමේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ අතර, ඒවාට සැලකිය යුතු ලෙස බලපෑ පොහොසත් ඉතිහාසයකින්ද සමන්විත විය. 
 
18 වැනි සියවසේ මැද භාගයේදී ලන්දේසීන් විසින් ශ්‍රී ලංකාවට කෝපි වගාව හඳුන්වා දෙන ලදී. මූලික වශයෙන් වෙරළබඩ ප්‍රදේශවල පැවැති කෝපි වගාව බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේදී දිවයිනේ අභ්‍යන්තරය දක්වා පුළුල් ලෙස ව්‍යාප්ත වූයේ උසස් තත්වයේ කෝපි නිෂ්පාදනය සඳහා මධ්‍යම කඳුකරයේ දේශගුණය සහ උන්නතාංශය වඩාත් සුදුසු වූ හෙයිනි.  

ලංකාවේ පළමු වාණිජ කෝපි වගාව ඉංග්‍රීසි ජාතික ජෝර්ජ් බර්ඩ් විසින් 1824 දී  ගම්පොළ සිංහපිටියේ ආරම්භ කෙරුණි. ඔහුගේ සාර්ථකත්වය සෙසු වැවිලිකරුවන්ටද අභිප්‍රේරණයක් ලබා දුන් අතර, විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ මහනුවර සහ නුවරඑළිය අවට කෝපි වගාවන් ශීඝ්‍රයෙන් ව්‍යාප්තවීමට එයද හේතුවක් විය. 

එවකට ලංකා ආණ්ඩුකාර එඩ්වඩ් බාන්ස් ද කෝපි වගාව ප්‍රචලිත කිරීම සඳහා තවදුරටත් ක්‍රියාකාරීව මැදිහත් විය. ඔහු විසින් 1825 දී ගන්නෝරුව - දැන් පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ කොටසක හා තවත් වතු කිහිපයකම කෝපි වගාව ස්ථාපනය කරන ලදී. එමෙන්ම, බ්‍රිතාන්‍ය යටත්විජිත රජයද යුරෝපීය වැවිලිකරුවන්ට ඉඩම් ප්‍රදානය සහ වෙනත් දිරිගැන්වීම් ලබා දෙමින් කෝපි වගාවට සක්‍රීයව සහාය දැක්වීය. විශාල කෝපි වතු ස්ථාපිත කළ බ්‍රිතාන්‍ය ව්‍යවසායකයින් මෙරටට ගලා ඒමට මෙය හේතුවක් විය. මෙම බ්‍රිතාන්‍යයන් රොබස්ටා  (Robusta) සහ ඇරාබිකා (Arabica) කෝපි වර්ග වගා කිරීම ප්‍රවර්ධනය කළ අතර, ඒවා සැලකිය යුතු ප්‍රමාණයක් යුරෝපයට සහ අනෙකුත් වෙළඳපලවලටද අපනයනය කළහ. 
 
කෝපි වගාවෙන් ලංකාවේ දහස් ගණනකට රැකියා ලබා දුන් අතර, කෝපි අපනයනය මගින් යටත්විජිත ආර්ථිකයටද සැලකිය යුතු දායකත්වයක් ලබා දුනි. කෝපි වගාව මඟින් වතුකරයේ භූ දර්ශනය පරිවර්තනය කළා පමණක් නොව, අපනයනය සඳහා වරායන් වෙත කෝපි ප්‍රවාහනය කිරීමේ පහසුකම් සැලසීම සඳහා මහාමාර්ග සහ දුම්රිය මාර්ග ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටද එය හේතුවක් විය. එසේම, ඉන්දියානු කම්කරුවන්ගේ ලංකාගමනය සිදුවන්නේද මෙම කෝපි වගාව පදනම් කරගනිමිනි. 

1830 සිට 1850 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට කෝපි නිෂ්පාදනය ප්‍රබල සහායක් දැක්වූ අතර, 1860 පමණ වන විට ශ්‍රී ලංකාව,  බ්‍රසීලය සහ ඉන්දුනීසියාව ලෝකයේ කෝපි නිෂ්පාදනය කරන විශාලතම රටවල් බවට පත්වුනි.

1869 මුල් භාගය තුලදී කෝපි කර්මාන්තය ලංකාවේ සවිමත් වෙමින් පැවතියද, ඉන් කෙටි කලකට පසුව මලකඩ දිලීර රෝගය (හෙමිලියා වැස්ටැට්‍රික්ස්  - Hemileia Vastatrix) හේතුවෙන් කෝපි වගාව විනාශයට පත්විය. ඉන්දියාව සහ ජාවා රටවල් වලටද බලපෑ මෙම වසංගතය ඉදිරි විසිවසක් වැනි කාලයක් තුළ ලංකාවේ මහා පරිමාණ කෝපි වගාවන් සියල්ල විනාශ කරලන්නට හේතුවිය. කෝපි වැවිල්ල මත ගොඩනැගුණු ආර්ථික සැලැස්ම සෙසු බෝග වර්ග මෙන්ම පසුකාලීනව ලංකාවට හඳුන්වා දුන් තේ වගාවටද හොඳින් ගැලපීම තේ වගාවේ සාර්ථකත්වයට මෙන්ම ලංකාවේ කෝපි වගාව පිළිබඳ උනන්දුව තව දුරටත් හීන කරලීමටද හේතු විය.  

 1972 දී බෝග විවිධාංගීකරණයට ආන්තික තේ ඉඩම් ලක් කිරීමත්, සුළු වශයෙන් නිෂ්පාදනය වූ නමුත් ඉහළ අපනයන විභවයක් සහිත බෝග ශ්‍රී ලාංකීය වගා භූමි තුළ ප්‍රචලිත කිරීමත් අරමුණු කොට ගෙන අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ස්ථාපිත කිරීමත් සමඟ කෝපි වගාවේ නව පුනර්ජීවනයක් ඇති විය. ඊට සමගාමීව ශ්‍රී ලංකාවේ වාණිජ කෝපි වගාවට උචිත ප්‍රභේද හඳුනාගැනීමට සහ නිර්මාණය කිරීමත්, ප්‍රශස්ථ වගා කළමනාකරණයත්, ක්‍රමෝපායන් සහ ඊට උචිත ඉඩම් හඳුනාගෙන වගා කිරීමත් ආරම්භ විය. ඒ අනුව, 1970 දශකය වන විට සම්පූර්ණයෙන්ම පාහේ ආනයන භාණ්ඩයක් ලෙස පැවති කෝපි මේ වනවිට ප්‍රමුඛ අපනයන කෘෂි බෝගයක් බවට පත්වෙමින් තිබේ.
 
පසුගිය දශකයක පමණ කාලයක් තුළ ලංකා කෝපි කෙරෙහි අලුත් ප්‍රබෝධයක් ඇති වී තිබේ. විශේෂයෙන්ම, කොළඹ සහ අනෙකුත් ප්‍රධාන නගරවල ශ්‍රී ලංකාවේ කෝපි සංස්කෘතිය ප්‍රචලිත වී ඒවායේ කෝපි අවන්හල් බොහෝ සෙයින් බිහිවීමද ලාංකිකයින් නව කෝපි සංස්කෘතියකට අනුගත වෙමින් පවතින බවට සාක්ෂියකි. මෙම තත්වය ලංකා කෝපි නිෂ්පාදකයින්ගේ නිෂ්පාදනය ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව වැඩිකරලීමටද හේතු වී ඇති අතර, නිරන්තර පර්යේෂණ තුලින් කෝපි නිෂ්පාදන විවිධංගීකරණයට ලක්කරමින් වසර 200ක ලංකාවේ කෝපි කතාව තවදුරටත් රසවත් කිරීමටද උපකාරී වී ඇත.

~ කෝපි වතුරමල (Coffee Fountain) ~

කෝපි කතාවේ ඉතිහාසය සහ වර්තමානය යාකරමින් නිර්මාණය කරණ ලද සමරු මුද්දරයේ දක්නට ලැබෙන "කෝපි වතුර මල" ලාංකීය කෝපි වංශ කතාවේ ඉතා සුවිශේෂී ඓතිහාසික උරුමයකි. කෝපි මලට සමාන, එහි නිර්මාණ අංග නිසා මෙම දිය උල්පත “කෝපි වතුර මල” ලෙස පොදුජන ව්‍යවහාරයේ පවතී. "කෝපි වැවිලිකරුවන්ගේ උල්පත", "වේල්ස් කුමරු දිය උල්පත" හෝ "නුවර වතුර මල" ලෙසින්ද හැඳින්වෙන මෙම වතුර මල, ලාංකීය කෝපි ඉතිහාසයේ යටත් විජිත යුගයේ කෝපි පිළිබඳ ඇති වැදගත්ම සාක්ෂියකි; ස්මාරකයකි. 

1875 දෙසැම්බර් මාසයේදී ඉඳි කරන ලද මෙම උල්පත බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ දිවයිනේ ආර්ථිකයේ ප්‍රමුඛ පුද්ගලයින් වූ ලංකාවේ කෝපි වැවිලිකරුවන්ගේ සංකල්පයක් සහ මූල්‍ය ආධාර මත නිර්මාණය වූවකි. එමෙන්ම එය වේල්ස් කුමරු (පසුව VII වන එඩ්වඩ් රජු) මහනුවරට කළ සංචාරය සිහිපත් කරමින් එහි මෙසේ සඳහන් කර ඇත: “Erected by the Coffee Planters of Ceylon in Commemoration of the visit of H. R. H. The Prince of Wales to Kandy. December 1875.” 
මෙම වතුර මල  බ්‍රිතාන්‍යයේ ජෝර්ජ් ස්මිත් සහ සමාගම (George Smith & Co) සහ යකඩ වැඩ සඳහා ප්‍රසිද්ධ ග්ලාස්ගෝ හි සන් ෆවුන්ඩ්‍රි (Sun Foundry of Glasgow) සමගම විසින් නිර්මාණය කරන ලද අතර, පසුව එය ශ්‍රී ලංකාවට නැව්ගත කර එම ස්ථානයේදීම එකලස් කරන ලද බව වාර්තාවල සඳහන්ය.

2005 ජූලි 08 වන දිනැති ගැසට් පත්‍රයේ  අංක 1401 යටතේ මෙම වතුර මල මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව යටතට    ලේඛන ගත කර ඇත.


~"කියවන මුද්දර" කෝපි මුද්දරයෝජනාව සහ එහි සංකල්පය ~

2024 වාර්ෂික මුද්දර වැඩසටහන සඳහා "කියවන මුද්දර" යොමුකළ යෝජනාවකට අනුව නිකුත් කරන ලද මෙම කෝපි සමරු මුද්දරය, පොහොසත් ලාංකීය කෝපි උරුමයට සුදුසුම උපහාරයකි. 

මෙම සැමරුම සඳහා එක්වූ සියලුම හවුල්කරුවන්ට අපි අපගේ කෘතඥතාව පළ කරන්නෙමු. බ්ලැක්පූල් කෝපි බංගලාව, බ්ලැක්පූල් කෝපි කෞතුකාගාරය ඇතුලුව බ්ලැක්පූල් කෝපි සමුහයේ නිර්මාතෘ සහ කළමනාකරණ අධ්‍යක්ෂක අසිත ජයසිංහ මහතාට ප්‍රථමයෙන් ස්තුතිය පල කල යුතුය. අපගේ ඉල්ලීමට අනුව මුද්දර යෝජනාව ප්‍රයෝගිකව ක්‍රියාත්මක කිරීමේ මූලිකත්වය ගනු ලැබුවේ ඔහුය. එමෙන්ම, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (සන්නිවේදන) අරුණ දිසානායක සහ සංවර්ධන නිලධාරි චමිල් කිරිබත්ගොඩ මහත්වරුන්ගේ මැදිහත්වීම ද මෙම කටයුත්ත සාර්ථක කරගැනීමට මනා රුකුලක් විය. මුද්දරය එළිදැක්වීමේ උත්සවයට මූලිකත්වය ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට සහ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අප අතිශයින් කෘතඥ වන අතර, ශ්‍රී ලංකා කෝපි උත්සවය සංවිධානය කිරීම සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ලංකා කෝපි සංගමය සහ  ඕස්ට්‍රේලියානු ආධාර මත ක්‍රියාත්මක වෙළඳපොළ සංවර්ධන පහසුකම්  ආයතනය (Market Development Facility - MDF) ලබාදුන් දයක්ත්වයට ද විශේෂ ස්තූතියක් පිරිනැමිය යුතුය. 

මෙම උත්සවය අතරතුර ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය මහා කොමසාරිස් ලලිතා කපුර් මහත්මියට කෝපි මුද්දරය සහ එහි ඉතිහාස කතාව පිළිබඳව  පෞද්ගලිකවම කරුණු ඉදිරිපත් කිරීමට ලැබුණු අවස්ථාවද ඉතා වැදගත් ය. ඒ සඳහා පෙරමුණ ගත් දුමින්ද අමිල මහතාටද විශේෂ ස්තුතියක් පිරිනැමිය යුතුමය.

එමෙන්ම, සමරු මුද්දරය නිකුත් කිරීමේ අවස්තාව සඳහා අනුග්‍රහය දැක්වීම වෙනුවෙන් හැටන් නැෂනල් බැංකුවට අපගේ ස්තුතිය පළ කරන අතර, කෝපි කර්මාන්තයේ උරුමය සහ අනන්‍යතාව සංරක්ෂණය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා ඔවුන් සිය ආයතනික සමාජ වගකීමේ වැදගත්කම මනා ලෙස හදුනාගෙන කටයුතු කිරීම පැසසුම් සහගතය.

මෙම මුද්දරය ශ්‍රී ලංකාවේ කෝපි කර්මාන්තයේ ඓතිහාසික මූලයන්ගේ සිට වර්තමාන නවෝත්පාදනයන් සහ ගෝලීය අභිලාෂයන් දක්වා වූ විශිෂ්ඨ ගමන සංකේතවත් කරවයි. එය සැමරීමේ සංකේතයකට වඩා වැඩිමනත් ය. එය ශ්‍රී ලාංකික කෝපි, ලෝක වේදිකාවේ තව තවත් ඔසවා තැබීමේ අපගේ උත්සාහයේ නව පරිච්ඡේදයක් නියෝජනය කරයි.

ශ්‍රී ලංකා කෝපි කර්මාන්තය සඳහා ප්‍රවර්ධනය, කතන්දර කීම සහ මහජන සහභාගීත්වය ශක්තිමත් කිරීම සඳහා බලගතු දෘශ්‍ය සන්නිවේදන මෙවලමක් ලෙස "කියවන මුද්දර" අප විසින් මෙම මුද්දරය භාවිතා කිරීමේ පුළුල් මුලපිරීමක ආරම්භය සනිටුහන් කරලයි.

උත්සවයේ සේයා රූ : රුවන් මීගම්මන 



© kiyawanamuddara 2020 | Solution by 4meli.com