kiyawanamuddara.lk

Our Stories

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


27
June
2025

"සංදේශ මුද්‍රා '25" වෙනුවෙන් "කියවන මුද්දර" මලියදේවයට ...

කුරුණෑගල මලියදේව විද්‍යාලීය මුද්දර සංගමයේ වාර්ෂික මුද්දර වැඩසටහන "සංදේශ මුද්‍රා" යූ. බී. වන්නිනායක ශ්‍රවනාගාරයේ දී ආරාධිත පාසල් රැසක සහභාගීත්වයෙන් 2025 ජුනි 20 වෙනි දා ඉතා අලංකාරවත් ලෙස පැවැත්විණි. එහි මුඛ්‍ය දේශනය ලෙස මුද්දර කියවීම පිළිබඳව දරුවන් දැනුම්වත් කිරීම සඳහා "කියවන මුද්දර" වැඩසටහනකට අප වෙත ආරාධනා ලැබුණි.

මුද්දරයේ ඉතිහාස කතාවේ සිට වර්තමානය දක්වා අපි එදිනෙදා දකින මුද්දර දෙස අලුත් කෝණයකින් බැලීමට හැකි අවස්ථා බොහොමයක් ඇති බව අපගේ ඉදිරිපත් කිරීමේදී පැහැදිළි කෙරුණි. මුද්දරය එකතු කිරීමේ විනෝදාංශයෙන් ඔබ්බට විෂය සමගාමී ක්‍රියාකාරකමක් ලෙස පවත්වාගෙන යාමට සහ ඉගෙනුම් අධාරක ලෙස භාවිත කිරීමේ හැකියාව අපි මෙහිදී පෙන්වා දුන්නෙමු. සහභාගී වූවන්ගේ ප්‍රතිචර හමුවේ අපගේ දැනුම්වත් කිරීම ඉතා සාර්ථක වූ බව සඳහන් කරනුයේ සන්තෝෂයෙනි.

මලියදේව විද්‍යාලීය ගරු විදුහල්පති ඩබ්ලිව්. එම්. සී. කේ. මහමිතව මහතාගේ ප්‍රධානත්වයෙන් සමාරම්භාවූ "සංදේශ මුද්‍රා '25" වැඩසටහනට නියෝජ්‍ය විදුහල්පතිවරුන්, ගුරුභවතුන් සහ මුද්දර සංගමය භාර ආචාරිණී දුෂ්මන්තා හේවාකොඩිකාර මහත්මිය ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ. උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තන් ලෙස ඇතුගල්පුර මුද්දර සංසදයේ සභාපති කුමාර ජයලත් ගුණරත්න, නන්දන රොද්‍රිගෝ, දර්ශිණී රණසිංහ, උපාලි ගුණසේකර හා ඉන්දීර ධනපාල යන මහත්ම මහත්මීන් සහභාගී වූහ. එමෙන්ම, මලියදේව විද්‍යාලීය මුද්දර සංගමයේ සාමාජිකයින් හා එම පාසැල් සිසුන් ඇතුළුව මලියදේව බාලිකාව, විශ්වෝධා විද්‍යාලය, ජනාධිපති බාලිකාව, ශුද්ධවූ පවුළේ කන්‍යාරාමය ඇතුළු ආරාධිත පාසල් රැසක දරු දැරියන් සහ ගුරු භවතුන් මෙම උත්සවයට එක්ව සිටියහ.

වයඹ පළාතේ ප්‍රධානම පාසල වන මලියදේවයේ මුද්දර සංගමයේ ශක්තිය ඇතුගල්පුර මුද්දර සංසදයයි. මෙම උත්සවය සංවිධානය කිරීමේදී ඔවුන් ඉටුකල කාර්යය අතිමහත්ය. මුද්දර සංගමයේ නිලධාරී මණ්ඩලය හා පාසැලේ අනෙකුත් ආචාර්ය මණ්ඩලය සමඟ එක්ව මුද්දර සංගමය භාර ආචාරිණී දුෂ්මන්තා හේවාකොඩිකාර මහත්මිය උත්සවයේ කටයුතු මනාව සංවිධානය කර තිබුණි.

මලියදේවයේ "සංදේශ මුද්‍රා '25" ඔවුනට මුද්දර කියවීමේ අසිරිමත් මුද්දර ලෝකය ගවේෂණය කිරීමේ සමාරම්භක පියවරක් ලෙස අපි සලකන්නෙමු. අනාගතයේදී ඇතුගල්පුර මුද්දර සංසදය සමඟ අත්වැල් බැඳගෙන මුද්දර සාහිත්‍ය සහ මුද්දර කියවීම කුරුණෑගල දිස්ත්‍රික්කයේ සෙසු පාසැල් වලද ප්‍රචලිත කිරීමට අපි බලාපොරොත්තු වන්නෙමු.

දේශණය අවසානයේ අපගේ ඉල්ලීම වූයේ "එම දරුවන්ගේ රුවට නොව ඔවුනගේ නමට කෙදිනක හෝ සමරු මුද්දරයක් නිකුත් කරවා ගැනීම සඳහා බොහෝ වෙහෙස මහන්සි වී රටට වැඩදායක ගුණදායක පුද්ගලයෙකු වීමට අදිටන් කර ගැනුමට" යන්නයි.

සැමට බොහොම ස්තුතියි.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com