kiyawanamuddara.lk

Our Stories

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


04
April
2024

"කාලය ඇවිත්" බදුලු සවාරියේ "කියවන මුද්දර" රස මතක පිටු ....

කාලය ඇවිත් (It's About Time) ජංගම ඉතිහාස කෞතුකාගාරයේ තෙවෙනි අදියර පසුගිය මාර්තු 19 සිට 26 දක්වා බදුල්ල ඌව පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේදී අති සාර්ථක අයුරින් පැවැත්විණි.

ඉතිහාස කෞතුකාගාරය සමඟින් "කියවන මුද්දර" බදුල්ලේ ගතකල දින 8 ඉතා විශේෂ කාලපරිජේදයකි. අලුත් පොත පත, නැවත කියවූ පැරණි පොත්පත් සහ අලුත් හිතමිතුරන් "කියවන මුද්දර" අපිටත් අලුත් පිබිදීමක් වුනා.

මෙම 2024 වසර බදුල්ලට ඉතා විශේෂිතයි. එළැඹෙන අප්‍රේල් 5 වන දිනට බදුල්ලට මුල්වරට කෝච්චියක් පැමිණ වසර 100 සම්පුර්ණ වෙනවා. ජංගම ඉතිහාස කෞතුකාගාරයේදී අපි බොහෝ දෙනෙක්ව මේ පිළිබඳව දැනුම්වත් කළා. කේ. ඒ. ඩී. නන්දසේන සහ විනෝද් වික්‍රමරත්න ලියපු Ceylon Railway Heritage පොතේ ආරුක්කු නවයේ පාලම සහ බදුල්ලට ප්‍රථමයෙන් පැමිණි දුම්රියේ කතාන්දරය පිළිබඳ වැඩිදුර කියවීමට මනා පිටිවහලක් වුනා.

නලින් අබේසිංහ මහතාගේ "දුම්රියේ ප්‍රකට විත්ති"ද දෙමෝදර ආරුක්කු පාලමේ නිර්මාතෘ ගැන හොඳ විවිරණයක් සහිත කෘතියකි. "මැයි මාර ප්‍රසංගය" පොතේ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල හරි අපුරුවට දෙමෝදර සුන්දරත්වය කවියක් වගේ ලියලා තියනවා. ගාමිණී තිලකරත්න මහතාගේ රචනාවක් වන "උඩරට මැණිකේ දුම්රිය සංදේශය" පොත ද බදුලු කෝච්චිය ගැන අලංකාර කවි වර්ර්ණනාවක් සහිතයි. රසික වික්‍රමනායකගේ කෘතියක් වන "සබරගමුව දුම්රිය", බදුලු සවාරියේ රස මතක වැඩිකලා. එය ලංකා දුම්රිය සාහිත්‍යයේ නවතම මඟ සලකුණයි.

කොච්චි කතාවෙන් පසු අපගේ වැඩි අවධනය යොමු වූයේ ඌවේ දියඇලි සම්බන්ධයෙන්. කොළඹ යුගයේ දෙවන කවි පරපුරේ කවියකු වශයෙන් අතිශය ජනප්‍රසාදයක් දිනාගත් මීමන ප්‍රේමතිලකයන් ලාංකීය දියඇලි සාහිත්‍යයේ පුරෝගාමියා බව "ශ්‍රී ලංකාවේ දිය ඇලි" නම් කෘතිය සම්පාදනය කල ධර්මන් වික්‍රමරත්න මහතා සඳහන් කරයි. මම "ලංකා දියඇලි සංසදයේ" සම්බන්ධීකාරක ලෙසින් මම කටයුතු කරන සමයේ මෙම කෘතියේ කෘතියේ සම්බන්ධිකරණ කටයුතු ද මා අතින් සිදුවූ අතර එය මගේ මුද්දර සාහිත්‍ය ආරම්භය සඳහා පදනම සැලසූ ප්‍රවේශය විය. දිඟු ගමනක මුල්ම මතක ... එහෙයින්ම, "ශ්‍රී ලංකාවේ දිය ඇලි" පොදි බැඳගත් මතකයන් ගොන්නක් සහිතව අලුතින් පිටු පෙරලූ පරණ පොතක් විය.

බදුල්ල ඌව පළාත් පුස්තකාලය සාහිත්‍යකරුවනට සෙවන සලසන්නේය. ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ අසිත සදරුවන් මහතා සහ කාර්ය මණ්ඩලය එහි සුවිශේෂී සේවයක යෙදෙයි.

අහඹු සිදුවීමක් ලෙසින් අපුර්ව නිර්මාණකරුවෙක් හඳුනා ගැනීමටත් එහිදී හැකිවිය. ඔහු නමින් එච්. බී. ගුණරත්න මහතා ය. ඉයන් ගුණතිලක විසින් රචිත "George Keyt - A Life In Art" කෘතිය "ජෝර්ජ් කීට්, කලාවෙහි නිමග්න ජිවිතයක්" නමින් පරිවර්තනය කර ඇත්තේ ගුණරත්න මහතායි. ඉයන් ගුණතිලකයන් වෙනුවෙන් සමරු මුද්දරයක් සඳහා වෙහෙසුණු මට මෙම කෘතිය ඉතා සමීපයි. "71 කැරැල්ල යාපනය - විජේවීර මුදා ගැනීමේ තැත - හැමන්හිල් සිරකඳවුර" කෘතිය ඔහුගේ නවතම මහන්සියයි. හැමන්හිල් බලකොටුව වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කර තිබීම නිසා අපේ කතාව තවදුරත් රසවත්වීම නොවැලක්විය හැකි විය.

ජංගම ඉතිහාස කෞතුකාගාරයේ සාර්ථකත්වය සඳහා බදුල්ලේ ඌව ශක්ති පදනම සැබෑ සවියක් වූ බව නොරහසක්. එහි කළමනාකාර අධ්‍යක්ෂක නඩේෂන් සුරේෂ් මහතා ඇතුළු කාර්ය මණ්ඩලය අපගේ අලුත් මිත්‍ර සමාගමේ කොටසක් විය. 2021 කොළඹදී අප නරඹා තිබූ "තේ කහට" ජායාරූප ප්‍රදර්ශනය ඔවුන්ගේ තවත් එක් මෙහෙවරක් පමණයි.

බදුල්ල​ "කාලය ඇවිත්" ජංගම ඉතිහාස කෞතුකාගාරයේ ජයග්‍රාහී සහ නොමැකෙන සටහනක් තැබීමට කැපවූ අපගේ ස්වේච්ඡා සහායක කණ්ඩායමට ඉමහත් කෘතඥතාව පලකල යුතුමයි. අපහට පරිවර්තන සහාය ලබාදුන් Samayasivam Madushaan තවමත් නිරතුරුව කතා බහ කරමින් රස මතක අවුස්සයි. ඒ වගේම හිමායා බිස්මී ගේ මුද්දර එකතුව සමඟ මුද්දර කියවීම බොහෝ දුරකට ගියා. මුළු කණ්ඩායමම ඉතා උද්යෝගයෙන් කටයුතු කල අතර, මුද්දර කියවීම ද ඔවුන්ට අපුර්ව අත්දැකීමක් බවට පත් වූ බවත් එහි රසයත් ඔවුන් විසින්ම අපට පැවසීම අපව තවත් සතුටට පත් කළා.

Kule Rathnayaka, Mohamed Naseer, Amilanath Wickramarathne, Tharinduni Jayasundara, Roshan Wijesuriya ,Thilak Kumara Ratnayake සහ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලීය පුස්තකාලයේ දිල්හානි, බදුල්ල දුම්රිය ස්ථානාධිපති තිලංක වැලිගම වැනි සහෘදයින් මුණගැසුණා.

Search for Common Ground Sri Lanka හි සෞම්‍යා, තරින්ද, මරිසා, නවාස්, සුහෙල්, මහිෂා, රජිත සහ ශෂිකලා මූලිකව එහි සියළුම දෙනාත්, Strengthening Social Cohesion & Peace in Sri Lanka, Giz හි දර්ශන, සුලක්ෂනා සහ ශානුකි මෙන්ම CHDM හි ජොහාන් හා Pixel Advertising Solutions කාර්ය මණ්ඩලයද සිහිපත් කලයුතු අතර, අසවර් සහ තෙජාන්ගේ වර්ණවත් ජයාරූප නිසා මෙම කටයුත්ත තව තවත් උත්කර්ෂයට නැංවුනා. අපට නවාතැන් සැපයුණු River Side Holiday Inn හි විකී, රලින්, ශානිකා, යසීන් හා chef සංජය ද අමතක කරන්නේ කොහොමද?

හැමෝටම බොහොම ස්තුතියි ....
මතක ගොන්නක් එක්ක ලබන සැරේ මඩකලපුවේ දී හමුවෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ ...
ජයෙන් ජයම වේවා !



© kiyawanamuddara 2020 | Solution by 4meli.com