08
August
2023
ෆිදෙල් කැස්ත්‍රො සහ අර්නස්ටෝ චේ ගුවේරා ඇතුළු පිරිස බැටිස්ටාගේ පාලනය බිඳදමමින් කියුබානු විප්ලවය ජයගෙන තිබුණේ වසර 1959 ජනවාරි 1 වැනිදාය.ඊට ටික කලකට පසුව, එනම් 1959 ජූලි 29 වන දින වත්මන් කියුබානු රජය සහ ශ්‍රී ලංකා රජය නිල සබඳතා ගොඩනඟා ගත්තා. ඒ සදහා මුල් වූයේ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමායි. ජනාධිපති ෆිදෙල් කැස්ත්‍රෝගේ උපදෙස් මත එකවකට කියුබාවේ කර්මාන්ත අමාත්‍ය ලෙස කටයුතුකළ චේ ගුවේරා ප්රමුඛ දූත පිරිසක් ලංකාවේ සංචාරයක නිරත වුනා. ඒ 1959 අගෝස්තු 7 වැනිදායි.
චේ ගේ ලංකාගමනයේ ප්‍රධාන අරමුණ වූයේ කියුබාවේ සීනි වෙළදාම ප්‍රවර්ධනය කර ගැනීම සහ ලංකාවේ තේ, රබර්, පොල් වගාවන් පිළිබඳ කරුණු අධ්‍යයනය කිරීමයි. චේගුවේරාට සිය කෙටි ලංකා සංචාරයේදී හමුවූ එක් අයෙකු වූයේ හවානා හි පිහිටි Galban Lobo Trading Company නම් සමාගමෙන් සීනි ආනයනය කළ ලංකාවේ ජේම්ස් ටී. රත්නම් ය. ඔහු ප්‍රකට සිනමාකරුවකු වන චන්ද්‍රරත්නම්ගේ පියායි. සෝවියට් සංගමය කියුබාවේ සියළුම සීනි මිලදී ගැනීම නිසා කියුබාව සහ ශ්‍රී ලංකාව අතර සීනි ගනුදෙනුව ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවූනි.
1959 අගෝස්තු 8 වැනිදා චේ ගුවේරා රබර් වගාව පිළිබඳ අධ්‍යයනයට යහල කැලේ රබර් වතුයායට ගියා. එය එවකට ලංකාවේ හොඳින්ම ක්‍රියාත්මක වූ රබර් කර්මාන්ත ශාලා වලින් එකක්. එච්. සී. පීරිස් මහතාට අයත්ව තිබූ යහලකැලේ වතුයාය වෙත චේ ගුවේරාව යොමුකරන ලද්දේ එවකට ලංකාණ්ඩුකාර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතායි. යහලකැලේ වතු බංගලාව එවකට විශේෂ අමුත්තන් සඳහා ආගන්තුක සත්කාර ලබාදුන් විශේෂිත සංචාරක මධ්‍යස්ථානයක් ලෙස ප්‍රකට වී තිබුනා. රබර් වතුයායේ සහ කර්මාන්තශාලාවේ සංචරය අවසානයේදී චේ විසින් සිය පැමිණීම සටහන් කරනු පිණිස මැහෝගනී පැළයක් රෝපණය කළා. මේ ඓතිහාසික වෘක්ෂය අදටත් හොරණ යහලකැලේ වතුයායේ වතු බංගලා පරිශ්‍රයේ ඉතා සරුවට මහේශාක්‍ය ලීලාවෙන වජබෙනවා.
ලෝකවාසීන්ගේ නිදහස උදෙසා සිය දේශපාලනය මෙහෙයවූ චේ ගුවේරා සමරන්නට ලොව පුරා වැඩසටහන් ක්‍රියාත්මක වෙද්දී ලංකාවේ එය සමරනු ලබන්නේ සමාජවාදී තරුණ ශිෂ්‍ය සංගමයේ මූලිකත්වයෙන්. ඔවුන් වසර 2014 දී යහල කැලේ වතුයායේ චේ ගුවේරා විසින් රෝපණය කළ මැහෝගනී වෘක්ෂය අභියස ආශ්රිත භූමිය චේ උද්‍යානය ලෙස නම් කලා. ඔවුන් කියුබානු තානාපති කාර්යාලය සමඟ එක්ව අවස්ථා කීපයකදීම චේ සැමරුම් උත්සව මේ වෘක්ෂය අභියස පැවැත්වුවා.
ශ්‍රී ලංකා - කියුබානු රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා වලට වසර 50ක් සම්පුර්ණවීම නිමිතිකොට කොට සමරු මුද්දරයක් 2009 නොවැම්බර් 09 දින නිකුත් කරන ලද අතර එම මුද්දරයේ සිතුවම් කර තිබෙන්නේ යථෝක්ත මහෝගනී ගසයි.
චේ ගේ යහලකැලේ ගමනට අදට වසර 64ක් සපිරෙනවා. චේ ගේ දෑතින් රෝපණය කල මේ මහෝගනී ගස ඔහුගේ මහා පෞරුෂයට සමාන වනසේ සුවිසල්ව පැතිර පවතිනවා. මේ ගස, ගසක්ම පමණක් නොව පුරාවෘත්තයක්ම වන හෙයින් එය ජාතික උරුමයක් සේ සංරක්ෂණය කලයුතු සහ ආරක්ෂා කලයුතු ජාතික වස්තුවකි.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com