03
July
2023
බස්නාහිර පළාතේ, හොරණ නම්බපන කනිෂ්ඨ විද්‍යාලයේ දී "කියවන මුද්දර" වැඩසටහනක් ඉතා සාර්ථකව පසුගිය 2023 ජූනි 30 වන දින පැවත්වීමට අපට හැකිවිය. හොරණ අධ්‍යාපන කලාපයේ පළාත් සභා පාසලක පවත්වන ලද ප්‍රථම මුද්දර කියවීමේ වැඩසටහන ලෙසින් සනිටුහන් වූ මෙම අවස්ථාව, මුද්දරය ඉගෙනුම් සහ ඉගැන්වීමේ උපකරණයක් ලෙස පාසල් පද්ධතියට හදුන්වාදීමේ තවත් එක් පියවරක් විය.
ශ්‍රීලංකාවේ තැපැල් සහ මුද්දර ඉතිහාසය, මුද්දරය ඉගෙනුම් ආධාරකයක් ලෙස දරුවනට සහ ගුරුවරුන්ට භාවිතා කිරීමේ විභවයන්, විෂය සමගාමී කටයුත්තක් ලෙස මුද්දර එකතුකිරීම සහ අධ්‍යනය, සහ මුද්දරයක් කියවන්නේ කෙසේද යන්න පිළිබදව අපි ඔවුනට කරුණු පැහැදිළි කළෙමු. එදිනෙදා ඉගැන්වීමේදී තැපැල් මුද්දර භාවිතය පිළිබඳව අපි නිදසුන් සහිතව පෙන්වා දුන්නෙමු. තැපැල් මුද්දර ඉගැන්වීම් ද්‍රව්‍යයක් ලෙස භාවිතා කරමින්, කුඩා පන්ති කාමර ව්‍යාපෘති ලෙස දරුවන්ට ඉගැන්වීමේ කලාව සහ ඒ හරහා නිර්මාණශීලීවීම සදහා අවස්ථාව විවර කිරීමට හැකි බව අපගේ විශ්වාසයයි.
තැපැල් මුද්දර යනු සමාජ අධ්‍යයනය, භාෂා කලාව, විද්‍යාව ඇතුළු සියලු විෂය ක්‍ෂේත්‍රවල භාවිතය සඳහා අදාළ වන අතිශය බහුකාර්ය ඉගැන්වීමේ මෙවලමකි. බටහිර අධ්‍යාපනයේදී එය ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනයේ ඵලදායී ඉගැන්වීම් මෙවලම් ලෙස යෝජනා කර ඇත (Stamps have been suggested as effective teaching tools in primary and secondary education).
උද්යෝගීමත් සිසු සිසුවියන් සහ කාර්යක්ෂම ගුරු මණ්ඩලයක් පෙරටුකොට ගෙන ඉතා කැපවීමෙන් කටයුතු කරනා ගරු විදුහල්පතිනිය කාංචනා පෙරේරා මහත්මිය මෙම වැඩසටහන සදහා අපට ලබාදුන් සහයෝගය ඉතා සුවිශේෂී වේ. මෙවැනි නිර්මාණාත්මක ක්‍රියාකාරකම් හමුවේ දරුන්ගේ ඉගෙනුම් ආකල්ප සහ ගුරුවරුන්ගේ දැනුම සහ නව ඉගැන්වීමේ ආකෘති පිළිබදව අලුත් තොරතුරු සදහා පුළුල් දායකත්වයක් ලබාදෙන විදුහල්පතිතුමියට අපගේ විශේෂ ගෞරවය පිරිනමන අතර, නියෝජ්‍ය විදුහල්පතිනිය ඇතුළු සමස්ත ගුරු මණ්ඩලයත්, පාසල් දුවා දරුවන් සහ මෙම කටයුත්ත සම්බන්ධීකරණය සදහා වෙහෙසුනු ඉන්දික සංජිව විතාන මහතාටත් "කියවන මුද්දර" අපගේ ස්තුතිය.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com