kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


31
May
2023

විශ්ව විද්‍යාලයක් නොමැති රටකට විශ්ව විද්‍යාලයක් ලබාදීම

කපිල ගුණසිංහ මහතා විසින් රචිත "විශ්ව විද්‍යාලය බිහිවීම, සර් අයිවර් ජෙනිංග්ස්‌ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව" ශ්‍රාස්ත්‍රීය කෘතිය කොළඹ විශ්ව විද්‍යාලයේ සනාතන මන්දිරයේදී 2023 මැයි 31 දින එළිදක්වන ලදී. 1903 මැයි 16 දින උපත් ලද සර් අයිවර් ජෙනිංග්ස්‌ගේ 120 වන ජන්මදින සමරුව වෙනුවෙන් උපහාර දැක්වීමද මෙහිදී සිදුකෙරිණි.

කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති ජේෂ්ඨ මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට කොළඹ විශ්ව විද්‍යාලයයේ සිංහල අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී ජේෂ්ඨ මහාචාර්ය සඳගෝමී කෝපරහේවා සහ කොළඹ විශ්ව විද්‍යාලයයේ නීති පිඨයේ වාණිජ නීති අංශයේ අංශ ප්‍රධානී ජේෂ්ඨ කථිකාචාර්ය මේනක හරන්කහ මහත්වරුන්ගේ හරවත් දෙසුම් ඇතුලත් විය. ලංකා විශ්ව විද්‍යාලයේ තිඹිරි ගෙය ලෙස සැලකෙන භූමියේ සිට සර් අයිවර් ජෙනිංග්ස්‌ පිළිබදව කතා කිරීමට ලැබීම සතුටක් බව පැවසූ ජේෂ්ඨ මහාචාර්ය සඳගෝමී කෝපරහේවා මහතා විද්‍යාර්ථයින් සහ කාර්යමණ්ඩලය සඳහා ආයතනික ඉතිහාසය ඉගැන්වීමේ සහ ඉගෙන ගැනීමේ වැදගත්කම පෙන්වා දුන් අතර, සර් අයිවර් ජෙනිංග්ස්‌ අනුස්මරණ කෞතුකාගාරය සඳහා ඉතා සුදුසු ස්ථානය කොළඹ විශ්ව විද්‍යාලයම බව පෙන්වා දුනි. ශ්‍රී ලංකාවේ නීති ක්ෂේත්‍රය කෙරෙහි සර් අයිවර් ජෙනිංග්ස්ගේ බලපෑම සහ දායකත්වය පිළිබඳව ජේෂ්ඨ කථිකාචාර්ය මේනක හරන්කහ මහතා ඉතා රසවත් ඉදිරිපත් කිරීමක් මෙහිදී සිදුකරන ලදී.

1989 ඔක්තෝබර් 16 දින සම්භාවනීය පුද්ගල පෞරුෂයන් සැමරීම සඳහා නිකුත් කරන ලද මුද්දරයකින්ද සර් අයිවර් ජෙනිංග්ස්‌ ගෙන් ශ්‍රී ලංකාවට වූ මහඟු දායකත්වය සැමරුමට ලක් කර ඇත.

ලාංකීය උසස් අධ්‍යාපනය, විශ්ව විද්‍යාලයක් සඳහා උගතුන් හඬ නැගීම, ලංකා විශ්ව විද්‍යාලය නිර්මාණය කිරීම, ජෙනිංග්ස්‌ගේ ද්විත්ව භූමිකාව වැනි ඉතා පුළුල් මාතෘකා ඔස්සේ දිවයන "විශ්ව විද්‍යාලය බිහිවීම, සර් අයිවර් ජෙනිංග්ස්‌ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව"කෘතිය ශ්‍රාස්ත්‍ර ආලයක් ඇත්තවුන් සඳහා කදිම ප්‍රස්තුතයකි.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com