kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


10
April
2023

සියවස් යාකරන මුද්දර පාලම Centenary Stamp Bridge

පාස්කු යනු ක්‍රිස්තියානි ධර්මයේ වැදගත්ම මංගල්‍යයයි. අළුත් ගිවිසුමට අනුව සිකුරාදා කුරුසියේ ඇණ ගැසීමෙන් පසු වූ තෙවැනි දින එනම් ඉරිදා, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන විය. ඔහු මනුෂ්‍ය වර්ගයා සියලු පාපවලින් මුදවාගත් අතර, නැවත නැඟිටීමෙන් ඔහු මරණය ජය ගත්තේය. හංගේරියානු තැපැල් සේවය (Magyar Posta) මෙවර (2023) පාස්කු උත්සවය සැමරීම සදහා මෙම වසරේ ගෘහස්ථ (Domestic) කාණ්ඩය යටතේ ස්වයං-ඇලවුම් (Self-adhesive) මුද්දරයක් පසුගිය පෙබරවාරි 20 දින නිකුත් කර තිබේ.

17 වන සියවසේ සම්භාව්‍ය සිතුවමක් 21වන සියවසට අදාලව ගලපාගැනීම නැතහොත් සියවස් යාකිරිම සදහා සමරු මුද්දරය කලා කෘතියක් ලෙස භාවිතා කිරීමේ කදිම නිදසුනක් මෙම නිකුතුව කතා බහට ලක් වේ.

17 වන සියවසේ ස්පාඤ්ඤයේ වඩාත් ජනප්‍රිය ආගමික චිත්‍ර ශිල්පියා ලෙස සැලකෙන බාර්ටොලම් එස්ටෙබන් මුරිලෝ (Bartolomé Esteban Murillo) විසින් නිර්මාණය කරන ලද ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානයේ සිතුවමක් (The Resurrection of Christ) පදනම් කරගෙන නව සමරු මුද්දරය සැලසුම් කර තිබුණි. මුරිලෝ ගේ මුල් සිතුවමේ දක්නට ලැබෙන මූලික සිතුවමට හානියක් නොවන චරිත ඉවත්කර සිතුවමේ ආලෝකය හා අඳුර පාලනය කරමින් අලුත් මුහුණුවරක් ගෙනදීමට කටයුතු කර තිබේ. නවීන ග්‍රැෆික් නිර්මාණයක් ලෙස මෙම සමරු මුද්දරය, මුල්දින කවරය සහ තැපැල් සලකුණ ග්‍රැෆික් නිර්මාණ ශිල්පී ජියෝජි කරා (György Kara) විසින් සිදුකර ඇති අතර, එහි නිෂ්පාදන සැළසුම්කරණය Codex Értékpapírnyomda Zrt සමාගම විසින් සිදුකර තිබේ.

මුද්දරවල රූප ඔවුන්ගේ සමාජ වැදගත්කම සඳහා විශ්ලේෂණය කිරීමේ දී, සංකේතවාදයේ සහ සංකේත විද්‍යාවේ න්‍යායන් මෙන්ම කලාවේ මානව විද්‍යාව සම්බන්ධව ද ගවේෂණය කෙරේ. එනිසා මුද්දරය ද්‍රව්‍යමය සංස්කෘතියේ (material culture) කොටසක් බවට හඳුනා ගෙන ඇත. එම සංකෘතික අදහස සැලකිල්ලට ලක්කරමින් අප්‍රේල් මාසයට යෙදෙන පාස්කු සැමරුම වෙනුවෙන් පෙබරවාරි මාසයේදීම මෙම මුද්දර නිකුත් කිරීම සිදු කරයි.

හංගේරියානු ජාතික අනන්‍යතාවය සහ ලෝකය තුළ හංගේරියාවේ භූමිකාව යළි නිර්වචනය කිරීමට තැපැල් සේවය දරන උත්සාහයන් තුල කලාකරුවන් හා නිර්මාණකරුවන් විසින් ඉටු කරන ලද කාර්යභාරය උසස් ලෙස අගයනු ලැබේ. එහෙයින්ම, මුල් නිර්මාණකරු, ග්‍රැෆික් සැලසුම්කරු සහ නිෂ්පාදන සැළසුම්කරණය සිදුකල ආයතනයේ නාමයන් මුද්දරය මතම සටහන් කර, නිර්මාණකරුවන්ට ලබාදිය හැකි උපරිම සාධාරණය ඉටුකර දීමට හංගේරියානු තැපැල් බලධාරීන් කටයුතු කර ඇති ආකරය ප්‍රසංසනිය වේ.

සම්භාව්‍ය පාස්කු තේමාවන් සහ ඉපැරැණි සිතුවම් කලාව නවීන ලෝකයේ නූතන තාක්ෂණය තුල ප්‍රති නිර්මාණය කර ඇති ආකාරය හදුනාගැනීම සදහා මෙම මුද්දරය නිර්මාණය ප්‍රස්තුතයක් වනු ඇත.

විශේෂ ස්තුතිය: මාක්ස් ප්‍රියන්ත පෙරේරා මහතා.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com