kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


08
May
2023

රාජාභිෂේක මුද්දර නිකුතුවේ සංස්කෘතික කියවීම A Cultural Reading of the Coronation Stamp Issue

රජතුමාගේ කැමැත්ත හෝ කැපවීම මත පදනම්ව නිකුත් කරන ලද 3 වන චාල්ස් රජුගේ රාජාභිෂේක සමරු මුද්දර නිකුතුව

"මුළු ලෝකයම කැරැල්ලක. අවසාන වශයෙන් ඉතිරිවන්නේ එංගලන්තයේ රජුත්, කාඩ් කූට්ටමේ රජවරුනුත් පමණක්" (The whole world is in revolt. Soon there will be only five Kings left—the King of England, the King of Spades, the King of Clubs, the King of Hearts and the King of Diamonds) යැයි ඊජිප්තුවේ සහ සූඩානයේ අවසාන රජ වූ පළමුවන ෆාරුක් රජු 1952 දී බලයෙන් පහ කිරීමට ටික කලකට පෙර පවසා තිබුනි.

ඔහු පැවසු පරිදි වසර 70කට පසුව බ්‍රිතාන්‍යට අලුත් රජකෙනක් පහල විය. එළිසබෙත් රැජිනගේ වැඩිමහල් පුතු ලෙස චාල්ස් කුමරු රජකමට උරුමකම් ලැබුවේ 1953 සිය මෑණියන්ගේ මෞලි මංගල්‍යයට සහභාගී වූ අවස්ථාවේ සිටය. 3 වන චාල්ස් රජු සිය මව ඔටුනු පළඳින අවස්ථාව දැකබලා ගත් බ්‍රිතාන්‍ය ඉතිහාසයේ එකම ඔටුන්න හිමි කුමරා ද වූයේය. ඔටුන්න හිමි කුමරා ලෙස වැඩිම කලක් රජකම වෙනුවෙන් බලා සිටීම උදෙසා ඔහුට ලෝක වාර්තාවක් හිමිය. 2023 මැයි 06 දින පැවති රජකමට පත් 3 වන චාල්ස් රජුගේ රාජාභිෂේකය හෙවත් මෞලි මංගල්‍ය මේ යුගයේ පවත්වන ලද අද්විතීය උත්සවශ්‍රීයෙන් මෙන්ම චාරිත්‍රානුකූලව සිදුවූ සංස්කෘතික මංගල්‍යයකි.

තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය සනිටුහන් කිරීම සඳහා රාජකීය තැපෑල (Royal Mail) මුද්දර හතරක් 2023 අප්‍රේල් 28 දින නිකුත් කරන ලදී. රාජකීය තැපෑල විසින් මීට පෙර ඉතිහාසයේ දෙවතාවක් රාජාභිෂේක මුද්දර එළිදක්වා තිබේ. පළමුවැන්න 1937 මැයි 13 දින හයවන ජෝර්ජ් රජු වෙනුවෙන් සහ දෙවැන්න 1953 ජුනි 03 දින දෙවන එලිසබෙත් රැජින වෙනුවෙනි. මේ එම සම්ප්‍රදායේ තුන්වන අවස්ථාවයි.

සයිමන් තොම්සන් මහතා ප්‍රධාන විධායක ධූරය දරන රාජකීය තැපෑල විසින් බ්‍රිතාන්‍ය ඉතිහාසයේ නව පාලනයක සහ නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කෙරෙන මෙම ඓතිහාසික අවස්ථාව සැමරීම සඳහා වඩාත් සුදුසු තේමාවක් සහ සැලසුම්කරණයක් උදෙසා සම්මානලාභී නිර්මාණ ආයතනයක් වන අටෙලියේ (Atelier Works) සමාගම තෝරාගත් අතර, ඔවුන්ගේ ග්‍රැෆික් නිර්මාණ චිත්‍රාගාරය විසින් රාජකීය තැපැල් මුද්දර හතර නිර්මාණය කිරීමේ පසුබිම් පර්යේෂණ අරඹන ලදී.

Atelier Works හි හවුල්කරු ඉයන් චිල්වර්ස් පවසන පරිදි රජුගේ රුචිකත්වයන් සහ ක්‍රියාකාරකම් ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා ඔවුන් චාල්ස් කුමරු විසින් රචිත "Harmony" කෘතිය පරිශීලනය කර තිබේ. එම කෘතියේ අන්තර්ගතය රජුගේ දැක්ම පිළිබඳ මනා අදහසක් ලබාදුන් බවත්, කෘතියේ කවරය නිර්මාණය කළ බ්‍රිතාන්‍ය චිත්‍ර ශිල්පී ඇන්ඩෘ ඩේවිඩ්සන් (Andrew Davidson) ගැන පැහැදී මුද්දර ව්‍යාපෘතිය සම්පුර්ණ කිරීමට ඔහුට පැවරූ බවත් ඔහු පැවසීය. "Harmony: A New Way of Looking at Our World" යනු ටෝනි ජුනිපර් සහ ඉයන් ස්කෙලි සමඟ චාල්ස් කුමරු විසින් 2010 දී සම්පාදිත කෘතියක් වන අතර, එහි දේශගුණික විපර්යාස, ගෘහ නිර්මාණ ශිල්පය සහ කෘෂිකර්මාන්තය ඇතුළත් ලෝකයේ පරිසරය පිළිබඳව අවධානය යොමු කර ඇත.

මෙම රාජකීය සමරු මුද්දර මාලාව රජුගේ රාජාභිෂේකය මෙන්ම වසර ගණනාවක් පුරා ඔහු අනුග්‍රහය දැක්වූ විවිධ මාතෘකා සිහිපත් කරන කරමින් ඔහුගේ කැමැත්ත හෝ කැපවීම මත පදනම්ව සකස් කර ඇත. වසර ගණනාවක රාජ්‍ය සේවය පුරාවට උතුමාණන් විසින් ප්‍රමුඛත්වය ගෙන ඇති හේතු කිහිපයක් නිරූපිත එම සමරු මුද්දර නිකුතුව තුලින් රජු පිළිබඳව සැබෑ කියවීමක් ලෝකයාට ගෙන යයි.

මෙම රාජාභිෂේක මුද්දර හතරෙන් නියෝජනය කෙරෙන්නේ 3 වන චාල්ස් රජුගේ ඔටුනු පැළඳීමේ උත්සවය මෙන්ම ඔහුගේ වසර ගණනාවක සමාජ සේවයේ සුවිශේෂී මාතෘකා කීපයකි. සංස්කෘතික විවිධත්වය සහ ප්‍රජාව, ඔහු දැන් නායකත්වය දෙන පොදුරාජ්‍ය මණ්ඩලයේ ගෝලීය බැඳීම්, තිරසාරත්වය සහ ජෛව විවිධත්වය ඉන් නිරූපිතය.

1. The Coronation stamp

දම් පැහැති රාජාභිෂේකය නිරූපිත මුද්දරය: දම් පැහැය සාමාන්‍යයෙන් රාජකීය වර්ණයක් ලෙස සලකනු ලබයි. මුද්දරයෙන් නිරූපනය වන්නේ රාජාභිෂේකයේදී සිදුවන චාරිත්‍රානුකූල කටයුතුය. 3 වන චාල්ස් රජු සාන්ත එඩ්වඩ්ගේ ආසනය හෝ එඩ්වඩ් රජුගේ ආසනය ලෙස ද හැඳින්වෙන රාජාභිෂේක ආසනයේ පරෙවි යෂ්ඨිය සහ කුරුසිය යෂ්ඨිය සහිතව අසුන්ගෙන සිටින අතර, කැන්ටබරි අගරදගුරු තැන 13 වන සියවසේ සිට සම්ප්‍රදායිකව භාවිතා කර ඇති සාන්ත එඩ්වඩ්ගේ ඔටුන්න 3වන චාල්ස් රජුගේ හිස මත පිහිටුවයි. පරෙවි යෂ්ඨිය "සාධාරණත්වයේ සහ ක්ෂමවේ යෂ්ඨිය" ලෙස හැදින්වෙන අතර, එය රජුගේ අධ්‍යාත්මික භූමිකාව නියෝජනය කරයි. කුරුස යෂ්ඨිය නියෝජනය කරන්නේ රාජකීය බලය සහ යුක්තියයි. වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානය ඉදිරිපිට ගිනිකෙළි සංදර්ශනයක්, සම්ප්‍රදායික වීදි සාදයක්, එක්සත් රාජධානිය පුරා පැවැත්වෙන අචාර වෙඩිමුර සහ පොදු ජනතාව රාජාභිෂේකය සජීවීව නරඹන ආකාරය මෙම සැලසුමෙන් නිරූපිතය. එහි වටිනාකම පළමු පන්තියේ තැපැල් ගාස්තුවයි.

2. The Diversity and Community stamp:

විවිධත්වය සහ ප්‍රජාව යන තේමාව නිල් වර්ණයෙන් හැඩකර තිබේ. එහි යුදෙව්, ඉස්ලාම්, ක්‍රිස්තියානි, සීක්, හින්දු සහ බෞද්ධ ආගම් නියෝජනය කෙරෙන රූප ඇතුළත් බව සඳහන්ය. පසුබිමේ බ්‍රිතාන්‍යයේ ග්‍රාමීය සහ නාගරික පසුබිමේ සහ එක්සත් රාජධානිය වටා ඇති විවිධ පූජනීය ස්ථාන නිරූපිතය. මෙම නිර්මාණය බහු ඇදහිලි ප්‍රජාවක් සහ සමකාලීන බ්‍රිතාන්‍ය සමාජයේ සංස්කෘතික විවිධත්වය පිළිබිඹු කිරීමක් වන අතර, මුද්දරය පළමු පන්තියේ තැපැල් ගාස්තුව සහිතය.

3. The Commonwealth stamp:

පොදුරාජ්‍ය මණ්ඩලය නිරූපිත මුද්දරය රතු පැහැයෙන් සැලසුම් කර තිබේ. එමගින් පොදුරාජ්‍ය මණ්ඩලීය රැස්වීමක්, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උත්සවයක් සහ පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල් කීපයක් ජාතික ධජ මෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලීය යුද සොහොන් සුසාන භූමියක් නිරූපිතය. ගෝලීය වෙළඳාම, සහයෝගීතාව, ප්‍රජාතන්ත්‍රවාදය සහ සාමය එම මුද්දරයෙන් නිරූපණය කරයි. එහි වටිනාකම පවුම් 2.20කි.

4. The Sustainability and Biodiversity stamp:

තිරසාරභාවය සහ ජෛව විවිධත්වය මුද්දරය හරිත වර්ණයෙන් නිරුපණය කර ඇත. මුද්දරය මත ස්වභාවික භූ දර්ශන, තිරසාර ගොවිතැන් ක්‍රම, ජල විදුලි බලය සහ සූර්ය පැනල වැනි පුනර්ජණනීය බලශක්ති ප්‍රභවයන් ඇතුළුව තිරසාරත්වය සහ ජෛව විවිධත්වය නියෝජනය කිරීමේ රූප නිර්මාණය කර තිබේ. වනාන්තර, වන මල්, තණබිම් සහ පරාගණය කරන කෘමීන්, පඳුරු පේලියක් මගින් වැටක් සෑදීමේ ක්‍රියාවලිය (Hedge-laying), මීමැසි පාලනය වැනි සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය පිළිබිඹු වන දර්ශනයක් අන්තර්ගතය. සංරක්‍ෂණයේ, ජෛව විවිධත්වයේ සහ ස්වභාවධර්මය සමඟ වැඩ කරන සමාජයක වැදගත්කම මෙම මුද්දරය මගින් ඉස්මතු කරයි.

Souvenir sheet - සිහිවටන පත්‍රිකාව:

සිහිවටන පත්‍රිකාව පුරා අපුර්ව උද්භිද සැරසිලි මෝස්තරයක් දක්නට ලැබේ. එංගලන්තයේ රෝස (Rose), ස්කොට්ලන්තයේ තිසල් (Thistle), වේල්සයේ ඩැෆොඩිල් (Daffodil) සහ උතුරු අයර්ලන්තයේ ෂැම්රොක් (Shamrock) මල් එහි සංකේතවත් කෙරෙනා අතර චාල්ස් රජුගේ නිල ලංජනයේද මෙම මෝස්තරය දක්නට ලැබේ. මෘදු නිහතමානීකම, ගැඹුරු වැදගත්කම සහ ජාතික එකමුතුව දනවන මෙම පත්‍රිකා සැලසුම එක්සත් රාජධානියේ නව යුගයේ ආරම්භය මුර්තිමත් කරයි.

සියලුම මුද්දර මෙන්, නිර්මාණයේ වඩාත්ම ආකර්ශනීය අංගයක් වන්නේ කුඩා පරිමාණයෙන් අඟල් 8ක ලී කැටයම් මත (wood engraving) විස්තරය අහිමි නොවී මුද්දර ආකෘතිය නිර්මාණය කිරීමයි. ලී කැටයම් මත පදනම් වී මෙම සුවිශේෂී නිකුතුව සඳහා මුද්දර නිර්මාණය කරන ලද්දේ සමස්ත තේමාවට වඩාත් සමීප වන ලෙසින් බව පැවසේ.

සම්ප්‍රදායක රාජාභිෂේක මුද්දර සැමරුම් අතික්‍රමණය කරමින් මෙවර නිකුත් කරන ලද ප්‍රගතිශීලි මුද්දර කට්ටලය එක්සත් රාජධානියේ නව දිශානතිය පෙන්නුම් කරයි. වෙනස් තේමාවක් නිරූපණය කරන මෙම මුද්දර නිකුතුව සාම්ප්‍රදායික ශිල්පීය ප්‍රවේශයකට සමකාලීන ගැටළු නියෝජනය කළ හැකි බව (Proves that a traditional craft approach can represent contemporary issues) ඔප්පු කරනා බවට කදීම නිදසුනකි. එය සැබවින්ම රජතුමාගේ කැමැත්ත හෝ කැපවීම මත පදනම්ව නිකුත් කරන ලද මුද්දර බව නිසැකය.

ඔබ මුද්දර දෙස ගැඹුරින් බලන විට විවිධ උනන්දුවක් දක්වන කරුණු හෙළිදරව් වේ (When you look deeper into the stamps, various points of interest are revealed). රාජාභිෂේක සමරු මුද්දර හුදෙක් තැපැල් උපකරණයක් හෝ මුද්දර සඳහා උනන්දුවක් දක්වන අයගේ එකතුකිරීමේ වස්තූන් පමණක් නොවන, දේශපාලන සහ මතවාදී පණිවිඩ වාහකයන් බව පැහැදිලිය. රාජාභිෂේකයට සතියකට පමණ පෙර නිකුත් වූ මෙම මුද්දර කාණ්ඩය එක්සත් රාජධානිය, පොදුරාජ්‍ය මණ්ඩලය සහ පොදුවේ සමස්ත ලෝකය ගැන රජුගේ පරිකල්පන පිළිබඳ අධ්‍යයනයකි. 3 වන චාල්ස් රජුගේ නාමයෙන් නිකුත් කෙරෙන මෙම සමරු මුද්දර සංග්‍රහය ඔබට ආරාධනා කරන්නේ එක්සත් රාජධානිය පිළිබඳව අලුත් කියවීමකටය.

දෙවියන් රජුව ආරක්ෂා කරත්වා ..!! God Save the King !!



© kiyawanamuddara 2020 | Solution by 4meli.com