kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


10
February
2023

නිදහස් පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය,1948 පෙබරවාරි 10

රාජ්‍ය පාලනය පිළිබඳව ඉදිරි වසර සඳහා වන සැලැස්මට අදාළ යෝජනා හා ක්‍රියාවලිය හෙවත් රජයේ වැඩ සැලැස්ම "රාජාසන කතාව" ලෙස සැලකේ. රාජාසන කතාව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායේ අංගයකි. බ්‍රිතාන්‍යයේදී රාජාසන කතාව සිදුකරන්නේ මහ රැජන හෝ ඇගේ නියෝජිතයකු විසිනි. එහෙයින්, නව පාර්ලිමේන්තු සභාවාරයක් පටන් ගැනීමේදීම රජුගේ නියෝජිත වශයෙන් අග්‍රාණ්ඩුකාරවරයා විසින් වාර්ෂිකව රාජාසන කතාව ඉදිරිපත් කිරීම එවකට ලංකාවේද පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව පැවති සම්ප්‍රදාය විය. රාජාසන කතාව නිමවීමෙන් පසු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් දෙපළක් විසින් කරනු ලබන යෝජනා ස්ථිරත්වයෙන් එය සභා සම්මත වේ. ඉක්බිතිව දින වකවානු නියම කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේ ඒ පිළිබඳව පැවැත්වෙන විවාදයෙන් අනතුරුව සිදුවන ඡන්ද විමසීමකින් එම රාජාසන කතාව පාර්ලිමේන්තුව විසින් අනුමත කිරීම හෝ නොකිරීම ප්‍රකාශයට පත්වේ.

එම සම්ප්‍රදාය අනුව යමින්, ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වන තෙක් 1948 සිට ලංකාව බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස් වීමෙන් පසුව වුවද සෙංකෝලය යටතේ රාජාසන කතාව ඉදිරිපත් කිරීම නව සභාවාරය ආරම්භ වීමේදීම සිදුවිය. නිදහස් පාර්ලිමේන්තුවේ ප්‍රථම රාජාසන කතාව 1948 පෙබරවාරි 10 දින සිදු කරන ලද අතර, ඊට සමගාමීව පාර්ලිමේන්තුවේ නව සභා වාරය විවෘත කිරීමද සිදුවිය.

ඒ අනුව, මේ වසරේදී නිදහසේ 75 වන සංවත්සරය මෙන්ම, නිදහස් පාර්ලිමේන්තුවේ 75 වන සංවත්සරය ද යෙදෙන බව මතක් කර දිය යුතුය.

1948 දී ලංකාවේ නිදහස් සැමරුම් සහ ස්තුති පුද කිරීමේ උත්සව තැනින් තැන පැවැත්වුණි. මංගල නිදහසේ නිල උත්සව මාලාව 1948 පෙබරවාරි 4 වැනිදා සිට 18 වැනිදා දක්වා සැලසුම් කර තිබු අතර, එහි උත්කර්ෂය පෙබරවාරි 10 වැනි දිනට යෙදී තිබුණි. බ්‍රිතාන්‍ය මහරජුගේ නියෝජිතයා ලෙස ග්ලොස්ටර් ආදිපාදවරයා ශ්‍රී ලංකාවට නිදහස ලැබීම ප්‍රකාශයට පත් කිරීම සහ ඩොමීනියන් පාර්ලිමේන්තුව විවෘත කර රාජාසනයේ කතාව පැවැත්වීමද එදින සැළසුම් කල විශේෂ සිදුවීම් ය.

"ලංකාවේ අග්‍රාමාත්‍යවර ඩී. ඇස්. සේනානායක මහතා විසින් ආදිපාදතුමා ඉදිරියේදී සිංහල කොඩිය එසවීමත් එයින් අනතුරුව සිංහල භාෂාවෙන් කථාවක් කිරීමත් ඊයේ ටොරින්ටන් ස්ක්ව්යර් හි තනන ලද විශේෂ පාර්ලිමේන්තු සභා ශාලාවේදී ග්ලොස්ටර් ආදිපාදතුමා ලංකාවේ ඩොමීනියන් පාර්ලිමේන්තුව විවෘතකිරීමේ උත්සවයේ විශිෂ්ඨ අංගවලින් එකක් වූයේය" යනුවෙන් 1948 පෙබරවාරි 10 වැනි දින නිදහස් ලංකාවේ සිදු වූ සිදුවීම් අළලා "ලක්මිණ" පුවත්පත "ආදිපාද යුවලගේ මංගල චාරිකා ගමන" යන සිරස්තලය යටතේ වාර්තා කර තිබේ.

"ලංකාවේ අභිනව නිදහස් තත්වය යටතේ ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථම සභාවාරය විවෘත කිරීමට හේතුව මෙම දිවයිනට පැමිණ මහරජාණන් වහන්සේ වෙනුවෙන් ප්‍රකාශ කර සිටින ලෙස මහරජාණන් වහන්සේ විසින් නිකුත් කරන ලද රාජකීය අධිකාරී පත්‍රයකින් මට අණ ලැබී තිබේ. මහරජාණන් වහන්සේගේ සිංහාසනයෙන් කරන කථාව තමුන්නාන්සේලා ඉදිරියේදී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මණ්ඩලයට ප්‍රකාශ කිරීමට මා තෝරාගනු ලැබීම මට අතිශය ප්‍රීතියට කරුණකි" යනුවෙන් පවසමින් ග්ලොස්ටර් ආදිපාදවරයා සිංහාසනයේ කථාව සිදුකරන ලදී. ලංකා නියෝජිත මන්ත්‍රී සභාවේ සභානායක ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා විසින් ආදිපාදවරයාගේ කතාවට පිළිතුරු කතාව සිදු කරන ලද අතර, සෙනට් සභාවේ සභාපති ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතා විසින් ස්තුති කතාව සිදු කෙරිණි.

නිදහස ලැබීම උත්සවාකාරයෙන් ප්‍රකාශයට පත්කරනු ලැබීම සහ ස්වාධීන ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය ආරම්භ කිරීම සඳහා සුදුසු රැස්වීම් ශාලාවක් නොතිබූ හෙයින් ඒ සඳහා රජයේ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ හපුගොඩ රන්කොතගේ ප්‍රේමරත්න (එච්. ආර්. ප්‍රේමරත්න) නම් ප්‍රතිභාපූර්ණ ඉංජිනේරුවරයාගේ මූලිකත්වයෙන් රාජකීය ගුවන් හමුදාව ටොරිංටන් චතුරශ්‍රයේ ගොඩ නඟා තිබූ ගුවන් යානා අංගනයක් අගනා උත්සව ශාලාවක් බවට පරිවර්තනය කෙරිණි. මෙම විචිත්‍ර උත්සව ශාලාවේ අසිරිය මතු පරම්පරාවලට ද දැක ගත හැකි ලෙසින් ප්‍රේමරත්න මහතා විසින්ම විශාල ප්‍රමාණයේ වෛවර්ණ තෙල් සායම් සිතුවමක් නිර්මාණය කරන ලදී. එවකට පැවතුනේ කලු-සුදු සේයාපට පමණක් නිසාවෙන් ජායාරූප සහ සිනමාපටවලින් නිර්මාණයේ සැබෑ හැඩය හඳුනාගත නොහැකිවන බව දුටු ප්‍රේමරත්න මහතා මෙලෙසින් එම සිදුවීම එම අවස්ථාවේදීම චිත්‍රයට නගන ලදී. පසු කලෙක හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් මෙම චිත්‍රය මිලට ගෙන කොළඹ ජනාධිපති මන්දිරයේ සිතුවම් ගොන්නට එක් කල අතර, එය නිදහස වෙනුවෙන් වැඩිපුරම භාවිතා වන දෘශ්‍ය රූප අතුරින් එකකි.

මෙම අගනා සිහිවටනය පදනම් කරගෙන "කියවන මුද්දර" අපගේ යෝජනාවක් පරිදි යථෝක්ත සිතුවම නුදුරේදීම සමරු මුද්දරයක් බවට පත්වීමට නියමිතය.

මුද්දර යනු ජාතියක ස්‌වයං ප්‍රතිරූපය නියෝජනය කිරීමේ සහ ප්‍රතිනිෂ්පාදනයේ කොටසක් (Stamps are a part of the representation and reproduction of a nation’s self-image) ලෙස හඳුනාගැනීමට අප හුරු විය යුතුය. මුද්දර මතකයන් (Philatelic remembrances) ජාතික අනන්‍යතාවයේ කොටසක් ලෙස දැකිය හැක්කේ එවිටය.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com