kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


26
December
2022

කලා රසිකත්වය සමීකරණයේ කොටසක් නොවීම හෙවත් උපස්තිතවාදයේ සියුම් හැඩතල තැපැල් මුද්දරයෙන් කියවීම.

ලෝක කලා ඉතිහාසයේ අද්විතීය නිර්මාණ පසුබිම් කරගෙන සැලසුම් කරන තැපැල් මුද්දර, කලාව පිළිබඳව අලුත් ආකාරයක අධ්‍යයනයක් හඳුන්වා දෙනු ලබයි. "උරුමයේ නව ආදර්ශයක්" (A new paradigm of heritage) ලෙස සලකන තැපැල් මුද්දරය, ජාතියේ නිල සංකේතයක් ලෙස පිළිගැනෙන අතර, සංස්කෘතික උරුමය, ඉතිහාසය, අනන්‍යතාවය සහ සංස්කෘතික ජීවිතයේ සියලුම අංග බෙදා හැරීමට සහ ප්‍රවර්ධනය කිරීමට සැලකිය යුතු දායකත්වයක් දක්වයි. සංස්කෘතිය, ආර්ථිකය, අධ්‍යාපනය, ඉතිහාසය හා සංචාරක යනාදී නොයෙක් ක්ෂේත්‍රවල තැපැල් මුද්දරය වටා බොහෝ ජාතික හා ජාත්‍යන්තර ක්‍රියාකාරකම් සංවිධානය වී ඇත. සැබවින්ම තැපැල් මුද්දර, දර්ශනයේ, ආර්ථිකයේ, කලාවේ සහ අධ්‍යාපනයේ විවිධ අංශ සමඟින් හඳුනාගත හැකි අතර, ඒ සඳහා කදිම නිදසුනක් එක්සත් ජනපද තැපැල් සේවය (United States Postal Service) මගින් එළි දක්වන ලද පළමු පන්තියේ තැපැල් ගාස්තුවට අදාල 2022 නත්තල් සමරු මුද්දරයෙන් (Christmas Forever Stamp) ප්‍රකාශිතය.

එක්සත් ජනපද තැපැල් සේවය “කන්‍යාව සහ දරුවා” (Virgin and Child) නමින් නත්තල් මුද්දරයක් 2022 සැප්තැම්බර් 22 වෙනිදා නිකුත් කරන ලදී. මෙම මුද්දරය සඳහා පදනම් කරගත් අග්‍රගන්‍ය සිතුවම බොස්ටන්හි ලලිත කලා කෞතුකාගාරයේ (Museum of Fine Arts Boston) හි උපස්ථිතවාදී කලාව සහ ඉන් ඔබ්බට ගැලරියේ (Impressionism and Beyond Gallery) සාඩම්බර එකතුවේ අගනා මිණිකැටයකි.

වසර 1510 කට අසන්න කාලසීමාවක දී නිම කරන ලද කන්‍යා මරියතුමිය ජේසු බිලිඳුව උකුලේ තබාගෙන සිටින මුදු මොළොක් ආකාරය නිරූපිත රූප දෙක දීප්තිමත් ලෙස ආලෝකමත්ව ඇති අතර අඳුරු පසුබිමක් සහිතය. රතු සහ කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසුණු කන්‍යා මරියතුමියගේ උකුලේ කෙලිලොල්ව පසුවන දරුවාගේ සජීවී ස්වරුපය විශේෂයෙන් හඳුනා ගත හැක. ඔහුගේ වම් අත සමබරතාවය සඳහා ඔහුගේ මවට එබීම, ඔහුගේ දකුණු අත ඔහුගේ ඇඟිලිවලින් සෙල්ලම් කරමින්, පිටතට බලන විට ඔහුගේ ශරීරය ඇඹරී යාම සහ රන්වන් හිසකෙස් වල රැලි සියුම් ලෙසද ඉදිරිපත් කර ඇත. මවක් සහ ඇගේ දරුවා අතර ඇති සුමුදු බැඳීම නිරූපණය කරන මෙම නිර්මාණය ඉතාලි පුනරුදයේ ක්‍රිස්තියානි කලාව තුළ සුවිශේෂී බව විදහා දක්වන කදිම නිදසුනකි. 1480 සිට 1530 දක්වා කාලය තුළ සහජීවනය සහ කරුණාව (Harmony and Grace) අගය කළ ඉහළ පුනරුද චිත්‍ර කලාවේ කදිම උදාහරණයක් ලෙසද කලා විචාරකයන් මෙම සිතුවම හඳුන්වයි.

ඉතිහාසඥයින් මෙම චිත්‍ර ශිල්පියාගේ අනන්‍යතාවය පිළිබඳව බොහෝ කලක සිට අනුමාන කර ඇති අතර, මෙම චිත්‍රය සහ ඒ ආශ්‍රිත සිතුවම් 16 වන සියවසේ විවිධ කලාකරුවන්ගේ නම් සමඟ සම්බන්ධ කර ඇත. “කන්‍යාව සහ දරුවා” සිතුවමේ චිත්‍ර ශිල්පියා ලෙස අනුමාන කර ඇත්තේ 16 වන සියවසේ මුල් කාර්තුවේ සිට ප්‍රසිද්ධියට පත්වූ ස්කැන්ඩිචි විලාපයේ ස්වාමියා (Master of the Scandicci Lamentation) ලෙස අන්වර්තනාමයෙන් හැඳින්වූ වූ ෆ්ලොරෙන්ටියානු (Florentine ) කලාකරුවෙකි. "ස්කැන්ඩිචි විලාපයේ ස්වාමියා" යන නාමයට පදනම් වී ඇත්තේ ඉතාලියේ ෆ්ලෝරන්ස් පළාතේ ස්කැන්ඩිචි නගරයේ පල්ලියක් සඳහා නිර්මාණය කරන ලද “මියගිය ක්‍රිස්තුස් පිළිබඳ වැළපීම ” (The Lamentation on the Dead Christ) නම් සිතුවමේ ශෛලිය යථෝක්ත සිතුවම සමඟ සැසදෙන බැවිනි.

ඉතාලියානු පුනරුද කලාකරුවන් බොහෝ විට ඔවුන්ගේ සමකාලීනයන්ගේ සිතුවම් අනුකරණය කිරීමට පෙලඹී ඇත. 1506 සහ 1508 අතර ෆ්ලෝරන්ස්හි දේවස්ථානයක් සඳහා චිත්‍ර ශිල්පී රෆායෙල් (Raphael) විසින් නිම නොකළ සිතුවමක් වන "මැඩෝනා ඔෆ් ද බල්ඩචිනෝ" ( Madonna of the Baldacchino) හි කේන්ද්‍රීය රූප දෙකේ කන්‍යා මරියතුමියගේ සහ ක්‍රිස්තු දරුවාගේ ඉරියව්ව පදනම් කරගෙන ෆ්ලොරෙන්ටියානු චිත්‍ර ශිල්පියා මෙම සිතුවම නිර්මාණය සිදුකර ඇති බව විද්වතුන් විශ්වාස කරති.

මේ පිළිබඳව අදහස් දක්වමින් "ලෝකයේ වඩාත්ම ගෞරවයට පාත්‍ර වූ රූපවලින් එකක් මෙවර නත්තල් මුද්දරයක් ලෙස තැපැල් සේවයේ නියෝජනයට කැප කිරීමට ලැබීම මට ගෞරවයකි." යනුවෙන් එක්සත් ජනපද තැපැල් සේවා සංවිධානයේ සංවර්ධන උප සභාපති ජෙනී උටර්බැක් (Jenny Utterback) පවසයි. තවද "පසුගිය වසරවල අනෙකුත් එක්සත් ජනපද කෞතුකාගාරවල කෘති, මුද්දර ගෞරවය සඳහා තෝරාගෙන ඇති ආකාරය දෙස ඊර්ෂ්‍යාවෙන් බලා සිටි අපිට, මෙවර එම අවස්තාව හිමිවීම ගැන ඇත්තේ අප්‍රමාණ සතුටක්" බව බොස්ටන්හි ලලිත කලා කෞතුකාගාරයේ යුරෝපා සිතුවම් දෙපාර්තමේන්තු සභාපති ෆෙඩ්රික් ඉල්ච්මන් (Frederick Ilchman) පවසයි. "කලාව දකින්න ඕන. ශතවර්ෂ ගණනාවක් පැරණි කලාකරුවාගේ කෘති නිරීක්ෂණය කිරීමට කෙනෙකු නොමැති වූ විට අර්ථයෙන් කොටසක් අහිමි වේ. චිත්‍රයක් හෝ මූර්තියක් යමෙකුගේ අට්ටාලයේ කෙළවරක හෝ කෞතුකාගාරයක, දේශගුණය පාලනය කරන සුරක්ෂිතාගාරයක සිරකර තැබූ විට එය අගය කරනු නොලැබේ. වසංගතයෙන් පසුව අපි අලුත් ප්‍රවේශයකින් ඉදිරියට ආවෙමු. එක්සත් ජනපද තැපැල් සේවයට ස්තූතිවන්ත වන්නට අපගේ සිතුවමේ රූපය ලියුම් කවරවල ඉහළ-දකුණු කෙළවරේ ලොව පුරා සංසරණය වේ. මෙම වසරේ නත්තල් මුද්දරය ලෙස එය හෘදයාංගම නිවාඩු කාඩ්පත්, ලිපි සහ ස්තුති සටහන් මිලියන සිය ගණනක දක්නට ලැබේ. තවමත් හඳුනා නොගත් අපගේ චිත්‍ර ශිල්පියා සහ මෙම සිතුවම අපට පරිත්‍යාග කල එවන්ස් මහත්මිය ඉන් සතුටු වන බව නිසැකය" යනුවෙන් ෆෙඩ්රික් ඉල්ච්මන් මහතා වැඩිදුරටත් පවසයි .

මෙම අගනා කලා කෘතිය සමරු මුද්දරයක් ලෙසින් ප්‍රතිනිෂ්පාධනය වීම ලෝක මුද්දර ඉතිහාසයට ලබාදෙන්නේ මහඟු ආදර්ශයකි. ඊට සාපේක්ෂව එම සංකල්පය ලාංකීය මුද්දර ඉතිහාසය සඳහාද ගලපා ගැනීම කල යුතුය. අනර්ඝ සහ පොහොසත් කලා ඉතිහාසයක් සහිත ලාංකීය සිතුවම් කලාවේ ස්වර්ණමය නිර්මාණ පොදුජන කලා රසිකත්වයෙන් ඉතා බැහැරය. වත්මනෙහි ඒවා පුද්ගලික කලාගාර, පුද්ගලික එකතූන් සහ ප්‍රවේශ විය නොහැකි මන්දිර ආදී තැන්හි සුරක්ෂිතව පවතී. සැබවින්ම ඒවා ඔවුන්ගේ පුද්ගලික ධනය වුවද, ජාතියක් ලෙස සැලකූ විට සැමට පොදුවේ රස විඳිය හැකි කලා පරිශීලක විය යුතු බව අපගේ අදහසයි.

ලංකාවේ විහාර බිතුසිතුවම් කලාව විප්ලවීය වෙනසකට ලක්කල සාර්ලිස් මාස්ටර් හා සොයිලිස් මෙන්ඩිස් ගේ සිතුවම් හැරුණු කොට, මුදළිඳු එස්. සී. ජී. එස්. අමරසේකර, ඩේවිඩ් පේන්ටර්, ජේ. ඩී. ඒ. පෙරේරා, ජෝර්ජ් කීට්, මංජු ශ්‍රී,ජ ස්ටින් දැරණියගල, අයිවන් පීරිස්, ලකී සේනානායක, සේනක සේනානායක හා ගාමිණී රත්නවීර වැනි විශිෂ්ටයන්ගේ සිතුවම් පොදුජන ඇසට හසු නොවන මානයක පවතී. සජීවීව දැක ගැනීමට අවසර නොමැති හෝ දුර්ලභ අවසර සහිත එවැනි කලා කෘති පොදු ජන රසිකත්ව උදෙසා අගනා සමරු මුද්දර බවට පත් කිරීමට සුදුසු යැයි අපි යෝජනා කරමු.

කලා රසිකත්වය, සමීකරණයේ කොටසක් නොවූ විට, කෘතියක සැබෑ ආශ්වාදය පරිපුර්ණ නොවන බව හොදින් වටහා ගත යුතුය. කලා රසිකයගෙන් ව්‍යුක්ත හුදකලාව තැන්පත් කර ඇති අග්‍රගන්‍ය නිර්මාණ නරඹන්නා එනතුරු බලා සිටිනා නමුදු, ඒ සඳහා විකල්පයක් ලෙසින් මුද්දර අවකාශයක් විවර කිරීමට හැකි නම් කොතරම් අගනේද? ඒ සඳහා මේ හොදම කාලය නොවන්නේද?

ඔබත් නත්තලේ ආශ්වාදය කලාව සමඟ විඳින්න...



© kiyawanamuddara 2020 | Solution by 4meli.com