kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


03
September
2021

ඩිජිටල් යුගයේ අත් අකුරු සැප්තැම්බර් 01 වන දිනට යෙදී තිබුන ලෝක හසුන්පත් ලිවීමේ දිනය - World Letter Writing Day වෙනුවෙනි

ඩිජිටල් යුගයේ අත් අකුරු
සැප්තැම්බර් 01 වන දිනට යෙදී තිබුන ලෝක හසුන්පත් ලිවීමේ  දිනය - World Letter Writing Day වෙනුවෙනි
සෑම වසරකම සැප්තැම්බර් 1 වෙනිදා  "හසුන්පත් ලිවීමේ  දිනය"යි. ලොව පුරා සිටින මිනිසුන්ට පෑනක් අතට ගෙන  කඩදාසි කැබැල්ලක් මත ඔවුනගේ නිදහස් අදහස් ගලායාමට ඉඩ වෙන්කර දෙන සුවිශේෂී දිනයයි. ඕස්ට්‍රේලියානු ජාතික රිචඩ් සිම්ප්කින් (Richard Simpkin) විසින් වසර 2014දී සමාරම්භ කරන ලද මෙම කටයුත්ත, අද වන විට ලොවපුරා ප්‍රචලිතව පවතී.
එමෙන්ම, සෑම වසරකම ජනවාරි දෙවන සතියේ සමරන "විශ්ව ලිපි ලියන සතිය" (Universal Letter Writing Week) ද පෑන සහ කඩදාසි රැගෙන යමෙකුට ලිවීමට අපව දිරිමත් කරයි.
තැපෑල හරහා එන අතින් ලියන ලද ලිපියක විශේෂත්‍වයක් ඇති බව ප්‍රතික්ෂේප කරන්නේ කවරෙක්ද? ඔබට ලැබුණු අත් අකුරින් ලියූ ලිපියක් ගැන සිතන්න. එය කෙතරම් උද්යෝගිමත්ද? ලිපියේ සටහනට අමතරව ලිපිය ලියන්නා ගැන එම  අත් අකුරු වලින් මවාගත් රූපය ඔබව අතීතයට රැගෙනයාම වළක්වාලිය හැකිද?
ලිවීම යනු ආතතියෙන් පෙලෙන කාලයකදී ඉන් අත් මිදීම සඳහා සැමටම  කළහැකි ඉතා සරල, නමුත් අගනා ව්‍යායාමයකි.
අකුරු, සජීවීව  සෑම දෙනාටම වේදිකාව විවර කර දෙන අතර, බලාපොරොත්තුව, අධ්‍යාපනය, ආදරය, අගය කිරීම, ගෞරවය, ස්තූතිය, සැනසීම සහ සහයෝගයේ පණිවිඩ සහිත  ලිපි හුවමාරු කර ගන්නා ලෙස ලෝකයෙන්ම ඉල්ලා සිටී. මෙම වසංගත සමය ඔබට දැනුනේ කෙසේද? ඉතිහාසයේ ඔබේ කොටස ඔබ ලියන්නේ කෙසේද? කාට හෝ එය දැනගැනීමට, ලියන්න.  පෑනකට, කඩදාසියකට, ඔබේ සිතුවිලි නිදහසේ ගලා යාමට ඉඩ සලසාලසන්න.  අත් අකුරින් ලියූ  ලිපියක් කියවීම චිත්තරූප මවා ගැනීමකි; ඒකාකාරී භාවයෙන් අත් මිදීමකි.
පර්සියාවේ ඇටෝසා රැජින ක්‍රිස්තු පූර්ව 500 දී පළමු අත් අකුරු ලිපිය ලීවාය. දැනට පවතින වසංගතය සෑම කෙනෙකුටම නැවත අත් අකුරින් ලිපි ලිවීම ගැන අපට සිහිපත් කරදෙයි. විශේෂයෙන්ම, පවතින  තොරතුරු අධිවේගී මාර්ග වල (information superhighway) අත් අකුරින් ලියවෙන කිසිවක් පරාජය නොවන බව වර්තමානයේදී භාවිතයෙන් පෙන්වා දී ඇත. හුදකලාව සිටින අයට, වචන; සිය ආත්මයන් ඔසවා තබයි; මතකයන් අවදි කරවයි; හැඟීම් පුබුදුවාලයි.  එය කෙටි පණිවිඩයකට හෝ ඉක්මන් ඇමතුමකට වඩා  වඩා වැඩි යමකි. එය, සැබෑ ස්පර්ශය සහ සැනසිල්ල ගෙන දෙයි.
නවකතා, කෙටිකථා, ගීත සාහිත්‍යය, සිනමාව වැනි ප්‍රකාශන වල මෙවැනි ලිපි ගනුදෙනු අපි කොතෙකුත් දැක ඇත. සැබවින්ම ඒවා අපගේ මතකයේ තවමත් සැරිසරනවා නොවේද?
හසුන්පත් නවකතා (Epistolary Novel) යනු හසුන්පත් හෙවත් ලිපි ගනුදෙනුවට විශේෂ ස්ථානයක්  හිමි වන ප්‍රබන්ධ රචනා මාර්ගයකි. නව ප්‍රබන්ධ සාහිත්‍යයේ මුල් අවස්ථාවේදී හසුන්පත් නවකතාව එක් ප්‍රබන්ධ රචනා ක්‍රමයක් වූයේය. ලතින් බසින් උපුටා ගන්නා ලද Epistle යනු ලිපිය, සන්දේශය යන අර්ථවත් පදයකි. එබැවින් හසුපත් නවකතාවේ විශේෂ ලක්ෂණය වන්නේ අක්ෂර වල සත්‍යතාව පිළිබඳ හැඟීමක් ඇති කිරීම උදෙසා ලියුම් මඟින් චරිත හා සිද්ධි විකාශනය වීමයි. නූතන ප්‍රබන්ධ කථා රචනයේ ආරම්භක අවස්ථාවේ සැමුවෙල් රිචඩ්සන් (Samuel Richardson) නම් ලේඛකයාගේ පමෙලා (Pamela) නම් කෘතිය සකස් වී ඇත්තේ මේ හසුන්පත් පදනම් කර ගනිමිනි.
නිකලස් ස්පාර්ක්ස් (Nicholas Sparks) ද සිය නවකතා හරහා මෙවැනි හසුන්පත්  සඳහා විශාල ඉඩක් වෙන් කර දුන් ලේඛකයෙකි. ඔහුගේ 'The Notebook', 'Dear John', 'A Message in a Bottle', 'The Longest Ride', 'The Last Song' ඇතුළු කෘති බොහොමයක් මෙම හසුන්පත්වල ඇති හෘදයාංගම බැඳීම් අපට පසක් කරවයි. චිලී ජාතික කවියෙකු වන පැබ්ලෝ නෙරූඩා (Pablo Neruda) සමඟ  මිත්‍රත්වයක් ඇති කර ගන්නා  තැපැල්කරුවෙකු සම්බන්ධ ප්‍රබන්ධ කතාවක් වන ''The Postman" සිනමා කාව්‍යයේ,  කවියට ආදරය කිරීමට ඉගෙන ගන්නා  තැපැල්කරුගේ කතාව ඔබට හුරු පුරුදු ඇති. ද නෝට් බුක් (The Notebook) 2004 දී නිකලස් ස්පාර්ක්ස් විසින් රචිත  නවකතාව පදනම් කරගෙන ජෙරමි ලෙවන් (Jeremy Leven) සහ ජෑන් සර්ඩි (Jan Sardi) විසින් රචිත නික් කැසවෙට්ස් (Nick Cassavetes) විසින් අධ්‍යක්ෂණය කරන ලද ඇමරිකානු  චිත්‍රපටය හසුන්පත්ක මතකය අවධි කරන සිනමා සිත්තමකි.
නිකලස් ස්පාර්ක්ස් කතුවරයාගේ නිල ෆේස්බුක් පිටුවේ ලෝක හසුන්පත් දිනය වෙනුවෙන් මේ අගනා සටහනක් තබා ඇත .
“I wrote you 365 letters. I wrote you every day for a year. It wasn’t over… it still isn’t over.” - #TheNotebook
There is something special about receiving a handwritten letter, and sadly, it’s become a lost art to many. In honor of today being #WorldLetterWritingDay, I encourage you to grab a pen and write a letter to a friend, a loved one, or whoever it may be.
ඔබ කැමති, ආදරය කරන හෝ අගය කරන හෝ යම් දෙයක් ගැන එය දැන ගැනීමට අවශ්‍ය කෙනෙකුට ලිපියක් ලියන්න.
ඕනෑම කෙනකුට ලැබිය හැකි ලස්සනම, වඩාත්ම පෞද්ගලික ත්‍යාගය  අතින් ලියන ලද ලිපියක් යැයි අපි විශ්වාස කරමු.
ලියන්න; ඔබ වෙනුවෙන් ලියන්න; සෙස්සන්  වෙනුවෙන් ලියන්න; සොඳුරු සිතිවිල්ලක්, ධෛර්යවන්තකම ලබාදෙන සටහනක්, ආශීර්වාද ප්‍රාර්ථනයක් ලියන්න; මෙවන් ගෝලීය අර්බුදයකදී ශක්තිය, ධෛර්යය සහ ආදරය යන තේමාවන් මත ඔබගේ ආශිර්වාදය ලෝකයට පතුරවන්න; ඔබගේ ලිපිය, යමෙකුගේ  දවස දීප්තිමත් කරනු ඇත.
ලියන්න; ලිපියක් ලියන්න, සිනහවක් ගෙන එන්න ...
විශේෂ ස්තුතිය: මුදිතා ලක්මිනි මහත්මිය, පරිවර්තන පොත් සමූහය



© kiyawanamuddara 2020 | Solution by 4meli.com