26
November
2022
ශ්‍රී ලාංකේය ජාතියේ නිදහස් අරගලයට ජීවය දුන් අභීත සෙන්පතියකු අප අතහැර ගොස් අදට (2022 නොවැම්බර් 26) වසර 204 කි. අධිරාජ්‍යවාදී ඉංග්‍රීසි ආණ්ඩුව භීතියට පත්කරමින් ඌව වෙල්ලස්නෙන් ආරම්භ වූ සිංහලේ නිදහස් අරගලයට ජීවය දුන් රණශූර මොණරවිල කැප්පෙටිපොළ මහ නිළමේ ජාතියේ නිදහස වෙනුවෙන් සිය ජීවිතය කැපකරන ලද්දේ අද වැනි දිනකය.
කන්ද උඩරට රාජධානිය ඉංග්‍රීසීන් විසින් අත්පත් කරගෙන හිරු නොබසින අධිරාජ්‍යයට නතු කර ගැනීම සඳහා 1815 මාර්තු 2 වැනිදා උඩරට ගිවිසුම අත්සන් කරන ලදී. පැන වූ බදු බර, තාඩන පීඩන, අසාධාරණකම් ඉවසා දරා සිටිය නොහැකි වූ සිංහලයන් විසින් ඌව වෙල්ලස්සෙන් සිය නිදහස් අරගලය අරම්භ කළහ. එහි පෙරමුණ ගත් මොණරවිල කැප්පෙටිපොළ මහ නිලමේතුමා 1818 නොවැම්බර් 26 වැනිදා බෝගම්බර වැව අසලදී හිස ගසා මරා දැමීමට නියම විය.
ඉංග්‍රීසීන් විසින් වීර කැප්පෙටිපොළ මහ නිලමේතුමාගේ හිස එංගලන්තයට ගෙන ගොස් විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කළහ. එම හිස්කබල එඩින්බරෝ කෞතුකාගාරයේ තැන්පත් කර තිබී පසුව 1948 දී ග්ලෝස්ටර් ආදිපාදතුමා ඔහුගේ මෙරට සංචාරය දී යලි මෙරටට ගෙන එන ලදී. ජාතික කෞතුකාගාරයේ ටික කලක් තැන්පත් තිබූ මෙම කැප්පෙටිපොළ මහ නිලමේතුමාගේ හිස් කබල 1954 නොවැම්බර් 26 වැනිදා මහනුවර ශ්‍රී දළදා වහන්සේ අභියස මහමළුවේ තැන්පත් කර ස්මාරයක් ඉඳි කර තිබේ.
කැප්පෙටිපොළ මහ නිලමේතුමාගේ වීරත්වයට උඩරට ජනතාව ප්‍රතිචාර දැක්වූවේ "උඩ දුම්බර බිමිබියේ මොණරවිල අලුත් දෙවියෝ" යයි එතුමාව අමතනින් දේවත්වයට සමාන කරමිනි. එතුමා විසින් රට දැය සමය වෙනුවෙන් ඉටු කළ මෙහෙය සේම, එතුමා අවසන් වරට කළ ප්රාර්ථනාව මේ අන්මින් දේවත්වයට පාත්‍ර පාදක වන්නට ඇති බව විශ්වාස කෙරේ.
අමිතා වැදිසිංහ මහත්මිය ගායනා කරන "සෙංකඩගල පුර දළදා බුදු රැස්" ගීතයේ කැප්පෙටිපොළ දෙවියන් පිළිබඳව සදහන් වී තිබේ. අරිසෙන් අහුබුදු ශූරීන් විසින් රචිත එම ගී පද මෙලෙසිනි:
සෙංකඩගල පුර දළදා බුදු රැස්
විහිදෙන තුරු නැහැ වරදින්නේ
සිංහලයින් හට, සිංහල දේසෙට
සරණයි දළදා සමිදුන්ගේ ..
සාධු දළදා සමිදු පුදන්නට
මේවරත් අපි නුවර යමු
සාමයේ මල් රටට පිපෙන්නට
දළදා සමිඳුට භාර වෙමු
පෝයදාට දළදා සුදු බුදු රැස්
රට වට හත් වටයක් යන්නේ
එනිසයි ලක් දිව වෙරළේ වැලි කැට
මුතු කැට වා.ගේ බබලන්නේ
ලක්දිව රක්නා සම්දිටු දෙවියන්
පෙරහැර කාලෙට රැස්වෙන්නේ
කැප්පෙටිපොල දෙවියන්දෝ හිමියනි
එසබේ මුලසුන හොබ වන්නේ
© kiyawanamuddara 2020 | Solution by 4meli.com