kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


01
November
2022

බ්‍රිතාන්‍ය පුස්තකාලයේ මුද්දර එකතුව හරහා ඉතිහාසයේ රේඛා සොයා යන්න .... Trace the lines of history through the British Library's stamp collection

බ්‍රිතාන්‍ය පුස්තකාලය (The British Library) එක්සත් රාජධානියේ ජාතික පුස්තකාලය වේ. මෙය ලොව ඇති දෙවැනි විශාලතම පුස්තකාලය ලෙස සැලකේ. ප්‍රධාන වශයෙන් විමර්ශන පුස්තකාලයක් වන මෙහි පුස්තකාල ද්‍රව්‍යයන් මිලියන 150 ක් පමණ අඩංගුය. මෙම ද්‍රව්‍යමය එකතුව විවිධ රාජ්‍යයන්හි විවිධ භාෂාවන්ගේ මුද්‍රිත හා මුද්‍රිත නොවන නිමවුම්: එනම්, පොත්පත්, පුවත්පත්, වාර සඟරා, සංගීත තැටි, වීඩියෝ, පේටන්ට් හා වෙනත් දත්ත සංචිත, සිතියම්, පින්තුර හා මුද්දර ආදියෙන් සමන්විතය.

මුද්දර විනෝදයේ යෙදෙන්නන්හට බ්‍රිතාන්‍යය වැදගත් වන්නේ ලොව ප්‍රථම මුද්දරය නිර්මාණය කිරීමේ අවස්ථාවට හිමිකම්පෑම නිසා පමණක්ම නොවේ. බ්‍රිතාන්‍ය ජාතික පුස්තකාලයේ ඇති මිලියන 8කට වැඩි මුද්දර සහ තැපැල් ආශ්‍රිත අයිතම (Philatelic Collection) සහිත ලොව විශාලතම තොරතුරු එකතුව ඊට තවත් හේතුවකි. මෙහි ඉහළ බිම් මහලේ මුද්දර එකතු කිරීම් සඳහා ස්ථිර ප්‍රදර්ශන ප්‍රදේශයක් ඇත. එහිදී මහජනතාවට ලෝකයේ දුර්ලභම හා වඩාත්ම වැදගත් මුද්දර සහ මුද්දර ද්‍රව්‍ය දැක ගත හැක.

මෙම එකතුව ආරම්භ වන්නේ වසර 1891දී බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට ප්‍රදානය කරන ලද ටැප්ලින් දායාදයෙනි (Tapling bequest). 1855 ඔක්තෝබර් 30 වනදා උපත ලද පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කළ ඉංග්‍රීසි ව්‍යාපාරිකයෙකු සහ දේශපාලනඥයෙකු වන තෝමස් කී ටැප්ලින් (Thomas Keay Tapling) 1865 සහ 1891 අතර කාලය තුළ එක්රැස්කල මුද්දර, 19වන සියවසේ එක් ප්‍රදාන මුද්දර එකතුවක් ලෙස සැලකේ. එය දුර්ලභ, අද්වීතිය සහ ලොව ප්‍රකට මුද්දර රැසකින් සමන්විත අගනා නිධානයකි.

වසර 1865 දී පාසල් සිසුවෙකු ලෙස මුද්දර එකතු කිරීම ආරම්භ කළ ටැප්ලින්, වසර 1887 වන විට ලෝකයේ විශිෂ්ඨතම මුද්දර එකතුව පිහිටුවා ගත්තේය. 1871 දී ඔහු ලන්ඩනයේ මුද්දර සංගමයට (Philatelic Society in London) සම්බන්ධ විය. එම සංගමය පසුව ලන්ඩනයේ රාජකීය මුද්දර සංගමය (Royal Philatelic Society London) බවට පත් විය. ඉක්බිති ඔහු වසර 1876 දී ලන්ඩනයේ රාජකීය මුද්දර සංගමයේ කමිටුවටද, වසර 1881 දී එහි උප සභාපති බවටද පත් විය. වසර 1889 වනවිට ඔහුගේ එකතුව ලොව පුරා ප්‍රයෝගිකව නිකුත් කරන ලද සෑම මුද්දරයකටම උදාහරණ සහිතව පිහිටුවන ලද එකම පෞද්ගලික එකතුව බවට පත්විය. "මුද්දර එකතුකිරීමේ විශිෂ්ඨයා" - ("Distinguished Philatelists") යන ගෞරව නාමයෙන් පිදුම් ලද ටැප්ලින්, වයස අවුරුදු 35දී 1891 අප්‍රේල් 11 වනදා අකල් මරණයකට ගොදුරු නොවුනානම්, අද වන විට ලෝකයේ විශිෂ්ඨතම පෞද්ගලික එකතුව එය බවට අවිවාදිත වන්නට ඉඩ තිබුණි.

වසර 1891 දී බ්‍රිතාන්‍ය කෞතුකාගාරයෙන් බ්‍රිතාන්‍ය පුස්තකාලයට උරුමවූ මේ අගනා දායාදය "The Tapling Collection" ලෙසින් වඩාත් ජනප්‍රියව හැඳින්වේ. ඔහුගේ මතක අනුස්මරණය වෙනුවෙන් රිදී පැහැති ටැප්ලින් පදක්කම (The Tapling Medal) ලන්ඩනයේ රාජකීය මුද්දර සංගමය මගින් නිර්මාණය කරන ලද අතර, එය ප්‍රථම වරට1920 දී ප්‍රදානය කරන ලදී.

ටැප්ලින්ගේ මුද්දර එකතුව බ්‍රිතාන්‍ය පුස්තකාලයේ මුද්දර එකතුවේ ස්ථිර මහජන ප්‍රදර්ශනයක කොටසක් ලෙස පවතින අතර, එය පොදු ජනතාව සඳහා නිරතුරුව විවෘතය. ඔවුහු ඒවා අදටත් ඉතා හොඳින් සුරකිමින් සෙසු එකතුන් වර්ධනය කරමින් මුද්දර සාහිත්‍යය සහ පර්යේෂණ සඳහා ලොව මඟ නොහැරෙන පුස්තකාලය බවට පත්ව ඇත.

මුද්දර ගවේෂකයකු වන ග්‍රැහැම් බෙක් (Graham Beck) ගේ යූ ටියුබ් (YouTube) නාලිකාව මගින් බ්‍රිතාන්‍ය පුස්තකාලයේ මුද්දර එකතුව පිළිබඳව මිනිත්තු 13 ක අගනා වීඩියෝවක් නිෂ්පාදනය කර ඇත. මෙම වීඩියෝවේදී ප්‍රධාන භාරකරු පෝල් ස්කිනර් (Lead Curator - Paul Skinner) සහ භාරකරු රිචඩ් මොරල් (Curator - Richard Scott Morel ) 1891 දී ටැප්ලින් එකතුවෙහි අනුග්‍රහය සහිතව පිහිටුවන ලද මුද්දර එකතු කිරීම් සහ පසුව ඒවා වඩාත් වැදගත් එකතු සහ ලේඛනාගාර එකතු සමඟ වර්ධනය වූ ආකාරය ගැන විස්තර කරයි. එම වීඩියෝව ඔබටත් මෙතැනින් නැරඹිය හැකිය: https://www.youtube.com/watch?v=YJredkr-u0c

මුද්දර පුස්තකාල (Philatelic libraries), මුද්දර විෂයය පිළිබඳව උනන්දුවක් දක්වන්නන්ගේ පර්යේෂණ සහ අධ්‍යාපනික හස්තය ලෙස ක්‍රියා කරයි. මුද්දර, මුද්දර ආශ්‍රිතයන් සහ තැපැල් ඉතිහාසය අධ්‍යයනය කිරීමට මෙම පුස්තකාල ඉවහල්වේ. මුද්දර ක්‍රියාකාරකම් වලට සහ පර්යේෂකයන්ට බොහෝ විට මූලාශ්‍ර ලෙස මුද්දර සාහිත්‍යය විසින් සපයනු ලබන තොරතුරු අවශ්‍ය වේ. මුද්දර නාමාවලි, පොත්පත්, සඟරා, ග්‍රන්ථ නාමාවලි, ලේඛනාගාර ලිපිගොනු සහ පසුබිම් ද්‍රව්‍ය, මුද්‍රිත මුද්දර සාහිත්‍යය සමඟින් ඒවායේ ඩිජිටල් අනුවාද මෙන්ම වෙබ් අඩවි, බ්ලොග්, දත්ත සමුදායන් යනාදිය මුද්දර තොරතුරු සන්නිවේදනය හෙවත් බෙදාගැනීම්වලට අදාලව එක්රැස් කිරීම සහ සංවර්ධනය මෙම මුද්දර පුස්තකාල ඒකක වල වගකීම වේ. එබැවින් ඒවා "කලාව, සංස්කෘතිය සහ උරුමයන් සුරැකීමේ ස්ථාන" ලෙසද ක්‍රියා කරයි.

ලොව ප්‍රථම මුද්දරය වසර 1840දී එළිදැක්වුණු අතර, අදින් වසර 131කට පෙර වසර 1891දී බ්‍රිතාන්‍යය සිය මුද්දර ජාතික උරුමයන් සේ සලකා ඒවා අනාගතය වෙනුවෙන් සංරක්ෂණය කිරීම ආරම්භ කරන ලදී. එවකට බ්‍රිතාන්‍ය යටත්වැසි රාජ්‍යයක් වූ ලංකාව වසර 1857දී - එනම් බ්‍රිතාන්‍ය මුද්දරය නිකුත් කර වසර 17 කට පසුව - සිය පළමු ද්දරය නිකුත් කරන ලදී. වසර 2022 වන විට මෙරට ප්‍රථම මුද්දරය නිකුත් කර වසර 165ක් සම්පුර්ණ වේ. එනමුදු, සියවස් එකහමාරකට අධික කාලයක් තිස්සේ අපට මුද්දරය, ජාතික උරුමයක් හා තොරතුරු මූලාශ්‍රයක් ලෙස සලකන, ඒ පිළිබඳව විධිමත්ව කටයුතු කරන සහ එකතුවක් ලෙස සංරක්ෂණය කරනා ජාතික ආයතනයක අඩුව පිරිමැසිය නොහැකි පාඩුවකි. තැපැල් ඉතිහාසයේ සහ මුද්දර ඉතිහාසයේ නොමැකෙන මතක සටහන් සහිත අප රටට මේ වකවානුවේ අත්‍යාවශ්‍ය ලෝක අවධානය ගෙන එන්නට එය පිටිවහලක්ම වන්නට තිබුණි.

මුද්දරය , ලෝකය තුළ රාජ්‍යයන් තම තමන්ගේම ස්ථානය දකින ආකාරය සහ තමන්ගේම දේශසීමාවෙන් ඔබ්බට ලෝකය දකින්නේ කෙසේද යන්න පිළිබඳව දැක්මක් සපයයි (Stamps provide a vision of how a state sees its "own" place in the world and "the world beyond its own borders).

ඔබත් ඔබව දකින්න ....



© kiyawanamuddara 2020 | Solution by 4meli.com