01
September
2022
මෙම ලිපිය ලංකාවේ ප්‍රථම තැපැල් පත නිකුත් කලේ කවදාද යන්න පිළිබඳව ගවේශනාත්මක කියවීමකි.
ලොව ප්‍රථම තැපැල්පත (Postcard)1869 ඔක්තෝබර් 01 වන දින ඔස්ට්‍රියා-හංගේරියාව විසින් නිකුත් කරන ලද අතර, ඔස්ට්‍රියා ජාතික ආර්ථික විද්‍යා අචාර්ය එමානුවෙල් ඇලෙක්සැන්ඩර් හර්මන් (Emanuel Alexander Herrmann) එහි පිතෘවරයා ලෙස සැලකේ. එහෙත් එම අදහස යෝජනා කළ පළමු පුද්ගලයා ඔහු නොවන බව ලෝක තැපැල් ඉතිහාසය සාක්ෂි දරයි. ප්‍රථම තැපැල් පත් ජර්මානු සහ හංගේරියානු භාෂා දෙකකින් මුද්‍රණය කරන ලද අතර, ඒවා අතිශයින්ම ජනප්‍රිය වීය (පින්තූරය 1).
මහා බ්‍රිතාන්‍යය ඔවුන්ගේ ප්‍රථම තැපැල් පත වසර 1870දී හඳුන්වා දෙන ලද අතර, එය හඳුන්වා දුන් එම වසරේ දිනයක් පිළිබඳ විශේෂිත සඳහනක් දක්නට නොමැත (පින්තූරය 2).
ආසියවේ ප්‍රථම තැපැල් පත නිකුත් කිරීමේ සාඩම්බරය වසර 1872දී ලංකාවට හිමිවිය. ඉක්බිති, 1879 ජුලි 01 දින ඉන්දියාවද ඔවුනගේ තැපැල් පත හඳුන්වා දුනි. එබැවින්, මේ ගෙවී යන්නේ ලංකාවේ තැපැල් පතේ 150 වන සංවත්සරයයි.
ලංකා තැපැල් ඉතිහාසයට අනුව මෙරට මුල්ම තැපැල් පත නිකුත් කිරීම සඳහන් වන්නේ 1872 අගෝස්තු 22 ලෙසිනි. වර්තමානය දක්වාම ඉතිහාසයේ මෙම දිනය මමද ඇතුලත් ලාංකීය මුද්දරලෝලීන් පිළිගත්තේ තැපැල් දෙපාර්තමේන්තුවේ සිංහල නිල ලේඛන අනුව එය ස්ථිර කර තිබු බැවිනි.
මේ පිළිබඳව මා ඇතුව ඇති පැරණිතම සාක්ෂිය තැපැල් දෙපාර්තමේන්තුව මගින් ප්‍රථම තැපැල් පතේ ශත සංවත්සරය නිමිතිකොට නිකුත් කරන ලද සමරු තැපැල් පතයි. වටිනාකම ශත 10 ක්වූ එම තැපැල් පතේ 1872-1972 ලෙසින් සඳහන් මුද්දර නිර්මාණයක් දක්නට ලැබෙන අතර, එය අවලංගු කර ඇත්තේ Ceylon Postcard Century, 22.08.1972, Colombo යන මුද්රවෙනි. ඒ අනුව, මුල්ම තැපැල් පත නිකුත් කල දිනය අගෝස්තු 22 වශයෙන් පිළිගනු ලැබුණි (පින්තූරය 3)
වසර 1982 දෙසැම්බර් 2 සිට 5 වැනිදා දක්වා කොළඹ ජාතික කෞතුකාගාරයේ පැවති ජාතික මුද්දර ප්‍රදර් ශනය වෙනුවෙන් නිකුත් කල සමරු කලාපයට එවකට තැපැල් දෙපාර් තමේන්තුවේ තැපැල් හා ප්රචාරක අංශය භාර මයිකල් ලියනගේ මහතා පල කල ලිපියේ මුල්ම තැපැල් පත නිකුත් කල දිනය අගෝස්තු 22 ලෙස සඳහන් කර ඇත (පින්තූර 4,5 ). එහි ලොව ප්‍රථම තැපැල් පත නිකුත් කිරීම ඔක්තෝබර් 7 ලෙස ඔහු සඳහන් කර ඇති නමුදු, වර්තමානදී එම දිනය ඉහතින් සඳහන් කළ පරිදි ඔක්තෝබර් 01 ලෙස පිළිගනු ලැබ ඇත (මූලාශ්‍රය: https://worldpostcardday.com/history).
තැපැල් දෙපාර්තමේන්තුවේ ප්රවෘත්ති අංශයේ ප්රකාශනයක් ලෙස එවකට තැපැල් හා තැපැල් කාර්යාල පාලක මයිකල් ලියනගේ මහතා විසින් සම්පාදිත වසර 1983 දී නිකුත් කර ඇති "ශ්‍රී ලංකා තැපැල් සේවය, ඉතිහාසය ලුහුඩින්" කෘතියේද මුල්ම තැපැල් පත නිකුත් කල දිනය අගෝස්තු 22 ලෙස සඳහන් කර ඇති අතර, සිහිවටන තැපැල් පත නිකුත් කිරීම ගැනද එහි සඳහන්ය (පින්තූර 6,7).
Philatelic Society of Sri Lanka මඟින් වසර 1998දී ජාතික කලා භවනයේ දී සැප්තැම්බර් 15 හා 16 දෙදින පවත්වන ලද "20th Anniversary Art on Stamps Exhibition, 1978-1998" ප්‍රදර්ශනයේ සමරු කලාපයේද මෙම කරුණ අගෝස්තු 22 ලෙස සනාථ කර තිබේ. මුද්දර ලොව ප්‍රවීණයෙකු වූ ෆෙඩ්රික් මේඩිස් (Frederick Medis) මහතා විසින් සම්පාදිත "Excerpts form A History of the Ceylon Post Card " ලිපියේ මෙම කාරණය පෙන්වා දෙන්නේ "In Ceylon, post-cards were first issued on 22 August 1872" ලෙසිනි (පින්තූර 7,8).
එමෙන්ම, "ශ්‍රී ලංකා තැපැල් සේවාව පිළිබඳ ඉතිහාසයේ වැදගත් සිදුවීම්" කෘතියේද මෙම දිනය අගෝස්තු 22 ලෙස සටහන් කර ඇත (පින්තූරය 9). මෙම මූලාශ්‍ර හැරුණු කොට තවත් බොහෝ ලිපි ලේඛන වල සහ මුද්දර සහ තැපැල් ඉතිහාසය පිළිබඳව රචිත තොරතුරැ සහිත කෘති වල මෙම මුල්ම තැපැල් පත නිකුත් කල දිනය අගෝස්තු 22 ලෙසින්ම දක්නට ලැබේ.
එහෙත්, එම දිනය අගෝස්තු 22 ලෙස සනාථ කිරීම සඳහා කිසිදු මූලාශ්‍රයක් සොයාගත නොහැකිය.
එසේනම්, ලංකාවේ ප්‍රථම තැපැල්පත නිකුත් කල දිනය පිළිබඳව නව කතිකාවතක් ඇති කරවන සැප්තැම්බර් 01 වන දිනය සම්බන්ධයෙන් ඇති පිළිගත හැකි මූලාශ්‍ර කවරේද යන්න ගැන දැන් අපි විමසමු.
මෙම දිනය සම්බන්ධව සඳහන් මා සතුව ඇති එකම දේශීය මූලාශ්‍රය වන්නේ වෙෙද්‍ය චන්ද්‍රා රොද්‍රිගූ මහතා විසින් වසර 2010දී රචිත "Rodrigo's Catalogue of Ceylon / Sri Lanka Postal Stationery Part II - Postal Cards, Letter Cards, Letter Sheets, Wrappers, P.T.P.O. Wrappers" යන කෘතියයි. එහි පිටු අංක 14 හි "QV Postal Stationery Cards" යන මාතෘකාව යටතේ "1872 - Queen Victoria Postal Stationery Cards - Designed and Printed by Measers De La Ruw & Co., Issue Notice: 1st September 1872" යනුවෙන් සඳහන් කර ඇත (පින්තූර 11,12). එනමුදු මෙම සටහනටද පාදක වන කිසිදු මූලාශ්‍ර සටහනක් ගැන මේ කෘතියේ සඳහන් නොවිණි.
මෙම කරුණ පිළිබඳව විශ්වාස කළහැකි එවකට සමකාලීන මූලාශ්‍රයක් අපට හමුවන්නේ ප්‍රථම තැපැල් පත නිකුත් කර වසර 20කට පසුව වසර 1892 දී ලන්ඩන් මුද්දර සමාජය (The Philatelic Society of London) විසින් නිකුත් කරන ලද "The Postage Stamps, Envelops, Wrappers, Post Cards and Telegraph Stamps of British India and Ceylon" කෘතියෙනි. ඊට අනුව 1872 වර්ෂයේ සැප්තැම්බර් මස 01 වන දින ලංකාවේ පළමු තැපැල්පත නිකුත් කරන ලද බව සඳහන් වේ (පින්තූර 13,14,15).
තවදුරටත් කරුණු සෙවීමේදී, ලංකාවේ ව්‍යවස්ථාදායක සභාව විසින් 1871 දෙසැම්බර් මස 27 වන දින පනවන ලද 1871 අංක 27 දරන “තැපැල්පත්, දේශීය සම්ප්‍රේෂණය සඳහා විධිවිධාන සලසන ආඥාපනත" (An Ordinance to provide for the Inland transmission of Post Cards) ලංකාණ්ඩුකාරතුමන් විසින් 1871 දෙසැම්බර් 28 වන දින අනුමත කර ඇති අතර, එමගින් තැපැල්පත සඳහා ශත 2 ක් තැපැල් ගාස්තු නියම වී ඇත (පින්තූර 16,17). (මූලාශ්‍රය: Ceylon Government Gazette - Legislative enactments of Ceylon, Volume 11, 1870-1879). මෙම ආඥාපනත අනුමත වුවත් එහි ක්‍රියාත්මකවීමේ දිනය (commencement) සඳහන් කර නොමැති වූයෙන් තැපැල්පත් නිකුත් කිරීම තවදුරටත් කල් ගොස් ඇති බව ලන්ඩන් මුද්දර සමාජය (The Philatelic Society of London) විසින් නිකුත් කරන ලද "The Postage Stamps, Envelops, Wrappers, Post Cards and Telegraph Stamps of British India and Ceylon" කෘතියේම 65 වන පිටුවේ මෙසේ සඳහන් වේ. “ An Ordinance to provide for the Inland transmission of Post Cards "was" assented to” by the Governor on December 28th, 1871; the postage being fixed at two cents each. The Ordinance, however, did not come into operation until September 1st, 1872, according to a “Proclamation” in The Gazette of August 3rd of that year." (පින්තූරය 18).
මිට අදාලව 1872 අගෝස්තු මස 03 වන දින ගැසට් පත්‍රයේ පළ කරන ලද ප්රකාශනයකින් 1872 සැප්තැම්බර් මස 01 දින සිට බලපැවැත්වෙන පරිදි තැපැල් පත් බලාත්මක කර ඇත්තේ මෙසේය: It is therefore hereby proclaimed by the said Governor, that that said Ordinance shall come into operation on the first day of September, one thousand Eight hundred and Seventy-two" ((මූලාශ්‍රය: Ceylon Government Gazette - No 3, 890 -August 3, 1872) (පින්තූරය 19).
මේ අනුව, ලංකාව තුල තැපැල්පත් නීත්‍යානුකුල වන්නේ 1872 සැප්තැම්බර් 01 දින සිට බව නිශ්චිතය.
ව්‍යවස්ථාදායක සභාව විසින් 1871 දෙසැම්බර් මස 27 දින “තැපැල්පත්, දේශීය සම්ප්‍රේෂණය සඳහා විධිවිධාන සලසන ආඥාපනත” සම්මත කර ගැනීමෙන් අනතුරුව සහ බලාත්මක වූ 1872 සැප්තැම්බර් මස 01 වන දින අතර සංක්‍රාන්ති සමයේදී ඩිලා රූ සහ සමාගම (De La Rue & Co.) විසින් සැලසුම් කර මුද්‍රණය කරන ලද තැපැල් පත් මෙරටට ගෙන්වා ඇති අතර, ඒ පිළිබඳව සමාජ කතිකාවක් ආරම්භ වී තිබූ බව ඉපැරණි වාර්තා සාක්ෂි සපයයි.
1872 අගෝස්තු 30 වන දින "Ceylon Times" පුවත් පතේ කතෘට ලිපි තීරුවේ "Postal Cards" ලිපියේ මෙසේ සඳහන් වේ: "Dear Sir, It must be very gratifying to those members of the Legislative council, who supported the measure for introducing postal cards into this country to find the system so vehemently applauded by our contemporary." (හිතවත් මහත්මයාණෙනි, අපගේ සමකාලීනයන් විසින් දැඩි ලෙස ප්‍රශංසාවට ලක් කරන ක්‍රමය සොයා ගැනීම සඳහා මෙරටට තැපැල් කාඩ්පත් හඳුන්වා දීමේ ක්‍රියාමාර්ගයට සහාය දුන් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින්ට එය බෙහෙවින් සතුටට කාරණාවක් විය යුතුය.)(පින්තූරය 20).
එකළ මෙම පළමු තැපැල්පත් නිකුත් කරන ලද ලෝකයේ රටවල් අතර ලංකාවට ප්රමුඛස්ථානයක් හිමි විය. ඩිලා රූ සහ සමාගම විසින් සැලසුම් කර මුද්‍රණය කරන ලද මෙම ලංකාවේ පළමු තැපැල්පතේ වටිනාකම ශත 2 කි. ප්‍රමාණය මිලිමීටර් 121 X 86 කි. එහි වික්ටෝරියා රැජිනගේ ශීර්ෂ රුව සිතුවම් කර තිබේ (පින්තූර 21,22). තැපැල්පතෙහි මුහුණතෙහි ඉංග්‍රීසියෙන් "POST CARD" යනුවෙන්ද, ඊට පහළින් බ්‍රිතාන්‍ය රාජ්‍ය ලාංඡනයද, ඊටත් පහළින් ඉංග්‍රීසියෙන් "THE ADDRESS ONLY TO BE WRITTEN ON THIS SIDE" ලෙසද සඳහන් කර ඇත. ඊට පහළින් වම්පසට වන්නට ඉංග්‍රීසියෙන් "To" යනුවෙන් සඳහන් කර තිබේ. ද්විත්ව රේඛා දෙකකින් සමන්විත රාමුවකින් කාඩ්පත වටවී ඇති අතර, රාමුවේ රේඛා දෙක අතර ඉහළින් "පිටලියනනම පමනක් මේපැත්තේලියනු" හා වම් පැත්තේ "තැපැල්සිට්ටුව" යනුවෙන් සිංහලෙන්ද, ඊට දකුණු පැත්තෙන් දමිළ භාෂාවෙන් "தபால் சீட்டு හා පහලින් "மேல் விலாசத்தை மாத்திரம் இந்த பக்கத்தில் எழுதவும்" යනුවෙන්ද සටහන් කර ඇත. කාඩ්පතෙහි පසුපස ඉහළින් ‘ලියනකාරණමේපැත්තේලියනු’ යනුවෙන් සිංහලෙන්ද, පහළින් "காகித வாசகத்தை இந்த பக்கத்தில் எழுதவும்" යනුවෙන් දමිල බසින් ද, වම්පස "LETTER TO BE WRITTEN ON THIS SIDE" යනුවෙන් ඉංග්‍රීසියෙන්ද සටහන් වේ.
කල් ගත වීමේදී, ඉන්දියාව සිය ප්‍රථම තැපැල් පතේ සියවැනි සංවත්සරය (1879-1979) සැමරීම උදෙසා අගනා සමරු මුද්දරයක් නිකුත් කළේය (පින්තූරය 23). වසර 151 ක් තිස්සේ මිනිසුන් සම්බන්ධ කිරීම සඳහා තැපැල්පත් විසින් ඉටු කරන ලද සුවිශේෂී කාර්යභාරය සැමරීම සඳහා බ්‍රිතාන්‍ය තැපැල් කෞතුකාගාරය "ඔබ මෙහි සිටියා යැයි ප්‍රාර්ථනා කරන්න" (Wish You Were Here) නමින් අගනා ප්‍රදර්ශනයක් සංවිධානය කළහ. එම අගනා ප්‍රදර්ශනයේ විශේෂ අවස්ථා කිහිපයක් https://youtu.be/D_sSCiLn-vc තුලින් ඔබටද නැරඹිය හැකිය.
එමෙන්ම, තැපැල් ගාස්තු වලට අදාළව 1872 ජනවාරි 01 වන දින සිට ක්‍රියාත්මක වූ "රුපියල් ශත ව්‍යවහාරය බලාත්මක කිරීම උදෙසා නිකුත් වූ තැපැල් ගාස්තු සම්බන්ධ ආඥාපනත" අනුව දිවයිනේ මුදල් ව්‍යවහාරය පවුම්, සිලිං සහ පැන්ස වල සිට රුපියල් සහ ශත දක්වා වෙනස් කෙරුණි (No 13 ,1871 - An Ordinance relating to Postal Rates: Whereas the currency of this Island will, on the 1st January, 1872 be changed from pounds, shilling and pence to ruppes and cents). (මූලාශ්‍රය: Legislative Enactments of Ceylon", Volume 11, 1870-1879) (පින්තූරය 25).
ලංකාවේ මුද්දර රුපියල් ශත වලින් නිකුත් කිරීම ආරම්භ වුයේ මෙතැන් සිටය.
ලංකාවේ වසර 150ක් තිස්සේ තැපැල්පත විසින් ඉටු කරන ලද සුවිශේෂී කාර්යභාරය අගයනුවස් අද දින (2022 සැප්තැම්බර් 01) පළමු තැපැල්පත ආශ්රයෙන් නිර්මාණය වූ වටිනාකම රුපියල් 20ක්වූ සමරු ඡායාරූපමය තැපැල්පතක් නිකුත් කරන ලදී. මෙම විශේෂ සමරු තැපැල්පත ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අද දින පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත පිළිගන්වන ලදී (පින්තුරය 24). මෙහිදී ඉතිහාසගත වන තවත් විශේෂ කාරණාවක් වනුයේ මෙම නිකුතුව සමඟ ලංකාවේ මුල්ම තැපැල් පත නිකුත් කිරීමේ දිනය සැප්තැම්බර් මස 01 වන දින ලෙසින් නිවැරදිව සටහන් වීමයි.
තැපැල් පත් යනු සමාජ ඉතිහාසය පිළිබඳ දෘශ්‍ය වාර්තාවන්ය. මුද්දරයද ඉතිහාසය සංශිප්ත කරනා සිතුවම්ය. ඉතිහාසය කියැවීමට මේවා අගනා දෘශ්‍ය අධාරකයන්ය. ඒ සඳහා විෂය පර්යේෂණ අත්‍යාවශ්‍යය.
මෙම 2022 වසරේදී උදා වූ ලංකාවේ තැපැල් පතේ සහ රුපියල් ශත භාවිතයේ 150 වන සැමරුම් උදෙසා අන්තර් ජාතික වටිනාමක් සහිත සමරු මුද්දර නිකුත් කිරීමට තවමත් අපට ඉඩහසර ඇත. අප බලා හිඳිමු!
විශේෂ ස්තුතිය: හර්ෂ රූපසිංහ, මුදිත කරුණාමුනි, ගාමිණී ද සිල්වා හා දොන් අප්පුහාමි මහත්වරුන් වෙත.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com