kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


11
August
2022

වසන්තයේ මුද්දර පෙරනිමිත්ත: Philatelic harbingers of Spring

හයිඩ්‍රේන්ජා (Hydrangea) යනු ජපානය, ආසියාව, ඉන්දුනීසියාව, හිමාල කඳුකරය සහ ඇමරිකාව ඇතුළු පුළුල් පරාසයක කලාප සහ රටවලට ආවේණික වූ විශේෂ 75කට අධික ප්‍රමාණයකින් සහ නම් කර ඇති වගා වර්ග (බීජ වලින් නොව ශාකමය වශයෙන් ප්‍රචාරණය කර ඇති) 600කට අධික ප්‍රමාණයකින් යුත් කුලයකි. හයිඩ්‍රේන්ජා මල් රෝස, නිල්, රතු, සුදු, දම් සහ කොළ වර්ණයෙන් පිපෙන අතර, මල් පඳුරු සීතලට ඔරොත්තු දෙන නමුත් උණුසුම් දේශගුණයක් තුළ ද වර්ධනය වේ. හයිඩ්‍රේන්ජා ඔවුන්ගේ සුවිශේෂී තේජස සහ සියුම් විශේෂාංග සමඟින් දිගු කල් පවතින දැකීමට අලංකාර මල් වර්ගයකි. එහි ඇති බහුලත්වය, විචිත්‍රත්වය, පූර්ණත්වය හා ආදරණීය බව නිසාම මංගල උත්සව සහ විශේෂ සිදුවීම් සඳහා මෙන්ම නිවාස සහ ගෙවතු අලංකාරය සඳහාද වඩාත් ජනප්‍රියය.

කැනඩා තැපෑල (Canada Post) සම්ප්‍රදායන් සහ වටිනාකම් මත හිදිමින් නවීනත්වය වෙත පා තබන ලොව විශිෂ්ඨ තැපැල් ව්‍යවසායකයෙකි. තාක්ෂණයෙන් කෙතරම් පරිපූර්ණ වුවද, තැපැල් සේවය වැනි සම්ප්‍රදායක සන්නිවේදනය සදහා කැනඩාව වැනි සංවර්ධිත රටක තවමත් ඉඩහසර පවතින්නේ එය ජනතාවගේ හදවත් තුල සදා නොමැකෙන ලෙස සනිටුහන් වී ඇති බැවිනි. සෑම වසරකම වසන්තය පිළිගැනීම සඳහා කැනඩා තැපැල් සේවය මල් මුද්දර කට්ටල නිකුත් කිරීම නූතන සම්ප්‍රදායක් සේ සලකා කටයුතු කරයි. එහි සමාරම්භය වසර 2002 නිකුත් කරන ලද ටියුලිප් මුද්දර (Tulips stamps) මාලාවයි. කැනඩා වසන්ත මල් (Canada Spring Flowers) මුද්දර නිකුතුව වසර 2016 දී සුපුෂ්පිත වූයේ හයිඩ්‍රේන්ජා ආබරෙසන්ස් (Hydrangea Arborescens) සහ හයිඩ්‍රේන්ජා මැක්‍රොෆිලා (Hydrangea macrophylla) මුද්දර වලිනි. කැනඩාවේ මුද්දරවල මාතෘකා ලැයිස්තුව සලකා බැලූ කල පසුගිය වසර 54 තුළ මල් මෝස්තර 165 කට වඩා හඳුනා ගැනීමට හැකි නමුදු, හයිඩ්‍රේන්ජා මල සඳහා මුද්දර නිර්මාණය කර ඇති ප්‍රථම අවස්ථාව මෙයයි.

එම මුද්දර වල අගය වෙනුවට "P" ලෙස සටහන් කර ඇත. ඒවා ස්ථිර (Permanent) මුද්දර ලෙස හැඳින්වෙන අතර, වර්තමාන දේශීය තැපැල් මිලට සැමවිටම පිළිගනු ලැබේ. එනම් අද මිල දී ගන්නා ස්ථිර මුද්දරය, අනාගතයේ ඕනෑම වේලාවක භාවිතා කළ හැකි වීම එහි විශේෂත්වයයි. මෙම මුද්දර කැනඩාවේ ඕනෑම තැනක බර ග්‍රෑම් 30 දක්වා ලිපි තැපැල් කිරීමට භාවිතා කළ හැකි වා මෙන්ම, විශාල ලිපි හෝ පාර්සල් තැපැල් කිරීමට හෝ ජාත්‍යන්තරව තැපැල් යැවීමට අමතර තැපැල් ගාස්තු සමඟ ඒකාබද්ධව ද භාවිතා කළ හැක.

ටොරොන්ටෝ හි ස්පුට්නික් ඩිසයින් පාර්ට්නර්ස් ඉන්කෝපරේෂන් (Sputnik Design Partners Inc) හි සුසාන් ගිල්සන් (Susan Gilson) විසින් කළමනාකරණය කරන ලද මාරි-එලයින් කුසන් (Marie-Elaine Cusson) විසින් නිර්මාණය කරන ලද කලා කෘතිවලින් මෙම මුද්දර අනුවර්තනය කර ඇති මෙම මුද්දර, කැනේඩියානු බැංකු නෝට්ටු සමාගම (Canadian Bank Note Company) මගින් ඕෆ්සෙට් ලිතෝග්‍රැෆි තාක්ෂණයෙන් මුද්‍රණය කර ඇත. මෙම මුද්‍රණයේ තවත් විශේෂත්වයක් වන්නේ උද්භිද නිදර්ශනය (Botanical illustration) සහ ඒ ආශ්‍රිත සියුම් පරිසරය ඉතාමත් සජීවීව ඉස්මතුවන ආකාරයෙන් වඩා විචිත්‍රවත්ව නිරූපනය කිරීම සදහා හය-වර්ණ ඕෆ්සෙට් ලිතෝග්‍රැෆි (six-color offset lithography) මුද්‍රණ තක්ෂණය භාවිතා කිරීමයි.

වසන්ත මල් මුද්දර ඉතා පටු තේමාවක් සහිත බව සිතිය හැකි වුවද, එය පොදු ජනතාව අතට පත්වීමේදී එහි ඇති නිර්මාණාත්මක පොහොසත්කම ගැන සැලසුම්කරුවන් ඉතා හොදින් අවදානය යොමුකර ඇති බව ඔවුන්ගේ සැලසුම් පරිසිමේදී ඉතා පැහැදිලිය. ඔවුනගේ 1940 දශකයේ සාම්ප්‍රදායික බිත්ති සැරසිලි මෝස්තර රටාවකින් හැඩකරන ලද මුල්දින කවරය අතීතය ගැන වර්තමානයට කියා දෙන පාඩමක් වැනිය. කහ ජැකට් බඹරු (Yellow jacket wasps) සහ දිගු අං කුරුමිණියන් (longhorn beetles) මුද්දර සහ සිහිවටන පත්‍රයේ (souvenir sheet) නියෝජනය වන අනෙකුත් වැදගත් පාරිසරික දත්තයන් වේ. සිහිවටන පත්‍රයේ වර්ණ ලියාපදිංචි ලකුණු (color registration marks) මී මැස්සන්ගේ හැඩයෙන් යුක්ත වන අතර, එම තාක්ෂණික දත්තය ද නිර්මාණ සංකල්පයෙන් ව්‍යුක්ත නොකිරීමට ඔවුන් කටයුතු කර තිබීම සුවිශේෂී වේ.

හයිඩ්‍රේන්ජස් මුද්දර 10 ක ස්වයං-ඇලවුම් පොත් (Self-adhesive books), දඟර රෝල් (coil rolls), මුද්දර දෙකක සිහිවටන පත්‍ර සහ තැපැල් කාඩ්පත් ලෙසින් මෙම නිකුතුව ඉතාමත් විසිතුරු අයුරින් විවිධාංගීකරණයට ලක්කර ඇති අතර, ඒ සදහා ද හේතුකාරණා රැසකි. ඒ හේතුවෙන්, වසන්තය අලංකාර කරනා මංගල උත්සව, ප්‍රිය සම්භාෂණ, රැස්වීම් සහ ප්‍රදර්ශන සදහා ආරාධනා පත්‍ර තැපැල් කිරීම සඳහා මෙම විශේෂිත මුද්දර භාවිතා කරන ලෙස කැනඩා තැපැල් සේවය සිය ජනතාවගෙන් ඉල්ලා සිටීයහ.

ස්පුට්නික් ඩිසයින් සමාගමේ මෙම මුද්දර නිකුතුවට අදාලව ඇති නිර්මාණශීලී උපායමාර්ගික (creative strategist) සැලසුම් තුලින් නව්‍ය සහ නිර්මාණාත්මක අලෙවිකරණ ප්‍රවේශයන් ඉදිරිපත් කරයි. ධනාත්මක හැඟීම්, අභ්‍යන්තර උණුසුම සහ සරල සතුට පිළිබඳ හැඟීමකින් නාද වන රූප රචනා කිරීම (compose images that ring with positive emotions and a sense of inner warmth and simple happiness) යන අදහස මෙම නිර්මාණ සංකල්පය සදහා පදනම ලෙස සැලකූ බව සදහන්වේ. මුද්දර සහ එහි සියළුම එකතුකිරීමේ අයිතම එම අදහස ප්‍රත්‍යක්ෂ කරයි. මෙම මුද්දර වල තේමාව විවිධාංගිකරණයට ලක්කිරීම මඟින් තේමාත්මක සංකල්පයන්ට (thematic concepts) වල යටින් පවතින උප තේමා (sub-themes) මුද්දරලෝලීන්ට නවමු අත්දැකීමක් ලබා දෙන අතර පුළුල් දෘශ්‍ය කියවීමක් (visual reading) ඉස්මතු කරයි. සැබවින්ම එය සාමාන්‍ය තැපැල් මුද්දරයකින් ඔබ්බට ගිය අපූර්ව නිර්මාණාත්මක සන්නිවේදන ක්‍රියාවලියකි. එමගින් මුද්දර එකතුකිරීමේ විනෝදාංශය ප්‍රචලිත වන්නා සේම, ඉහල පිරිවැටුමක් ද අපේක්ෂිතය.

තැපැල් සේවයේ වසන්තය ගැන අවධානයෙන් සිටිනා කැනඩාව සිය මහජන සේවය පුරෝකතනය කරන්නේ මෙවැනි උද්යෝගීමත් අදහස් පෙරදැරි කරගනිමිනි. නිමක් නැති ගිම්හානය (Endless Summer) මෙම මුද්දර නිකුතුවේ සැබෑ තේමාව වන්නේ එබැවිනි.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com