kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


02
August
2022

ක්‍රීඩාව, ජාතික අනන්‍යතාව සහ මුද්දර

2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල එංගලන්තයේ බර්මින්හැම් (Birmingham) නුවරදී ජූලි 28 දින උත්සවාකාරයෙන් සමාරම්භ විය. මෙම ක්‍රීඩා තරඟාවලිය අගෝස්තු 8 වැනිදා දක්වා පැවැත්වෙන අතර, ක්‍රීඩා ඉසව් 19 ක් සහ ආබාධිත පුද්ගලයින් සහභාගී වන පැරා ක්‍රීඩා (para-sports ) ඉසව් 8 ක් ඇතුළත් වේ. ඒ සඳහා රටවල් 72 කින් ක්‍රීඩක ක්‍රීඩකයෝ 5054 ක් පදක්කම් ඉසව් 280ක් සඳහා තරඟ වැදීමට නියමිතය.

ලන්ඩනයේ සිට සැතපුම් 100ක් පමණ වයඹ දෙසින් පිහිටි එංගලන්තයේ බර්මින්හැම් නගරය මෙම ක්‍රීඩා සඳහා සත්කාරකත්වය ලබා දෙන අතර,

ඇතැම් තරඟ බටහිර මිඩ්ලන්ඩ්ස් (West Midlands) හි පැවැත්වීමට නියමිතය. 1934 ලන්ඩන් (London) සහ 2002 මැන්චෙස්ටර් (Manchester) තරඟාවලි වලින් පසුව එංගලන්තයේ සත්කාරකත්වය දරණ තුන්වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල මෙය වන අතර, බර්මින්හැම් සත්කාරකත්වය ප්‍රකාශයට පත් කරන ලද්දේ 2017 දෙසැම්බර් 21 දිනය.

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උත්සවය ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථාන දෙකක් සනිටුහන් කරන බව වාර්තා වෙයි. පිරිමින්ට වඩා කාන්තා ක්‍රීඩිකාවන්ට වැඩි පදක්කම් ප්‍රදානය කරන ක්‍රීඩා ඉසව් වලින් සමන්විතවීම සහ විශාලතම පූර්ණ ඒකාබද්ධ පැරා ක්‍රීඩා වැඩසටහන ක්‍රියාත්මක කිරීම එකී විශේෂත්වයි.

මිනිසුන්ගේ දෛනික ජීවිතය, ජාතියේ ඉතිහාසය සමඟ බද්ද කිරීමට මුද්දරය සංකීර්ණ ලෙස භාවිත කෙරේ. මුද්දර මඟින් ක්‍රීඩා ඉතිහාසයට ලබා දිය හැක්කේ කුමන දායකත්වයක්ද? මෙම ගැටළුව ලෝකයේ විශේෂිත ක්‍රීඩා උළෙලවල් පාදක කරගනිමින් පර්යේෂණ රැසක් සිදුකර ඇති මාතෘකාවකි. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා මුද්දර නිකුතුව ඒ සඳහා වන කදිමම නිදසුනකි.

මුද්දර, රාජ්‍යයන් සඳහා 'කඩදාසි තානාපතිවරුන්' (paper ambassadors) ලෙස ක්‍රියා කරන අතර බොහෝ විට ජාතික සංස්කෘතිය (national culture), සිරිත් විරිත් (customs), සහ දෘෂ්ථිවාදය (ideology) පිළිබිඹු කරයි. එමෙන්ම, මුද්දර ලොව පුරා සංසරණය වන විට ඒවා මඟින් ජාතික අනන්‍යතා (national identities) සහ නිල සංස්කෘතීන් (official cultures) සංකේතාත්මකව නියෝජනය කරයි. ඒවා සෙසු ලෝකයාට තමන් ගැන සන්නිවේදනය කරනා විධිමත් සහ නිර්මාණාත්මක මෙවලම්ය. තැපැල් ගාස්තු පියවීමට අමතරව ඉටුකරගනු ලබන සන්නිවේදන මෙහෙවර නිසා මුද්දරය නුතන සංස්කෘතික හුවමාරු වැඩසටහනක කොටසක් ලෙසද හඳුන්වනු ලැබේ. ක්‍රීඩා උත්සවය සංවිධනය කිරීමේ පරිපාලනමය කටයුතු අතරට සමරු මුද්දර නිකුත් කිරීම පිළිබඳවද ඔවුන් වැඩි අවධානයක් යොමුකර ඇත්තේ මෙම ද්විත්ව අරමුණු ඉටුකර ගැනීම ගැන හොදින් සලකා බලමින් බව පැහැදිලිය.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සැමරීම සඳහා මුද්දර නිකුත් කිරීමේ පොහොසත් ඉතිහාසයක් රාජකීය තැපැල් සේවය සතුව පවතී. ඔවුන් මෙවරද ඒ මඟම යමින් ඉතා විචිත්‍රවත් සමරු මුද්දර කට්ටලයක් ක්‍රීඩා උළෙල ආරම්භ වූ ජූලි 28 වන බ්‍රහස්පතින්දා එළිදක්වන ලදී. එමෙන්ම ඔවුහු ඊට පූර්වකව ජූලි 14 දින සිටම අන්තර්ජාලය ඔස්සේ (royalmail.com/birmingham2022 ඒවා පෙර-ඇණවුම් කිරීමේ අවස්ථාවද ලබාදී තිබුණි.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනයේ මඟ පෙන්වීමෙන්, රාජකීය තැපෑලේ නිර්මාණාත්මක කමිටුව සහ ඉන්ටරබන්ග් (Interabang) ප්‍රචාරණ ආයතනය අතර සහයෝගීතාවයෙන්, කලාකරු චාරිස් ට්සෙවිස් (Charis Tsevis) විසින් මුද්දර 8කින් යුතු මෙම එකතුව නිමවා ඇත. මෙහිදී ක්‍රීඩා වල විශ්වීය වටිනාකම් සහ ශුභවාදී ආත්මය නියෝජනය කළ හැකි මාලාවක් නිර්මාණය කිරීමට මෙම එකමුතුව කටයුතු කර ඇත ."කියුබිසම්" (Cubism) ලෙස හඳුන්වා ඇති මෙම අපූර්ව නිර්මාණ ප්‍රවේශය 20 වැනි සියවසේ වඩාත්ම බලගතු කලා ව්‍යාපාරය ලෙස සැලකේ. මෙම කියුබිස්ට් කලා කෘති තුළ වස්තු විශ්ලේෂණය කර, කැඩී බිඳී, ව්‍යුක්ත ස්වරූපයෙන් නැවත එකලස් කර තිබේ. මෙහිදී එක් දෘෂ්ඨි කෝණයකින් වස්තුවක් නිරූපණය කිරීම වෙනුවට, කලාකරුවා තම විෂයය වඩාත් පුළුල් සන්දර්භයක් තුළ නිරූපණය කිරීම සඳහා දෘෂ්ඨි කෝණ රාශියකින් විෂය නිරූපණය කර ඇත.

මෙම විචිත්‍රවත් මුද්දරවල තෝරාගත් ක්‍රීඩා සහ පැරා ක්‍රීඩා නිදර්ශන ඇතුළත් වේ. ජලජ - කිමිදුම්, බොක්සිං, පැරා මේස පන්දු, පැරා බර එසවීම, ජිම්නාස්ටික්, බයිසිකල් පැදීම, මලල ක්‍රීඩා සහ රෝද පුටු පැසිපන්දු ඒ අතර වේ. මුද්දර නිදර්ශන පිරිමි සහ කාන්තා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම, පැරා මලල ක්‍රීඩිකාවන් සමානව නියෝජනය කිරීමට උත්සාහ කිරීම ක්‍රීඩා උත්සවයේ මූලික දැක්ම හා සමගාමීව පවතී. මින් මුද්දර හතරක් පළමු පන්තියේ මිලට (දැනට පැන්ස 95) වටිනාකමක් සඳහන් කර ඇති අතර, සෙසු මුද්දර පවුම් 1.85 ලෙස මිල කර තිබේ. “බර්මින්හැම් 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා” යන පාඨ පේළි දෙකක් සෑම මුද්දරයකම වම් පැත්තේ දක්වා ඇත. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ලාංඡනය සෑම මුද්දරයකම පහළ දකුණු කෙළවරේ දිස්වේ.

අවසානයට මුද්දරයක් ලෙස එළිදැක්වුවද, මෙම නිර්මාණය සැලසුම් කිරීමේ සිට මුද්දර බවට පත්වන තෙක් සුවිශේෂී පියවරයන් රැසක් අනුගමනය කල බව නිර්මාණයේ පියවරයන් අධ්‍යයනයේදී පැහැදිලිව පෙනේ. Interabang නිර්මාණ අධ්‍යක්ෂ ඇඩම් ගයිල්ස් (Adam Giles) පවසන්නේ ඔවුන් ක්‍රීඩාව නියෝජනය කරන "වඩා ව්‍යුක්ත නිදර්ශන ශිල්පීය ක්‍රම" (more abstracted illustration techniques) ගවේෂණය කිරීමට උනන්දු වූ බවයි. ව්‍යාපෘතිය ආරම්භයේදීම, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඡායාරූප හෝ ඡායාරූප වල යථාර්ථවාදී නිරූපණයන් භාවිතා කිරීමට අවශ්‍ය නැති බව චිත්‍රාගාරය තීරණය කල බවද ඔහු පවසයි. වසර ගණනාවක් පුරා Interabang විසින් මුද්දර කට්ටල කිහිපයක් නිර්මාණය කිරීමට සම්බන්ධ වී ඇති නමුදු, මෙම ව්‍යාපෘතිය වෙනස්ම එකක් වූ බව ගයිල්ස් සඳහන් කරයි. "ඉතිහාසගතව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සැමරීම ඇතුළුව ක්‍රීඩා මුද්දර රාශියක් තිබී ඇත. එබැවින් අප සෞන්දර්යාත්මකව සහ නිර්මාණාත්මකව නැවුම් දෙයක් ගෙන ඒමට උනන්දු වුනෙමු" යනුවෙන්ද ඔහු පවසයි. ඔවුන් වර්ණාලේප හරහා ක්‍රීඩාවේ ශක්තිය සහ ආශාව ප්‍රදර්ශනය කිරීමටද උත්සාහ කර ඇත. සෑම මුද්දරයක්ම නිර්මාණය කර ඇත්තේ එයටම ආවේණික වූ වර්ණ රටාවකිනි. ක්‍රීඩාවේ උද්‍යෝගය, ශක්තිය සහ හැඟීම් ග්‍රහණය කර ගැනීම සහ මුද්දර හරහා චලනය ප්‍රකාශ කිරීමට ඒ මගින් අවකාශ සලසා ඇත. තවද, සත්කාරක නගරයට අනුගත ලෙස සමකාලීන නාගරික හැඟීමක් ද මේ මගින් ලබාදෙන බව ඔහුගේ අදහසයි.

රාජකීය තැපෑලේ ඩේවිඩ් ගෝල්ඩ් පවසන්නේ "පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ලෝකයේ විශාලතම බහු-ක්‍රීඩා තරඟ වලින් එකක් වන අතර, එම ඉසව්ව එක්සත් රාජධානියේ පැවැත්වීම අපූරුය. මෙම වර්ණවත් විශේෂ මුද්දර මෙම අවස්ථාවේ සදාකාලික මතකයක් වනු ඇත" යනුවෙනි.

"රාජකීය තැපෑලෙහි සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පොහොසත් ඉතිහාසය බර්මින්හැම් 2022 සඳහා අඛණ්ඩව පැවතීම දැකීම අපූරුය. එමෙන්ම, එක් එක් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලයන්හි අපූරු අවස්ථාවන් සිහිපත් කිරීමට සහ මතකයන් රැගෙන යාමට එමඟින් රසිකයින්ට අවස්ථාව සලසා දෙයි" යනුවෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලන හවුල්කාරීත්වයේ ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් ලෙදර් (David Leather) මෙම මුද්දර නිකුතුව ගැන සිය අදහස් දක්වමින් පවසා ඇත.

බර්මින්හැම් 2022 හි ප්‍රධාන විධායක ඉයන් රීඩ් ( Ian Reid) අදහස් දක්වමින් “මෙම සුවිශේෂී මුද්දර 2022 බර්මින්හැම්හි කොටසක් වීමෙන්, මිනිසුන්ට ඇති වන උද්යෝගය සහ ප්‍රීතිය පිළිබඳ පරිපූර්ණ මතකයක් වනු ඇත. එමෙන්ම, සමරු මුද්දර යනු ක්‍රීඩා උළෙල සැමරීමට සහ මුළු රටටම බර්මින්හැම් 2022 සහ අපගේ ක්‍රීඩා හා සංස්කෘතික උත්සවයට සම්බන්ධ වීමට අපුරු ක්‍රමයකි" යනුවෙන් පැවසීය.

තවද මෙම මුද්දර නිකුතුවට අතිරේකව ඔවුහු බර්මින්හැම් මුලිකව මුළු එක්සත් රාජධානිය පුරා සියළුම තැපැල් කණු (Post Box) ක්‍රීඩා උත්සවයේ නිල ලංජනයෙන් සරසා ක්‍රීඩා උත්සවය සාදරයෙන් පිළිගැනීමට පෙර මඟ බලුහ. එමතුද නොව බර්මින්හැම් 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට නිල තැපැල් සහ පාර්සල් බෙදාහැරීමේ සේවා සපයන්නා ලෙස රාජකීය තැපැල් සේවය සිය අනුග්‍රහයද දක්වයි.

තේමාවට, විෂයට සහ සමකාලීන බවට කිසිදු හානියක් නොකර බර්මින්හැම් මුද්දර නිකුතුව පොදුජන සන්නිවේදනයේ මෙහෙවර නොපිරිහෙලා ඉටු කරයි. මුද්දරය, ජාතියක ජනතාව වැළඳ ගන්නා සහ එමගින් ජාතියේ අනන්‍යතාවයේ සන්නාමය බෙදා හරිනා සංකේතයක් බවට පත් වෙයි. ජාතියක අභ්‍යන්තර ජීවිතය පිළිබඳ දෘෂ්‍යකරණය, මුද්දර නිර්මාණ තුලින් ප්‍රක්ශේපණය වන අතර, ජාතියක සාමූහික මතකයේ වියමන් සඳහා අත්‍යවශ්‍ය මෙවලම් බවට පත්ව ඇත. බර්මින්හැම් ක්‍රීඩා උත්සවය සහ මෙම අනඟි මුද්දර නිකුතුව එකිනෙක වෙන් කර කියවිය නොහැක්කේ එබැවිනි.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com