kiyawanamuddara.lk

Learn & Explore

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


31
July
2022

1948 ජුලි 31 - කඩුලු මතින් ලෝකය දිනපු දවස අදයි

ලාංකීය මලල ක්‍රීඩා ඉතිහාසයේ විශිෂ්ඨම ජයග්‍රහණය උරුම කර දුන් මේජර් දේශමාන්‍ය ඩන්කන් වයිට් ඔලිම්පික් රිදී පදක්කම අප රටට දිනා දුන්නේ 1948 ජූලි 31 දින එංගලන්තයේ ලන්ඩන් නුවර සුප්‍රකට වෙම්බිලි ක්‍රීඩාංගනයේ පැවතී මීටර් 400 කඩුලු මතින් දිවීමේ තරඟයේදීය. ඔහු ඔලිම්පික් පදක්කමක් තහවුරු කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්විය. 1948 අගොස්තු මස දෙවැනි සඳුදා "ලංකාදීප" පුවත්පත ලක් ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රීඩා පුවතක් සිය ප්‍රධාන පුවත ලෙස වාර්තා කල මෙම ඓතිහාසික ජයග්‍රණය සිදුවී අදට වසර 74කි. වසර 2000 සිඩිනි ඔලිම්පික් උළෙලේදී සුසන්තිකා ජයසිංහ විසින් මීටර් 200 රිදී පදක්කම ලබාගන්නා තෙක් තෙක් වසර 52ක් පුරා මලල ක්‍රීඩා ඉසව්වෙන් ඔලිම්පික් පදක්කමක් දිනූ එකම දකුණු ආසියාතිකයා වූයේ ඔහුයි.

1948 ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උළෙල නිල වශයෙන් හඳුන්වනු ලබන්නේ XIV ඔලිම්පියාඩ් ක්‍රීඩා ලෙසිනි. එය 1948 ජූලි 29 සිට අගෝස්තු 14 දක්වා එක්සත් රාජධානියේ ලන්ඩන් නුවරදී පැවැත්විණි. ශ්‍රී ලංකාව (එවකට "සිලෝන්"), බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබා ගැනීමෙන් පසු ප්‍රථම වරට 1948 ලන්ඩන් උළෙලට සහභාගී විය. සත් දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමේ නායකයා වූයේ වයිට් ය. ඔවුහු 1948 මැයි 22 දින මුහුදු මාර්ගයෙන් ලන්ඩන් නුවර බලා පිටත්ව දින 20ක දීර්ඝ මුහුදු ගමනකින් පසුව ජූනි 12 වැනි දින ලන්ඩන් නුවරට වූහ.

මීටර් 400 කඩුලු පැනීමේ තරඟය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින් 85,000 කට අධික ප්‍රමාණයක් වෙම්බිලි ක්‍රීඩාංගනයේ රැස්ව සිටි අතර, ඔවුනට නිදහසින් මාස කීපයකට පසුව ලංකාව ගැන කතා කිරීමට අළුත් මාතෘකාවක් සපයා දීමට වයිට්ට හැකිවිය.

ඩන්කන් වයිට්ගේ ජයග්‍රහණය ඔලිම්පික් වාර්තාවේ මෙසේ සඳහන්ය: “පිරිමි සඳහා මීටර් 400 කඩුලු මතින් දිවීමේ අවසන් තරඟයේදී ඇමරිකා එක්සත් ජනපදයේ කොක්රාන් තුන්වැනි මංතීරුවේ ද, සිලෝන් හි වයිට් පස්වැනි මංතීරුවේ ද, ස්වීඩනයේ ලාර්සන් පිටතින් ද සිටියහ. වයිට් වේගයකින් ක්‍රීඩා කළ නමුත් අඩක් දුරින් කොක්‍රාන්, විශිෂ්ට ධාවනයක නිරත වෙමින් ඉදිරියෙන් සිටියේය. ඔහු තත්පර 51.1කින් ජයග්‍රහණය කළ අතර, එය විශිෂ්ඨ ජයග්‍රහණයක් විය. දෙවැනි ස්ථානයේ පසුවූ සිලෝන් හි වයිට්, තත්පර 51.8ක දක්ෂතාවක් දැක්වීම ඉහළම ප්‍රශංසාව ලැබිය යුතුය."

වයිට් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දැක්වූ දක්ෂතා මත ඔහුට කීර්තිමත් ලෆ්බරා ශාරීරික අධ්‍යාපන විද්‍යාලයේ (Loughborough College of Physical Education) පාඨමාලාවක් හැදෑරීමට රජයේ ශිෂ්‍යත්වයක් පිරිනමන ලදී. Loughborough හිදී අඛණ්ඩව වසර තුනක් ඔහු විද්‍යාලයේ ශිෂ්‍ය නායකයා බවට පත් විය. එමන්ම, ඔහුගේ කාලය තුළ Loughborough විද්‍යාලය බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාල මලල ක්‍රීඩා ශූරතාවද දිනා ගත්තේය.

ඩන්කන් වයිට් 1949 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ සාමාජිකත්වය (Member of the British Empire - MBE) සහ ආසියාවේ විශිෂ්ඨතම මලල ක්‍රීඩකයා ලෙස හෙල්ම්ස් ලෝක කුසලානයද පිරිනමන ලදී. එමෙන්ම, 1949 වසරේ ලංකාවේ විශිෂ්ඨතම ක්‍රීඩකයාට පිරිනැමෙන "ටයිම්ස් ඔෆ් සිලෝන් " කුසලානයද ඔහු දිනා ගත්තේය.

ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ රිදී පදක්කමේ 50 වැනි සංවත්සරය සමරමින් 1998 දී ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ඩන්කන් වයිට් වෙත ‘දේශමාන්‍ය’ ගෞරව සම්මානය පිරිනමන ලදී.

මේ සියළු කීර්තිය මධ්‍යයේ ඩන්කන් වයිට් උපහාර සමරු මුද්දරයක් නිකුත් කර ඇති බව බොහෝ වාර්තා වල සඳහන්ය. 1937-1987 ජාතික ඔලිම්පික් කමිටුවේ 50 වන සංවත්සරය ((Olympic Committee Golden Jubilee) නිමිතිකොට 1987 ඔක්තෝබර් 8 වැනි දින නිකුත් කර ඇති වටිනාකම රුපියල් 10.00 ක්වූ මුද්දරය ඩන්කන් වයිට් සමරු මුද්දරය ලෙස බොහෝ දෙනා විශ්වාස කරති. මුද්දරයේ දෘශ්‍ය නිරුපනයේ කඩුලු මතින් දිවයන ක්‍රීඩකයකු සහ ඔලිම්පික් ලාංජනය සිතුවම් කර ඇති බැවින් එය ඩන්කන් ව්යිට්ගේ බව අනුමාන කිරීම සාධාරණය. නමුදු, මුද්දරයක දෘශ්‍ය නිරුපණය වූ පමණින් එය අදාල පුද්ගලයාගේ ජාතික හෝ ජාත්‍යන්තර මෙහෙයට උපහාර පිණිස නිකුත් කල සමරු මුද්දරයක් ලෙස නොසැලකේ. එහෙත් මෙම මුද්දරයේ විශේෂත්වය වන්නේ එය ලංකාවේ ප්‍රථම දියමන්ති හැඩති මුද්දරය වන හෙයිනි.

මුදල් සහ තැපැල් මුද්දර වැනි වස්තූන් දේශීය හා ජාත්‍යන්තර ප්‍රේක්ෂකයන්ට රාජ්‍යයේ වටිනාකම්, මතවාදයන්, අභිලාෂයන් සහ පරමාදර්ශ නිරූපණය කිරීමට මාධ්‍යයක් සපයා ඇත (Objects such as currency and postage stamps have provided a means through which to portray to domestic and international audiences the values, ideologies, aspirations, and ideals of the state). තැපැල් මුද්දර යනු රටක් තම පුරවැසියන්ට සහ ලෝකයට නියෝජනය කිරීමට අපේක්ෂා කරන වටිනාකම් පිළිබිඹු කරන නිල රාජ්‍ය ලේඛන වේ. ඒවා ජාතියක අභිලාශ ලොවට ප්‍රකාශ කිරීම සඳහා ඇති හොඳම සන්නිවේදන මෙවලමකි. මුද්දරය ඒ වෙනුවෙන් ඉදිරිපත් නොකරන කල්හි, ඒවා ලියුම් කවර සරසන සැරසිල්ලක් පමණක් බවට පත්වීම වැලක්විය නොහැකිය.

නිදහසට සහ ලංකාවේ ප්‍රථම ඔලිම්පික් පදක්කමට වසර 75 සපිරෙන 2023 වසරේ දී දේශමාන්‍ය ඩන්කන් වයිට් වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමට අවැසි මූලික කටුතු සඳහා අපි ක්‍රියාකාරී වන්නෙමු. එය ඔහුගේ ජයග්‍රහණයේ අභිමානය අළුත් වටයකින් ලෝකයට සන්නිවේදනය කිරීමේ සංකේතයක් වනු ඇත.



© kiyawanamuddara 2020 | Solution by 4meli.com